කොළඹ - ත‍්‍රිකුණාමලය කොරිඩෝව අපේ රටේ විද්වතුන් හදපු ප‍්‍රමුඛ ආර්ථික කොරිඩෝවක්: ඇමති චම්පික.


කොළඹ - ත‍්‍රිකුණාමලය කොරිඩෝව අපේ රටේ විද්වතුන් හදපු ප‍්‍රමුඛ ආර්ථික කොරිඩෝවක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චමිපික රණවක මැතිතුමා පවසයි. ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ඊයේ පාර්ලිමේන්තුව අමතමනි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ රජයට විරුද්ධව ඉදිරිපත්වෙලා තිබෙන විශ්වාසභංගයේ සාරය ගත්තොත්; පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන්, එය වළක්වාගත හැකිව තිබියදී ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීමෙන් ආණ්ඩුව විශාල ජන ඝාතනයකට ඉඩකඩ සළසා දුන්නා කියන එකත්, ඉන්පසුව ඇතිවූ සිදුවීම් පාලනය කරන්න ප‍්‍රමාණවත් පියවර ගත්තෙ නෑ කියන එකත් තමයි එහි සාරය. 

මේ සිදුවීම ගත්තාම, මේ සිදුවීමේ ක‍්‍රියාදාමය දිහා බැලූවාම මේ පිළිබඳව ආණ්ඩුවට, ආරක්ෂක අංශවලට, බුද්ධි අංශවලට එහි වගකීමෙන් ගැලවෙන්න බෑ. ඇමැතිවරයෙක් හැටියට මමත්, ඒ වගේම සමස්ත ආණ්ඩුවමත්, ආරක්ෂක අංශත්, බුද්ධි අංශත් මේ සිදුවෙච්ච ඛේදවාචකය වළක්වාගැනීමට නොහැකි වීමෙන් එහි වගකීමෙන් ගැලවෙන්න බෑ. එතකොට ඒකට පිළිතුර ආණ්ඩුව ඉල්ලා අස්වීමද? ආණ්ඩුව අස්වෙලා ගෙදර යන එකද? රට අරාජික කරලා රාජ්‍යය තවදුරටත් දුර්වල කිරීම සඳහා අන්තර්ජාතික ත‍්‍රස්තවාදයකට ඉඩකඩ ලබාදෙන එකද? නැත්නම් මේ ප‍්‍රශ්නය; දේශපාලන බේදයෙන් ඔබ්බට ගිය ප‍්‍රශ්නයක් ලෙස සළකලා ත‍්‍රස්තවාදයට එරෙහිව සියළුම දේශපාලන පක්ෂ සියළුම ක‍්‍රියාධරයන් එකට එකතු වෙලා මෙය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලකට එකඟ වෙනවද කියන එක අපි විමසා සිටිය යුතුයි.

මේ රටේ හැමදාමත් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවෙච්ච වහාම ඒ පිළිබඳව වෙච්ච දේශපාලන වගකීම කාටහරි දාලා කවුරුහරි වැරදිකාරය කරලා ත‍්‍රස්තවාදයට වක‍්‍රාකාරයකින් ශක්තිය ලබාදීම තමයි අපේ රටේ පසුගිය තිස් අවුරුදු කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය ව්‍යාප්ත වීමටත් හේතු සාධක වුණේ. ඒ නිසා.. මේ ප‍්‍රශ්නය විසඳීම සඳහා අද අවශ්‍යයි විධිමත් ත‍්‍රස්ත විරෝධී වැඩපිළිවෙලක්. නව ආර්ථිකයක් තියෙන්නෙ. අන්තර්ජාලය මත පදනම් වෙච්ච. නව තාක්ෂණයක් තියෙන්නෙ. ඒ වගේම නව ත‍්‍රස්තවාදයක් මේ ලෝකේ තියෙන්නෙ. පැරණි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාරීත්වය විසින් ඇතිකරපු ගරිල්ලා මාදිලියේ ත‍්‍රස්තවාදයක් නෙවෙයි. ඒ නිසා මේ නව ත‍්‍රස්තවාදයට මුහුණ දීම සඳහා, ඒ සඳහාම වෙච්ච බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානයක්, ආරක්ෂක මෙහෙයුම් ප‍්‍රතිසංවිධානයක් සිදු කරලා අපි රටක් හැටියට මේ සමාජයේ ආරක්ෂාව තහවුරු කරලා ජනතාවගේ බිය, සැක නැතිකරලා විශ්වාසය තහවුරු කරන්න කටයුතු කරන්න  ඕන. 

