වැරැදි හොයන්න කොමිසම් පත්කළ එකම ජනපති මමයි: සිරිසේන තමන් කළ සේවය කියයි.


කලින් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමට සහ තම ආණ්ඩුවේ වංචා දූෂණ නැති කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවන් පත්කළ ශ්‍රී ලංකාවේ එකම ජනාධිපතිවරයා තමා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ඉහළ දේශපාලන නායකයන් සිදුකරන කෝටි, ප්‍රකෝටි මූල්‍ය වංචා මෙන්ම අහිංසක ගොවියකුට ඉඩම් බලපත්‍රයක් ලබාදීමේදී තම සාක්කු පුරවාගැනීමට උත්සාහ දැරීම ද තමාට ඉවසා සිටිය නොහැකි බවත්, වංචාව දූෂණය පිටුදැකීමට ක්‍රියාකරද්දී තමා බලයට පත්කරගැනීමට සහාය වූ අය මෙන්ම විරුද්ධ පක්ෂයත් තමන්ට විරුද්ධ වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. හැටදෙලක්ෂ පනස්දහසක ජනතාව 2015 ජනපතිවරණයේදී තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්කරගත්තේ සියලු ආකාරයේ වංචා හා දූෂණ පිටුදැකීමට බවද තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කෙළේ මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ(2) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවය අමතමිනි.

එහිදි තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට මා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව මට ලැබුණා. පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එමඟින් අනාවරණය කර තිබෙනවා. එහි ඇති සියලු කරුණු මා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරනවා. වංචාව සහ දූෂණය පිටු දැකීමේ දී ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නීතිය ක්‍රියාත්මක කිරීම තම ප්‍රතිපත්තියයි.

ඉහළ දේශපාලන නායකයින් සිදු කරන කෝටි, ප්‍රකෝටි මුල්‍ය වංචා මෙන් ම අහිංසක ගොවියකුට ඉඩම් බලපත්‍රයක් ලබාදීමේ දී සාක්කු පුරවා ගැනීමට උත්සහ දැරීම මාට ඉවසා සිටිය නොහැකියි. මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් 2015 ජනාධිපතිවරණයේ දී මා මේ රටේ ජනාධිපති ධූරයට පත් කර ගත්තේ එම සියලු ආකාරයේ වංචා සහ දූෂණ පිටු දැකීමටයි. වංචාව හා දූෂණය පිටුදකිමින් රට ගොඩනැගීමට කටයුතු කරද්දි තමා බලයට පත්කර ගැනීමට සහය වූ අය මෙන්ම විරුද්ධ පක්ෂයේ අය ද මාට විරුද්ධ වී සිටිනවා. ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා මාට වෙනසක් නෑ. සියලු වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙනවා. අද තමාට ආණ්ඩුවේ අය මෙන්ම විපක්ෂයේ අය ද දොස් නගන්නේ දූෂණය සහ වංචාව පිටු දැකීමට ගෙන යන වැඩපිළිවෙළ නිසායි. අද පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන්නේ අදාළ කොමිසන් සභා වාර්තා අනුව බවයි. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 7ක් පවරා තිබෙනවා. මා ද එම සිදුවීමට වග උත්තරකරුවෙක් කර ඇත්තේ මා විසින්ම මේ රටේ ගොඩනැඟු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය අපක්ෂපාතිව කටයුතු කර ලබාදෙන ඕනෑම තීන්දුවක් භාර ගනීමට මා සූදානමින් සිටිනවා.මෙම සියලු කටයුතු වෙනුවෙන් මා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර තිබෙන අතර, කරුණු නොදැන ඇතැම් පිරිස් මට චෝදනා නඟනවා. කුමන බාධා හමුවේ වුව ද තම වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.එමෙන්ම මා පිළිබඳ චෝදනා ඇත්නම් ඕනෑම අයකුට අධිකරණයට ගොස් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ හැකියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස සිට උසාවි යන රාජ්‍ය නොවන සංවිධාන මට විරුද්ධව ගෙන යන ප්‍රචාර මෙන්ම රටට එරෙහි ගිවිසුම්වලට විරුද්ධ වූ විට ඇතැමුන් එල්ල කරන චෝදනා කිසිවක් සැලකිල්ලට ගන්නේ නෑ.මා උත්සහය වී ඇත්තේ රටත්, ජනතාවත් ගොඩනැගීම පමණක්යි.සෑම ශ්‍රී ලාංකිකයකුටම තමන්ගේම ඉඩමක හිමිකම හා නිවෙසක උරුමය ලබාදීමේ ප්‍රතිපත්තිය අනුව මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන 2016 වසරේදී ආරම්භ කළා.සාර්ථකව ක්‍රියාත්මක වූ වැඩසටහන මේ වන විට අවසන් අදියරේ පවතිනවා. ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනකු වෙත ඉඩම් ඔප්පු පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනෝමා ගමගේ, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, පී දයාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මහවැලි සී කලාපයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩියේ ඉදි කෙරුණු ,මහවැලි මංසල, සංචාරක නිවාසය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. සොබාව සෞන්දර්යයෙන් අනූන මහවැලි කලාපවල අසිරිය විඳ ගැනීමට දෙස් විදෙස් සංචාරයකයන්ට අවස්ථාව සලසා දෙමින් සුවදායී නවාතැනක් ලෙස මෙම මහවැලි සංචාරක නිවාසය ඉදි කැර තිබේ.

No comments:

Ad
Powered by Blogger.