කුමන්ත්‍රණයක්: හේමසිරි හා පුජිත බියකර රනිල් 'ගස් යැවීමේ' උත්සහයක්!


අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව මේවනවිට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක් ක්‍රියාත්මක වී ඇත්තේ ඔවුන් දෙදෙනා බියගන්වා අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රකාශයක් ලබාගැනීමට දැයි සාධාරණ සැකයක් මතුව ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වාර්තා කරයි.

පූජිතට සහ හේමසිරිට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන පිලිබද චෝදනා ඉදිරිපත් කරන්නේ යුක්තිය පසිඳලීමට නොව දේශපාලන ගේමක ඇමක් ලෙසින් බවත්, යම් හෙයකින් පූජිත හෝ හේමසිරි පාස්කු ප්‍රහාරය පිලිබඳව අගමැති වරයාට දැනුම් දුන් බව ප්‍රකාශ කළ හොත් දෙදෙනාම නිදහස් වී ජනාධිපති සුදනා වී අගමැතිවරයා ද්‍රෝහියා වන බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

පූජිත සහ හේමසිරි අත් අඩංගුවට ගත්තේ පාර්ලීමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දුන් නිසායයි සිතීම වැරදි නිගමනයක් බවත්, ඊට වඩා දේශපාලන ”ගේම් එකක්” මේ පි‍ටුපස ක්‍රියාත්මක වනබවත් පවසන එම වෙබ් අඩවිය, ජනාධිපතිගේ සැලසුම වන්නේ ප්‍රහාරය පිලිබඳව අගමැති දැනුවත්ව සිටි බවට සාක්ෂි ඉදිරිපත් කිරීම සහ ඒ හරහා ඔහු සමග ගොනු වී ඇති මුස්ලිම් දේශපාලන සංධානය කඩා බිඳ දැමීම බවද කියා සිටියි.

චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය පසුබිම:

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න (03) නියෝග කළ අතර ඇප ඉල්ලීමේ තීන්දුව ද එදිනට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ඊයේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

එම චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය පසුබිම පැහැදිළි කරන්නැ'යි මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයාට දැනුම් දුන්නාය.

296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ලකිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය.

එමෙන්ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවා දායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කරණු ලැබුවේය.

චෝදනා මෙන්න :

පළමුව කරුණු දක්වමින් පැමිණිල්ලේ නීතිඥවරයා වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේ පහත සඳහන්, පැහැදිළි බුද්ධි තොරුතුරු පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයාට ලැබී තිබුණ ද එම විනාශය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවය.

01. ප්‍රහාරය එල්ලවන දිනය හා වේලාව දැන සිටීම

02. මරාගෙන මැරෙන ප්‍රහාර බව දැන සිටීම

03. අදාළ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් නිවැරදිව හඳුනා ගෙන තිබීම

04. ඉලක්කය කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බව දැන සිටීම

05. මෙම අනතුර ගැන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් දැනුවත් නොකිරීම

06. අප්‍රේල් 18, 19 හා 20 දිනවල ලද බුද්ධි වාර්තා ගැන පොලිස්පතිවරයා නිසි අවධානය යොමු නොකිරීම

පූජිත් සහ හේමසිරි නිවැරදිකරුවන් බවට ඇති තර්ක

හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යන තම සේවාදායකයන් නිවැරදිකරුවන් බව පැහැදිළි කරමින් ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඔහු කරුණු දැක්වීම ආරම්භ කළේ, ''බුද්ධි අංශ තියෙන්නේ කා අතේද? එයයි මෙහිදී සැළකිය යුතු ප්‍රශ්නය'' යනුවෙන් සඳහන් කරමිනි.

2015 ජනවාරි 18 වැනිදා නිකුත් කෙරුණු 1897/15 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව බුද්ධි අංශ පවතිනේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා යටතේ බව ඔහු සදහන් කළේය .

එමෙන්ම 2019 පෙබරවාරි 19 දින සිට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තුරු ආරක්ෂක මණ්ඩලය කැඳවා නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

''අප්‍රේල් 04 මුල් තොරතුර ලැබුණේ ඉන්දියාවෙන්. අපි දෙන්නේ තොරතුරක් විතරයි. ඒක විමර්ශනය කර අපටත් කියන්න'' යනුවෙන් තමයි එම වාර්තාවේ තියෙන්නේ යැයි පැවසූ අනුජ ප්‍රේමරත්න නීතිඥවරයා, එම බුද්ධි තොරතුර සහිත ලිපියක පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේය.