එතනදි ප‍්‍රධාන වශයෙන්ම වැරදුණේ කොතනද කියන ප‍්‍රශ්ණය නිවැරදිව හඳුනාගෙන ඉන් පස්සෙ වැරදිකාරයන් සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමයි සිදුවිය යුත්තේ. අපිට ඉතාම පැහැදිලියි දේශපාලන අධිකාරියත්, ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ඒ සේනාධිනායකත්වයත්, ඒ වගේම බුද්ධි අංශත්, ඒ වගෙම ආරක්ෂක මෙහෙයුම් අංශත්, කියන මේ තුන්ගොල්ලන් අතරේ.. මනා සම්බන්ධීකරණයක් නොතිබිච්ච බවත්, තැන් තැන්වල විශාල හිඩැස් පැවතිච්ච බවත් ඉතාම පැහැදිලියි. එහෙමනම් අනාගතයේ මෙවැනි ප‍්‍රහාර වළක්වාගැනීමට අපි කළ යුත්තේ මේ පිළිබඳ මනා සම්බන්ධීකරණයකින් යුතු ක‍්‍රියාකාරීත්වයක් සහිත ආරක්ෂක මෙහෙයුමක් ඇති කිරීම මිසක් ආණ්ඩුවට විශ්වාසභංග ගෙන ඒම නෙවෙයි. 

ඒ වගේම ඒකට ජනතා විමුක්ති පෙරමුණත් දායක වෙන්න  ඕනෙ. පොදුජන පෙරමුණත් දායක වෙන්න  ඕනෙ. දෙමළ සන්ධානෙත් දායක වෙන්න  ඕනෙ. සියළුම අය ඒ ක‍්‍රියාකාරීත්වයට දායක වෙන්න  ඕනෙ. මොකද මිනිස්සු මියයද්දී මියයන්නේ පක්ෂය පිළිබඳ හිතලා නෙවෙයි. මනුෂ්‍යයෝ නිසයි මිනිස්සු මියයන්නේ. ඒ නිසා.. අපි ඒ සඳහා වෙච්ච පොදු ජාතික ඒකාග‍්‍රතාවයක් ඇති කරගත යුතු වෙනවා.

ඊළඟට ගේන ප‍්‍රධාන තර්කයක් ජනාධිපතිත් අගමැතිත් අතර තියෙන මේ බල ගැටුම නිසා මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලිය සිදුවුණාය, දුර්වල රාජ්‍යයක් පැවතීම නිසා මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලියට මුල පෑදුණාය කියන එක. ඇත්තටම මේ රට තුළ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියාකළාපයන් නිසා, පසුගිය ආණ්ඩුවල තිබුණු ඒ අත්තනෝමතික බලය පාවිච්චි කිරීම නිසා ජනාධිපති ධුරයත්, පාර්ලිමේන්තුවත් අතර බල සමතුලිතතාවයක් ඇතිකර ගැනීම සඳහා තමයි 2015 දී ඒ ජනවරම ලැබුණෙ. රට බේරාගත්තයි කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාව ඉදිරිපත් වුණේ යම් බල තුලනයක් අවශ්‍යයි, අත්තනෝමතික පවුල්වාදයකට ඉඩදෙන්න බැරි නිසයි.

එහෙමනම් ඒ බල තුලනය මේ රටේ ජනතාව ඉල්ලා සිටි දෙයක්. හැබැයි අපි එකක් මතක තබා ගත යුතුයි. ගැඹුරෙන් මේක ජනාධිපතිත් අගමැතිත් අතර තියෙන ගැටුමකටත් වඩා; රාජ්‍යයේ ස්ථාවරත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් ලබාදෙන පුද්ගල නිදහසත් අතර සමතුලිතතාවයක් අපි ඇතිකර ගත්තේ නැත්නම් රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍යයේ ස්ථාවරත්වයට වැඩි බර තබන ප‍්‍රතිපත්තියකින් පුද්ගල නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභාවයට යනවා. ඒ වගේම පුද්ගල නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඕනවට වඩා වගකීම් විරහිතව ඉලිප්පීම විසින් රාජ්‍ය ආරක්ෂාව සහ ස්ථාවරත්වය බිඳවැටෙනවා. ඒ නිසා මේ දෙකේ සමතුලිතතාවයක් ඇතිකර ගැනීම ගැනීම ගැන අප කතා කළ යුතුයි. 19 වෙනි සංශෝධනයේ යම් යම් එවැනි ප‍්‍රශ්න තියෙනවනම් එය විසඳාගැනීම මිසක් එය අහෝසි කිරීමෙන්, නැවත වතාවක් අත්තනෝමතික බලතල ජනාධිපතිවරයාට ලබාදීමෙන්, මේක විසඳාගන්න බෑ. 

