සජිත් ප්‍රේමදාස ගම් උදාවෙන් ‘වාරික සර්‘ වූ හැටි මෙන්න.


‘‘මගෙ බල්ලවත් මුන්ට ආයෙ ඡන්දෙ දෙන්නෙ නෑ...“ අප සමග එසේ පවසන්නේ ඒ නිවාසවල ජීවත් වන නිවාස ලාභියෙකි.

*     *     *     *

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අති දුෂ්කර ගමකට පිවිසෙන විට මෙවැනි පුවරුවක් හමු වේ. ‘‘ගම් උදාව 2016 - සුන්දරදේවිගම - සැමට සෙවණ‘‘. තාර බිඳක් හෝ සිප නොගත්, අව් කාෂ්ටකය පමණක් සිපගත් මේ ගුරු පාරට හැරෙන තැනම එක සමාන ආකෘතියකින් යුතු නිවාස 29 කි. 

ඒ නිවාසවල ජීවත් වන්නන් මුණ ගැසීමට පෙර අප මේ දිගු ලැයිස්තුව කියවා ගත යුතුය. 

‘‘නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ‘වසර 2025 දී ‘‘සැමට සෙවණ‘‘  ලබාදීමේ ඒකායන අරමුණ වෙත ගරු ඉන්දික බණ්ඩාරනායක මැතිතුමාගේ ශක්තිය සමග පිය නගමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ‘‘සැමට සෙවණ‘‘ ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු වසන්ත පරාක්‍රම සේනානායක මැතිතුමාගේ යෝජනාවක් අනුව ඉදිවන මෙම ආදර්ශ ගම්මානය ..‘‘

මේ ඉතා දිගු ලැයිස්තුව අවසානයේ ගාම්භීර අයුරින් දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස තුමුම පැමිණ වර්ෂ 2017 ක් වූ අප්‍රේල් මස 27 වන දින ජනතා අයිතියට පත් කරන ලද වග ය. මේ සඳහා දායකත්වය ලබාදී තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ වාරිමාර්ග හා ජල කළමනාකරණ මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් විසිනි. 

දැන් අපි, ඒවා ජනතා අයිතියට පත් කර වසර 2කුත් මාස 3කට පසුව ඒවායේ ජීවත් වන්නන් හමුවීමට යමු.

‘‘මගෙ බල්ලවත් මුන්ට ආයෙ ඡන්දෙ දෙන්නෙ නෑ...“ අප සමග එසේ පවසන්නේ ඒ නිවාසවල ජීවත් වන නිවාස ලාභියෙකි.

‘‘අපේ වාරිකය රුපියල් හාරදාහක්. අපිට අවුරුදු 20 ක් යනකල් මේවයෙ අයිතිය ලැබෙන්නෙ නෑ. අපි හරියට කුලී ගෙවල්කාරයො වගේ. අපිට පදිංචියට යද්දිම රුපියල් හැටදාහක ඇරියස් එකක් දාල තිබ්බා. අපි දැන් වාරික ගෙවන්නෙත් අමාරුවෙන්..“

‘‘අපිට ලයිට් දුන්නෙත් ණයට. බිල ගෙවාගන්න බැරි වුණාම ඇවිත් මීටර ගළවන් ගියා. වතුර දුන්නෙත් ණයට..“

නළ ළිඳක් සහ පොදු ළිඳක් යන දෙකම ගම් සැලැස්මේ මහ උජාරුවෙන් ප්‍රදර්ශනය වුවත් අවම වශයෙන් ගමේ ජල සමිතිය දැනට වසර 15 කින් සක්‍රිය වී නැති අතර, පාරේ ජල කරාමය වසා දැමීම ඒ අසල පදිංචි ව සිටිනවුන්ගේ වරප්‍රසාදයක් ලෙස සැලකෙන බවත් ගම්වාසීහු කියා සිටියහ. මේ ව්‍යාපෘතිය යටතේ නවෝද්‍යා ජල මූල ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 30 කි. 

‘‘ඊයෙ දවසටවත් අපිට වතුර ආවෙ නෑ..“

‘‘අපිට බොන්න වතුර ගන්න වෙලා තියෙන්නෙ මී හරක් මඩ කරන කුඩා වැවෙන්. හවස හතරෙන් පස්සෙ එහෙම යන්නත් බෑ පිට්ටනියට අලි බහිනවා..“

