සජිත්ට පක්ෂයේ ඉඩක් නැති බව රවී කියයි.


පාලම් බෝක්කු ගැන කථා කරන නායකයකුට අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලැබෙන්නේ නෑ. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇති ඒවා මෙහෙයවන්නට හැකි නායකයෙක්. අපි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා යැයි විදුලිබල හා පුනර්ජීව බලශක්ති අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා අද (14) පැවසීය.

වීරකැටිය කොන්දගල රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලබන බුද්ධ ප්‍රතිමාවට විදුලි ආලෝකය ලබා දීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කරුණානායක මහතා එසේ පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් එජාපය නියෝජනය කරමින් පැමිණෙන බවට පවතින රාවය පිළිබදව අදහස් දැක්වූ රවී කරුණානයක ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ එවන් අයෙකු එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"එජාපය සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කිහිප දෙනෙකු සිටිනවා. ඔවුන් අතරින් කෙනෙකු අපි සාකච්ඡා කර ඉදිරිපත් කරනවා. ඔය දැන් ඉදිරිපත් වෙන්න දඟලන අය ඊට සුදුසුකම් ලබන්නේ නෑ.

ජනාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත් කිරීමට දෝෂාභියෝගයක් ගැන පක්ෂය කථාකර හෝ තීන්දුවක් ගෙන නෑ. එමෙන්ම අපේ පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාර නායක හිටපු ජනාධිපතිවරිය සමග මේ වන විට කිසිදු සම්බන්ධයක් නෑ. ඇය අපේ පක්ෂය තුළ ප්‍රශ්න ඇති කළා. එමෙන්ම ශ්‍රීලනිපය තුළ ඇය ප්‍රශ්න ඇති කළා. ඇයගෙන් අපේ පක්ෂයට වැදගත්කමක් නෑ. තම ආසනය දිනාගන්න බැරි චන්ද්‍රිකාට අපේ පක්ෂයට දෙන්න පුළුවන් දෙයක් නෑ."

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත මෙම විහාරස්ථානයට විදුලි ආලෝකය ලබා දෙන්නට තමන් කටයුතු කළ බවද රවී කරුණානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි මහතා ද  සහභාගී වී සිටියේය.

No comments:

Ad
Powered by Blogger.