ඒ නිසා.. ඉදිරි කාලවලදී මෙන්න මේ රාජ්‍යයේ ස්ථාවරත්වය සහ ආරක්ෂක ප‍්‍රශ්ණයත්, ඒ වගෙම ඒ හා බැඳිච්ච රාජ්‍ය ආරක්ෂාව පිළිබඳවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස පිළිබඳවත්, සමතුලිතතාවයක් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍යයි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම මෙතනදී පාර්ලිමේන්තුවට නිශ්චිත වගකීමක් තියෙනවා. මේ 225 දෙනාටම නිශ්චිත වගකීමක් තියෙනවා. ජනතාව තුළ ඇතිවෙලා තියෙනවනම් බියක්, ජනතාව තුළ ඇතිවෙලා තියෙනවනම් අනාරක්ෂිතභාවයක්, ජනතාව තුළ ඇතිවෙලා තියෙනවනම් අසහනයක්, ජනතාව තුළ ඇතිවෙලා තියෙනවනම් ආතතියක්; ඒ සියල්ල නිමකරන්න පුළුවන් වෙන්නෙ.. මේ පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනය හැටියට නව නීති රීති තැනවීමෙන් පමණයි. 

ලබන 21 වෙනිදට මේ සිද්ධිය ඇතිවෙලා මාස තුනක් ගතවෙනවා, ඒ නිසා මේ පාර්ලිමේන්තුවෙ වගකීම තමයි විවිධ ආකාරයෙන් අද මේ රටේ තිබෙන ගැටළුවලට; මද්‍රාසා පාසල් වෙන්න පුළුවන්, ශරියා විශ්ව විද්‍යාල වෙන්න පුළුවන්, බුර්කා ඇඳුම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් විවාහ නීතිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දික්කසාද නීතිය වෙන්න පුළුවන්, පෞද්ගලික නීති වෙන්න පුළුවන්, ඉඩම් නීති වෙන්න පුළුවන්; මේවා සම්බන්ධයෙන් ජනතාව තුළ තියෙන සැක බිය දුරුකරගැනීම සඳහා වෙන නව නීතිරීති ඒ වගේම වෛරය ප‍්‍රකාශවෙන ක‍්‍රියාවලීන්, අන්‍යාගම් හෙළාදකින ක‍්‍රියාවලීන් සම්බන්ධයෙන් ශක්තිමත් නීති පද්ධතියක් ගොඩනැගීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ වගකීම ආණ්ඩුවට පමණක් නෙවෙයි. මේ 225 දෙනාටම තියෙනවා. අපේ ජනතාවගෙ අනාරක්ෂිතභාවය බිය සැක දුරුකිරීම සඳහා ඒ නීති පැනවීමට. ඒ නීති පැනවීම ඉදිරි කෙටි කාලයක් තුළ සිදුනොවුණොත්, ඊළඟ දේශපාලන වෙනස සඳහා ජනාධිපතිවරණයට රට ගමන් කරන්නේ අනාරක්ෂිත හැඟීමෙන් ප‍්‍රතිපත්ති මත නෙවෙයි ඒ ජනාධිපතිවරණය තීරණය වන්නේ බිය සැක මත. 

ඒ නිසා.. මේ රටේ ඒ බිය සැක මත ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා තෝරාගැනීම වැළැක්වීමේ වගකීම තියෙන්නෙත් මේ පාර්ලිමේන්තුවට. මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි. මේ සමස්ත 225ටම බව අපි ප‍්‍රකාශ කරන්න  ඕනෙ. 