මරණ හතරක් ඇති මිනිස්සු 

දැන් මේ ගම්වාසීන් මාරක හතරකට මැදි වී සිටිති. එක් පැත්තකින් ඔවුන් 2016 ගම් උදාව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ ගමේ ඉදිවූ නිවාසවල පදිංචි වී සිටින්නේ ණයට ය. වියපත් පුද්ගලයන්ගේ ණය වාරිකය අධික අතර, තරුණ අය වැඩි කල් ජීවත් වන නිසාත්, ජීවත් වන තෙක්ම ණය ගෙවිය හැකි නිසාත් ඒ අයගේ වාරිකය රුපියල් දෙතුන් දාහකි. නොකඩවා ඒ ණය වාරික ගෙවිය යුතුය. මාස්පතා ගමට එන වාරික මහත්තයාගෙන් ගමේ ගැහැණු අනේක විධ වචන අසති. ‘‘උඹලගෙ ළමයින්ටවත් මේකෙන් ගැළවිල්ලක් නෑ‘‘ යැයි ඒ වාරික මහත්තයා නිතර කියන බව ද ගම්මු කියති. අනෙක් පසින් ඔවුන් විදුලි ණය ගෙවිය යුතුය. බොන්නට පිරිසිදු දිය බිඳක් නැතත් ජල ණය ද ගෙවිය යුතුය. ඒ මදිවාට වියළි කලාපය වසාගත් තවත් මාරකයක් ඔවුන් අබියස ය. ඒ අන් කිසිවක් නොව ක්ෂුද්‍ර මූල්‍ය මාරකයයි. 

ඒ වාරික මහත්තුරු සහ මේ වාරික මහත්තුරු

මේ ප්‍රශ්නයේදී සජිත් ප්‍රේමදාසත් නිවාස අධිකාරියේ ‘වාරික මහත්තුරුත්‘ මේ ක්ෂුද්‍ර මූල්‍ය උවදුර සමග එකට ඈඳෙන්නේ කෙසේද? නිවාස සංවර්ධන අධිකාරිය පවතින්නේ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යටතේ ය. 2016 වසරේ සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ රට පුරා ආදර්ශ ගම්මාන 160 කට නොඅඩු සංඛ්‍යාවක් ඉදි වන්නේ එක් ආදර්ශ ගම්මානයකට නිවාස 20-30 ත් අතර ප්‍රමාණයක් ලබා දෙමිනි. ඒවා කිසිසේත්ම නොමිලේ ලබාදෙන නිවාස නොව - ණයට ලබාදෙන නිවාස ය. ණය මුදල නිකුත් කළ දිනයේ පටන්ම පොලිය එකතු වී තිබෙන අතර, ප්‍රතිලාභීන් පදිංචියට යන දිනය වන විට රුපියල් හැට දහස බැගින් හිඟ මුදලක් නිර්මාණය වී තිබෙන්නේ ඒ අනුවය. 

සජිත් ප්‍රේමදාස සහ නිවාස සංවර්ධන අධිකාරිය මේ ව්‍යාපෘතිය කරන්නේ විදේශාධාර හෝ විදේශ බැංකුවක ආධාර යටතේ නම්, ඒ නොමිලේ ලැබෙන ආධාරවලින් ඔවුන් මේ කළේ දුප්පත් ගම්මුන්ට නිවාස හදා විකිණීමේ ජාවාරමක්දැයි සොයාබැලීම පසුවට තබමු. 

මෙම ව්‍යාපෘතිය යටතේ සුන්දරදේවි ගම්මානයේ තෝරාගත් එක් ප්‍රතිලාභියෙකු හට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් ලබාදුන් අතර, එදා වේල කන්නටවත් නොහැකි, 1995 වසරේ එල්ටීටීඊ ප්‍රහාරයකින් ගම්මුන් තිස් ගණනක් කපා කෙටූ මතකයත් සමග ජීවත් වන මෙම ගම්වාසීන් හට නිවාස සංවර්ධන අධිකාරිය දැමූ කොන්දේසිය වූයේ, ඒ ලක්ෂ තුනහමාරක මුදල ලබාගෙන ගෙයක් සාදා ගන්නට නම් ඔවුන් ද එක් අයෙක් රුපියල් ලක්ෂය බැගින් දායක මුදල් ගෙවිය යුතු බව ය. 

ගම්මානයට පිවිසෙන ස්ථානයේ තිබෙන පුවරුවේ පැහැදිලිව දක්වා ඇති අන්දමට එය සිදුවුණේ මේ ආකාරයෙනි.

