නීතිය නවන්න ගිය නීතිපති දප්පුලට අධිකරණයෙන් හොඳ දේශනාවක්!


නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීම් චෝදනා පදනම් විරහිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා (09) අවධාරණය කර ඇත.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස වන නියෝගය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේය.

මෙහිදී විත්තිකාර පාර්ශවය ඇප ඉල්ලීමක් සිදුකර තිබුණු අතර ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

එහිදී "පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි," බව හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ අධිකරණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

එසේම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නේ, අදාළ රජයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමෙන් තොරව බවය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවත් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

බුද්ධි අංශ විසින් සපයන ලද තොරතුරු කිසිවක් නිශ්චිත තොරතුරු නොවන අතර එම තොරතුරු අනුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව ද මහේස්ත්‍රාත්වරිය උදාහරණ සමගින් පැහැදිලි කර ඇත.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජූලි 09 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ, ජූලි 03 වෙනිදාය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ජූලි 03 වෙනිදා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය.

එමෙන් ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවාදායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කළේය.

අඟහරුවාදා (ජූලි 09) ඇප ඉල්ලීම් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, 296 වන වගන්තියට අමතරව අනෙක් චෝදනා ද ප්‍රශ්නසහගත බව පෙනී යන බවය.

දප්පුල ලිවේරාගේ මාරාන්තික උත්සාහය වතුරේ !

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන මිනී මැරුම් චෝදනා ඉදිරිපත්කර අධිකරණයට යොමුකරන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග පිට නියෝග නිකුත්කර සිටියේ නීතිපති දප්පුල ලිවේරා විසිනි.

එහිදී අත්අඩංගුවට ගැනීම කඩිනම් කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත නීතිපති දප්පුල ලිවේරා ලිපි දෙකක් යොමුකර තිබිණ.

එයින් පලමු ලිපිය පසුගිය ජුනි මස 27 වනදා යොමුකර තිබු අතර දෙවැනි ලිපිය ජූලි 1 වනදා යොමුකර තිබිණ.

දප්පුල යැවූ පළමු ලිපිය !

"2019/04/21 වන පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව අනූව පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හා තවත් අයවලුන්ගේ නොසැලකිල්ල හෝ නොතකා හැරීම හේතුවෙන් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය" යනුවෙන් එකී ලිපියේ ශීර්ෂය සදහන් වෙයි.

එසේම "උක්ත කාරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවන ලද සමාංක සහ 2019/06/26 දිනැති දාතමින්‍ යොමුකරන ලද ලිපිය සමග එවා ඇති උදෘත සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කරන ලදී.

වර්ෂ 2019ක් වූ අප්‍රේල් මස 21වැනි දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද සියදිවි නාශක බෝම්බ ප්‍රහාර මාලාව මගින් සිදුවූ සමූහ මනුෂ්‍ය ඝාතන, බරපතල තුවාල සිදුකිරීම සහ දේපල හානි, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පතිව සිටි පුජිත ජයසුන්දර යන අය සිය රාජකාරිමය යුතුකම් සහ වගකීම් ප්‍රබල ලෙස නීති විරෝධී නොකර හැරීම මත සහ සාපරාධී නොසැළකිල්ල සහ අපරික්ෂාව මත සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු එම විමර්ශන උදෘත ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනාවරණය වී ඇති බව දන්වමි." යනුවෙන්ද එකී ලිපියේ සඳහන් බව දැනගන්නට ඇත.

එබැවින් ඒ මත පදනම්ව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, සහ 410 යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇති බව අනාවරණය වී ඇති බවද එම ලිපියේ දක්වා ඇතැයිද වාර්තා වෙයි.

දප්පුලගේ දෙවැනි ලිපිය !

නමුත් මේ සම්බන්ධව වැඩබලන පොලිස්පති සී.ඩී . වික්‍රමරත්න කටයුතු නොකිරීම හේතුවෙන් සිහි කැඳවිම් ලිපියක් ලෙස ඊයේ ලිපිය යවා ඇති අතර "පාස්කු ප්‍රහාරය ලංකා ඉතිහාසයේ බරපතලම අපරාධයක් බවට සඳහන් කල යුතු බවත්, සැකකරුවන්ගේ ප්‍රබල නොකර හැරීම හේතුකොටගෙන සිදුවූ එම අපරාධය මනුෂ්‍යත්වයට එරෙහිව (Grave Crimes against humanity ) වූ බරපතල අපරාධ වශයෙන් ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව සැළකෙන බවටද වාර්තා කරන බවත් එහි දක්වා ඇති බව වාර්තා වෙයි.

එසේම මේ ලිපියේ දී හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව අධික නොසැලකිල්ල, තදබල නොතකා හැරීම ලෙස සඳහන් කර ඒ නිසා සිදුවීම වලක්වා ගැනීමට අපොහොසත්වීම ගැනත් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

පොලිස්පතිට නිදහසට හේතු දක්වන්න වෙලා !

එපමණක් නොව නීතිපති දප්පුල විසින් පසුගිය ජුනි 27 වනදා යොමුකළ ලිපියේ උපදෙස් පරිදි ක්‍රියා නොකිරීම බරපතල කරුණක් ලෙස සලකන බවත් ඒ අනුව ඊට අදාළ ලිඛිත හේතු දැක්වීමක් එදින (ජූලි 01) ම දක්වන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

නමුත් අප වෙත වාර්තා වන්නේ ඊයේ (01) ඊට අදාළ කිසිඳු ලිඛිත ලියවිල්ලක් වැඩබලන පොලිස්පති සී,ඩී .වික්‍රමරත්න නීතිපති වෙත යොමුකර නොමැති බවය.

පොලිසියත් අමාරුවේ !

මේ බලපෑම් හමුවේ පොලිසිය සදහන් කර ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර සම්බන්ධව මිනීමැරුම් චෝදනා එල්ල කළ නොහැකි බවය.

ඒ වෙනුවෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් පොලිසිය පෙන්වාදී තිබේ.

එහෙත් නීතිපති දප්පුල ලිවේරා ඒ කිසිවක් නොතකා කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

අවසානයේ මහේස්ත්‍රාත්වරියගේ තීන්දුව හමුවේ බොහෝ කලකට පසුව දුර්වල කරුණු දැක්වීමක් සිදුකර අපකීර්තියට පත්වීමට පොලිසියට සිදුව ඇත.

මොහාන් පීරිස්ගේ අවතාරය !

මේ අතර නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් සදහන් කරන්නේ වත්මන් නීතිපති දප්පුල ලිවේරා වෙතින් රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිටි මොහාන් පීරිස් නීතිපති ගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන බවය.

ප්‍රගීත් එක්නැළිගොඩ ඉන්න තැන දන්නේ දෙවියන් බව කියමින් මෙන්ම රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය ආකාරයට නීතිය නවමින් අගවිනිසුරු ධූරය දක්වා ගිය බවත් මේ වන විට නීතිපති දප්පුල ලිවේරා නීතිය නවන්න උත්සාහ ගන්නේ ජනාධිපති සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඒ වැනි ආකාරයට බවත් ඔවුන් චෝදනා කරයි.

එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මේ වන විට අධිකරණ පද්ධතිය ස්වාධීන වී ඇති බවත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නොතිබෙන්නට අද රටට අත්වන ඉරණම හිතාගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

No comments:

Ad
Powered by Blogger.