ඒ වගේම මේ පාර්ලිමේන්තුවෙත්, මේ ස්ථානවලත් නොයෙක් ආකාරයට ප‍්‍රකාශ කරන කාරණයක් ගැන මගේ අදහස් දක්වන්න කැමතියි. ඒක තමයි මේ කොළඹ ඉඳන් තිරිකුණාමලයට ආර්ථික කොරිඩෝවක් හදලා තියෙනවා ඒ හදන්නෙ ඇමරිකාවෙ සී අයි ඒ එකට  ඕනෙ විදිහටය කියලා. ඇත්තටම මේ රටේ තියෙනවා ජාතික භෞතික සැළැසුමක්. ඒ ජාතික භෞතික සැළසුම 2008 දි හැදුවා 2011 දි ගැසට් කළා. අවුරුදු 10න් දහයට රටේ වෘත්තීයවේදීන් විද්වතුන් දහස් ගාණක් එකතුවෙලා මේ ජාතික භෞතික සැළැසුම සකස් කරනවා. මෙවර මේ රජය යටතේ අපේ අමාත්‍යාංශය යටතේ විද්වතුන් 3000ක් එකම ඇමරිකන්කාරයෙක්වත් නෑ. දේශීය විද්වතුන් තුන්දාහක් එකතුවෙලා තමයි ජාතික භෞතික සැළැසුම හැදුවෙ. සාකච්ඡුා වාර සභා සිය ගාණක් පවත්වලා තියෙනවා. ඒකෙන් අපි අඳුරගත්තා රටේ අධ්‍යාපන මට්ටම, රටේ ඉඩම් අවශ්‍යතාවය, රටේ ජල අවශ්‍යතාවය, රටේ පරිසර සං?රක්ෂණය කියන මේ කරුණු සියල්ල සළකා බලලා ආර්ථික සහ ජනගහණ කොරිඩෝ හතරක්. එයින් එකක් තමයි කොළඹ ඉඳන් තිරිකුණාමලයට, අනිත් එක තමයි අම්බලන්ගොඩ සිට අම්බලන්තොටට. අනිත් එක තමයි ත‍්‍රිකුණාමලයේ පහළ කොටස මුත්තූර් ඉඳන් අම්පාරට, අනික තමයි යාපනයේ ඉඳන් කිළිනොච්චියට. මීට අමතරව උපනගර 9ක්, තවත් නගර 24ක්, අපි අඳුරගෙන තියෙනවා ඉදිරි කාලයේ කටයුතු කරන්න. මේවා සී.අයි.ඒ. කියන්නේ.. 8 අසමත්, දේශපාලන කුමන්ත‍්‍රණ විදියට විතරක් මේ ලෝකය දකින තක්කඩින්ගේ යෝජනා බව අපි කියන්න  ඕන. මේක ඉතාමත් පැහැදිලි විද්‍යාත්මක ක‍්‍රියාදාමයක්. 

ත‍්‍රිකුණාමලයෙ අපි විවෘත කරන්න යනවා, ඒ මුළු නැගෙනහිර කළාපයම විවෘත කරන්න යනවා, නැගෙන ආසියාවත් එක්ක. නැගෙන ආසියාවේ බංගලිදේශයත් එක්ක. ඒ වගේම චීනයේ කුන්මින් නගරයත් එක්ක. ඒ වගේම මියන්මාරය, ලා ඕසය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාවත් එක්ක. මේකෙ තියෙනවා ට‍්‍රිලියන දෙකහමාරක ආර්ථිකයක්. ට‍්‍රිලියන දෙකහමාරක ආර්ථිකයකට නැගෙනහිර පළාත විවෘත කිරීම තමයි මෙහි තිබෙන ප‍්‍රධාන අරමුණ. ඒ නිසා අපි එකක් අවබෝධ කරගත යුතුයි; 

අද මේ ලෝකේ ගැටුමක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒක පිළිගත යුතුයි. ලෝකයේ ඉතිහාසය පිළිබඳව ඉතාම වැදගත් දේශපාලන කෘතියක් මේ ළඟදි නිකුත් වුණා ග‍්‍රැහැම් ඇලිසන් විසින් ලියන ලදිඩෙස්ටයින් ෆෝ වෝ’ කියලා. ඒකෙ පෙන්නලා දීලා තියෙනවා පසුගිය අවුරුදු පන්සීයක කාලය තුළ ලෝකයේ බලවත් රාජ්‍ය පහුකරන්න දෙවෙනියෙක් උත්සාහ කරපු දහසය වතාවක, දොළොස් වතාවක්ම යුද්ධ ඇතිවෙච්ච බව. දැන් ඇමරිකා එක්සත් ජනපදයත්, චීනයත් අතර එවැනි ගැටුමක් ඇතිවෙලා තියෙනවා. අපි මේ රටේ අය හැටියට අපි චීන ගැත්තන් වෙන්නවත්, ඇමරිකන් ගැත්තන් වෙන්නවත්  ඕනෙ නෑ. මේ ඉන්දීය සාගරයේ අපට තියෙන වැදගත් භූගෝලීය පිහිටීම පාවිච්චි කරලා මේ රට ආර්ථික සමාජමය අතින් බලවත් රාජ්‍යයක් කිරීමයි අපට අවශ්‍ය වෙන්නෙ. 