  • නිවාස සංවර්ධන අධිකාරියෙන් ගම්මානයේ නිවාස 29 ඉදිකිරීම සඳහා ලබාදුන් මුදල - එකසිය පන්ලක්ෂ අසූපන්දහකි. (105,85,000/-)
  • ඒ අනුව එක් නිවාස ලාභියෙකුට ලබාදුන් ණය මුදල = 105,85,000/29 = 365,000/-
  • නිවාස ලාභීන්ගෙන් අපේක්ෂා කළ මුදල - රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑපන්දහසකි. (7,975,000/-)
  • ඒ අනුව එක් නිවාස ලාභියෙකු පොලිය සහිතව අවසානයේ ගෙවිය යුතු මුදල - රු.7,975,000/29 = 275,000/-

නිවාස ලාභීන්ට ලැබී ඇති උපදෙස් අනුව ඔවුන් රුපියල් ලක්ෂය බැගින් යොදාගෙන නිවාසවල වැඩ කටයුතු අවසන් කර ගත යුතු වූ අතර, පොලිය ද සමග ණය ගෙවා අවසන් වන තෙක් ඒ නිවාසවල සින්නක්කර අයිතිය ඔවුන්ට නොලැබේ. මේ අනුව වසර 20 අවසානයේ තනි නිවාස අයිතියක් ලැබීමට නම්, මේ නිවාස ලාභියෙකු පොලිය වශයෙන් පමණක් අමතර රුපියල් 175,000 ක් ද ගෙවිය යුතුය. 

දැන් මාස්පතා නිවාස අධිකාරියේ ‘වාරික මහත්තුරු‘ ගමට එන්නේ පොලිය ද සමග ඒ වාරිකය ගෙන යන්නට ය. 

‘‘අපිට කරන්න දෙයක් තිබුණෙ නෑ. අපි පවුල් 29 එකතු වෙලා එක්කෙනෙක් අනික් එක්කෙනාට ඇප වෙලා ලක්ෂය ගානෙ සති සමිති ණය ගත්තා..“ යැයි එක් කාන්තාවක් පවසයි. ‘‘අන්තිමට අපිට ඒවා ගෙවා ගන්නත් බැරි වුණා. වාරික එකතු කරන්න ඒ මහත්තුරු එද්දි අපි ළමයි කිහිල්ලෙ ගහගෙන කැලේ පනිනවා.. වැවේ පැනල මැරෙන්න හිතුණු වාර අනන්තයි..‘‘

අවසානයේ ඔවුන් රටම වෙළාගත් ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ තවත් ගොදුරක් බවට පත්වුණේ එහෙම ය. සජිත් ප්‍රේමදාසත් ඔහුගේ නිවාස සංවර්ධන අධිකාරියත් අන්තිමට ක්ෂුද්‍ර මුල්‍ය උවදුරට දායක වී තිබෙන්නේ එහෙම ය. 

දැන් නිවාසවල වාරික එකතු කරන්නට එන මහත්තයාටත් ගමේ ගැහැණු කියන්නේ ‘වාරික මහත්තයා‘ කියා ය. ක්ෂුද්‍ර මූල්‍ය ණය වාරික එකතු කරන්නට එන අයටත් ගමේ ගැහැණු කියන්නේ ‘වාරික මහත්තයා‘ කියා ය! 

අතිශය අසුන්දර ජීවිත ගත කරන සුන්දරදේවි ගම්මානයේ පමණක් නොව, සජිත් ප්‍රේමදාස හැදූ හැම ආදර්ශ ගම්මානයකම වත්මන් තත්වය මෙය විය හැකිය. 

මේ ව්‍යාපෘතිය යටතේ සිදුකළ‘සැමට සෙවණ‘ ආදර්ශ ගම්මානයක් විවෘත කිරීමේ උත්සවයකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්ම නිෂ්පාදනය කර ඇති මෙම වීඩියෝවේදී සජිත් ප්‍රේමදාස මෙසේ පවසයි. ‘‘විදුලි වේගයෙන් අපි වැඩ.. දිවා රෑ නොබලා අපි වැඩ.. සති අන්තය දිහා බලන්නෙ නැතිව අපි වැඩ..“ 

ඉතින් ඔන්න වැඩ කළ හැටි!

පසු සටහන


සජිත් ප්‍රේමදාස කවදත් වැඩ කරන්නේ මෙහෙම ය. ඊට වඩා දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැකි නමුත්, ඔහුට අපට කීමට තිබෙන්නේ ‘නැති බැරි අය ඇති හැකි අය කළ‘ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට අවංක වැඩ පිළිවෙළක් තිබූ ඔහුගේ පියාණන්ගේ ‘ගම් උදාව‘ නාමය නොකෙළසීමටවත් අඩුම ගණනේ ඔහු ප්‍රවේශම් විය යුතුව තිබූ බව ය. එදා 1993 මැයි 1 වැනිදා මරාගෙන මැරෙන බෝම්බයකින් මිය යාමට මොහොතකට පෙර හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා පැවසුවේ ‘‘මාව මැරුවට කමක් නෑ. මගේ හොඳ නාමය කෙළසන්න එපා‘‘ කියා ය. 

[LNW]

No comments:

Ad
Powered by Blogger.