'ඇවන්ට්ගාඩ්' ගෝඨා දඩයම් කරයි: ශිරන්ති සුදානමින් !

     
මතභේදයට තුඩු දුන් ඇවන්ට්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් යළි අධිකරණ ක්‍රියාමාර්ග උත්සන්න කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ ඉල්ලක්ක කරගනිමින් බවට බරපතල සැකයක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

බරපතල වංචා, දූෂණ රාජ්‍ය සම්පත්, වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසිලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ අවසන් වාර්තාව පදනම් කරගනිමින් එම මෙහෙයුම ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

එවැනි යම් නීතිමය බාධාවක් ඇතිවුවහොත් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේවනවිට සාකච්ජා ආරම්භවී ඇතැයි ද ඔහු කියා සිටියේය.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව :

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම සම්බන්ධ පෙත්සම PCI/81/2015 සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශයන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පිටු අංක 215 සිට 257 දක්වා සඳහන් වේ.

වර්ෂ 2017 ක් වූ නොවැම්බර් මස 27 වන දින එම වාර්තාව ප්‍රකාශයට පත්කර තිබිණ.

වගකිවයුතු පාර්ශ්වයන්:

ඉහත සඳහන් පෙත්සම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් අනතුරුව පහත සඳහන් පාර්ශ්වකරුවන් පරීක්ෂණය සඳහා කැඳවීමට නොතීසිලත් පාර්ශ්වයන් ලෙස හඳුනාගෙන ඇත.

01 කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල 
02 රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු
03 නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 
04 මනමෙල්දුර රොහණවීර ද සොයිසා, 
05 අච්චිමද්දුමාගේ දොන් අසල ධණසිරි අමරතුංග
06 අරුමාදුර ලෝරන්ස් රොමෙල්ලෝ දුමින්ද සිල්වා
07 රණවක ආරච්චිගේ දොන් ජනක
08 හේවාමාතරගේ උපාලි කොඩිකාර
09 චන්ද්‍රසේකර රෝහිත බණ්ඩාර බෝගොල්ලාගම
10 දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති ජයරත්න
11 ජයනාත් සිරිකුමාර කොළඹගේ 
12 සමරසිංහ ආරච්චිගේ මැක්සිමස් ජයන්ත පෙරේරා
13 වයි.එච්.පී. නිශ්ශංක යාපා සේනාධිපති

කොමිසමේ සාමාජිකයින් :

කොමිෂන් සභාවේ සභාපති - පී පද්මන් සූරසේන
කොමිෂන් සභාවේ සාමාජික - විකුම් ඒ කළුආරච්චි
කොමිෂන් සභාවේ සාමාජික - පී. රණසිංහ
කොමිෂන් සභාවේ සාමාජික - ගිහාන් කුලතුංග
කොමිෂන් සභාවේ සාමාජික - ජී.ඒ. පේමතිලක

 චෝදනා මොනවාද?

1. මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමට අදාළව ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අනිසි වාසියක් සිදුවන ආකාරයට කටයුතු කිරීම.

2. ඇවන්ට්ගාඩ් ආයතනය කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණු කටයුතු සම්බන්ධ ව්‍යාපාර කටයුත්ත සිදුකිරීම සඳහා තුවක්කු 17 ක්, නිසි ආකාරයට බදු ගෙවීමකින් සහ නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව එකී පුහුණු කටයුතු සඳහා භාවිතා කිරීම සහ එසේ සිදුකිරීමට සහය දීම.

නිර්දේශිත නෛතික ක්‍රියාමාර්ග:

මෙම කොමිෂන් සභාව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයෙන් අදාල ජනාධිපති කොමිෂන් සභාව විසින් එළැඹෙන ලද නිගමන හා තීරණ ඉහත කී වාර්තාවේ V, VI සහ VII වන කොටස්වල දක්වා ඇති අතර, එහි උධෘත මෙහි පහත ඇතුලත් කර ඇත.