ඒ නිසා අපි, කිසිම ආකාරයකට මේ රජය, ඒක බොහොම පැහැදිලිව කියන්න  ඕනි, රහසේ ගිවිසුම් අත්සන් කරන්නේ නෑ. 2017 ඇමරිකන් පුරවැසියෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකන් පුරවැසියෙක් වෙච්ච රොබට් බ්ලේක් එක්ක එකතු වෙලා, ගහපු ගිවිසුම කිසිම කැබිනට් මණ්ඩලයකට ගෙනාවේ නෑ. නමුත් මේ ගිවිසුම අපි කැබිනට් මණ්ඩලයට ගෙනල්ල තියෙනවා. ගෙනල්ල තියෙනවා විතරක් නෙවෙයි, විස්තරාත්මකව ලබාදීල තියෙනවා කවර, අනුඛණ්ඩ කොතෙන්ට කොතෙන්ටද ගමන් කරන්නේ කියල. නමුත් ගෝඨාබයගේ ගිවිසුමේ හැටියට ඇමරිකන් හමුදාවේ  ඕනෑම අනුඛණ්ඩයකට රටට මැදිහත් වීමේ අයිතිය තිබුණු බව මතක් කරන්න  ඕනි. අද ඒ රොබටෝ බ්ලේක්ව ගෙනල්ල රාජපක්ෂගේ අනාගතය ගොඩනගා ගැනීම ගැන දේශනා පවත්වන්න මුදල් දීල, දේශනා පැවැත්වීම ගැන මේ ඇමරිකන් විරෝධියෝ, මේ යැංකි විරෝධියෝ මොකද කියන්නේ කියන එක අපි අහන්න  ඕනි.

අපේ රට කිසිම ආකාරයකින් අපි ඇමරිකා එක්සත් ජනපදයේ හෝ චීනයේ හෝ වෙනත් රටක හෝ යටත් විජිතයක් කරන්න, අපේ ස්වාධිපත්‍ය යටපත් කරන්න, පාර්ලිමේන්තුවට තිබෙන නීති සම්පාදනය කිරීමේ අයිතිය අහෝසි කරන්න, කිසිම ආකාරයකට අපි ඉඩ නොදෙන බව බොහොම පැහැදිලිව කියන්න  ඕනි. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම්ගත යුතුයි, කිසිම ආකාරයක අධ්‍යාපන සුදුසුකමක් නැති අයගේ දේශපාලන කෑදැති කතා වලට රටේ ජනතාව මුලාවිය යුතු නැති බව. 

ඒ වගේම අපි මතක තබාගන්න  ඕනි, මේ රට අතීතයේදී ජයවර්ධන ජනාධිපතිතුමාගේ යුගයේදීත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ යුගයේදීත්, ලෝක බල අරගලයේ එක පැත්තක් ගන්න ගිහිල්ලා රටට බලගතු විනාශයක් සිද්ධ වුණා. ඒ නිසා අපේ නොබැඳි පිළිවෙත, මේ ඉන්දියානු සාගරයේ අපේ නොබැඳි පිළිවෙත කිසිම බලගතු රාජ්‍යයකට යට නොවී ගමන් කරන නොබැඳි පිළිවෙත ආරක්ෂා කර ගැනීමෙන් මේ රටට බලවත් තත්වයකට පත්වෙන්න පුළුවන්. 

ඒ වගේම විශේෂයෙන්ම, අපගේ අනාගතය රැුඳිලා තියෙන්නේ, මේ මුහුදු මාර්ග පාලනය කරන්න අපි කොයිතරම් උත්සාහයක් දරනවද කියන එක මතයි. ඒ නිසා අනාගතයේ මේ රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථික දියුණුවෙත් මර්මස්ථානය වෙන්නේ නාවික හමුදාවයි. ඒ නිසා බලගතු නාවික හමුදාවක් මඟින් මුහුදු මාර්ග, ඒ වගේම ගුවන් මාර්ග පාලනය කිරීමට අපි ගමන් කරන වැඩ පිළිවෙලක් සකස්කර ගත්තොත් අපට ඉතාම වැදගත් ආකාරයට මේ රට වැදගත්, බලවත්, ඔදවත් රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් බව ප‍්‍රකාශ කරමින්, ඒ සඳහා අවශ්‍ය වැදගත් ප‍්‍රතිපත්ති සාකච්ඡුා කරන මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතු බව පැවසීය.

No comments:

Ad
Powered by Blogger.