# නාවික හමුදාව පවත්වා ගෙන ගිය අවි ගබඩා ව්‍යාපෘතිය ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම වෙත පැවරීම සහ නාවික හමුදාවට ලැබිය යුතු ආදායම් ප්‍රතිශතය අඩු කිරීම.

මීට අදාලව පැවැත්වූ පරීක්ෂණයේදී මෙහෙයවන ලද සාක්ෂිද, නොතීසිලත් පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත සැලකිරීම් ද යන කරුණු සැළකිල්ලට ගනිමින් පෙර කර ඇති ඉහත විශ්ලේෂණයට අනුව,

1 වන නොතීසිලත් පාර්ශවය වන කේ.බී. එගොඩවෙල, 2 වන නොතීසිලත් පාර්ශවය වන පාලිත පුනාන්දු, 3 වන නොතීසිලත් පාර්ශවය වන ගෝඨාභය රාජපක්ෂ, 10 වන නොතීසිලත් පර්ශවය වන දමයන්ති ජයරත්න. 11 වන නොතීසිලත් පාර්ශවය වන ජේ.එස්. කොළඹගේ, 12 වන නොතීසිලත් පාර්ශවය වන ජයන්ත පෙරේරා සහ 13 වන නොතීසිලත් පාර්ශවය වන නිශ්ශංක යාපා සේනාධිපති යන අය අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ විස්තර කර ඇති දූෂණය නමැති වරද, එකී වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම සහ හෝ ඊට අනුබලදීම ‌හෝ යන වරදවල් එකක් හෝ වැඩි ගණනක්

මීට අමතරව නාවික හමුදාවට ලැබිය යුතු ආදායම් ප්‍රතිශතය ඩොලර් 1000 සිට 25% සිට 17% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් 1වන, 2වන, 3වන, 10වන, 11වන, 12වන, සහ 13වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව අල්ලස් පනතේ 70වන වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ සහ 102වන වගන්තිය යටතේ වන කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවන් ද, ඊට අනුරූපීව 1වන, 2වන, 3වන, සහ 10වන සහ 13වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව ආදායම් අඩු කිරීම සම්බන්ධයෙන් වෙන් වෙන්ව අල්ලස් පනතේ 70වන වගන්තිය යටතේ වන චෝදනාවන්ද, එකී චෝදනාවන්ට අනුබලදීම සම්බන්ධයෙන් වෙන් වෙන්ව, 11වන, 12වන සහ 13වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව අල්ලස් පනතේ 70වන වගන්තිය සමග කියවියයුතු දණ්ඩ නීති සංග්‍රහයේ 102වැනි වගන්තිය යටතේ ද චෝදනා ගොනු කිරීම සලකා බැලීම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශය වේ.

ඒ අනුව 1වන, 2වන, 3වන, සහ 10වන සහ 13වන නොතීසිලත් පාර්ශවයන්ට එරෙහිව 2012-01-01 වැනිදා සිට 2014-06-08 වැනි දින අතර කාලය තුලදී නාවික හමුදාව විසින් කරගෙන ගිය සීමාෂල්වරුන්ගේ අවි ගබඩා කිරීමේ ව්‍යාපාරය ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මූලිකත්වයෙන් කරගෙන යාමට බාර දීමට සහ නාවික හමුදාවට ලැබෙන ආදායම අඩු කිරීමට තීරණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ සහ 102 වගන්තිය යටතේද, 3වන නොතීසිලත් පාර්ශවයට එරෙහිව 2012-01-01 දින සහ 2012-10-15 දින අතර කාලය තුලදී අවි ගබඩා කිරීමේ ව්‍යාපාරය නාවික හමුදාවෙන් ඉවත් කර ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට බාර දීම සම්බන්ධයෙන් වන දූෂණ චෝදනාවක්ද සහ 1වන, 2වන, 10වන, 11වන, 12වන සහ 13වන නොතීසිලත් පාර්ශවයන්ට එකී වරදට අනුබල දීමේ චෝදනාවක්ද ගොනු කිරීම සලකා බැලිම සුදුසු බව මෙම කොමිෂන් සභාවේ නිගමනය වේ.

No comments:

Ad
Powered by Blogger.