''අයිස් ඔන්ලි''

ඔහු පහත සඳහන් තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

01. හේමසිරි ප්‍රනාන්දුට රාජ්‍ය බුද්ධි අංශයෙන් කිසිඳු ලිපියක් ලැබී නොමැති අතර ඔහු මේ ගැන දනුවත් වූ එකම ලිපිය ලැබුණේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ලද ලිපියකින් බව.

02. ''අයිස් ඔන්ලි'' ලෙස සඳහන් වුවද එම වාර්තාවේ බැරෑරුම්කම සළකා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිවුදෙනෙකුට ලිපි යවා ඇති බව.

03. අප්‍රේල් 09 කැඳවූ බුද්ධි තොරතුරු රැස්වීමේදී මෙම අවදානම ගැන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කිසිදු අදහසක් නොදැක්වීම.

04. ඉන්දියාවෙන් ලද තොරතුරු මේ වනතෙක් නිරීක්ෂණය වී නොමැති බව අප්‍රේල් 09 දින ද පොලිස්පතිවරයා වෙත දන්වා තිබීම.

05. අප්‍රේල් 09 සිට 18 දක්වා මේ අනතුර ගැන කිසිදු දැනුවත්කමක් නොකිරීම.

ඔහු අවධාරණය කළේ ප්‍රහාරයට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදු වූ දින පෙරවරුවේ 'WhatsApp' සහ දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පැවසුව ද එම තොරතුරු නිශ්චිත ඒවා නොවන බවය.

තවත් කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේ සුදුසු ඇපයක් මත තම සේවාදායකයන් මුදාහරින ලෙසය.

එම ඇප ඉල්ලීමේ තීන්දුව ලබන 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය එදින දක්වා සැකකරුවන් තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

සමාජ මාධ්‍ය කියන කතා :

මේ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකෙරෙන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සමාජ මාධ්‍ය තුල පුළුල් සංවාදයක් ඇතිව තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති පිලිප් ශාන්ත මෙසේ පොස්ටුවක් පළකර තිබේ.

''ගෝටව ගන්න බැරි උනාට හේමසිරි ගන්න පුළුවන්. එහෙව් නීතිය අනුව තමයි මරණ දඩුවම ගේන්නෙත්. කට්ටියක් කැමැති වෙන්නෙත් ඒ මරණ දඩුවමට තමයි.''

එසේම, ඔහු තවත් පොස්ටුවක් පළකරමින් මෙසේද සටහන් කර තිබේ.

''පොලිස්පති අත්අඩංගුවට ගත යුත්තේ ජනාධිපති හා අගමැති ද සමග ය. එසේ නොවන තාක් එය පළිගැනීමේ වෛරී ක්‍රියාවක් පමණි.''

රවිනාත් විජේසේකරට අනුව මෙය ''සිල් රෙදි අංක දෙකයි'' . ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ පොස්ටුවක් පළකර ඇත.

''සිල් රෙදි අංක දෙක - පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිය යුත්තන් ලෙස රාජ්‍ය නිලධාරීන් ගස් යැවිම.
සහරාන්ගේ ඉලක්ක සාර්ථක කර දීම සඳහා දැන දැනම ආරක්ෂාව දුර්වල කළ දේශපාලකයන් විත්ති කූඩුවට නැගිය යුතුමයි...!

ප්‍රියන්ත රාජපක්ෂ පළකළ එවැනිම පොස්ටුවක මෙසේ සඳහන් වේ.

එසේම ලයනල් බෝපගේ නමින් යුතු FB පිටුවක මෙසේ සඳහන් වේ.

''කොමිෂන් වාර්තාවක් අනුව යමෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කිරීමට නීතිපතිවරයෙකුට බලයක් නැත. එසේ කිරීමට පෙර වාර්තාවෙන් හෙළි වූ කරුණු අනුව පොලිසිය විසින් අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතුය. යමෙක් අත් අඩංගුවට ගත හැක්කේ පොලිසිය විසින් සිදුකරන අපරාධ පරීක්ෂණයකින් පසු එවැනි අපරාධයක් සිදුව ඇතැයි කරුණු හෙළිවුවහොත් පමණය.''

මේ අතර සංජය ලියනගේ සිය FB පිටුවේ 'වැල යන අත ?' යන ශීර්ෂයෙන් යුතු මෙවැනි සටහනක් පළකර ඇත.

''දැන් හේමසිරි ප්‍රනාන්දු ට තියෙන්නේ "පාස්කු ප්‍රහාරයට අදාල බුද්ධි තොරතුරු ජනාධිපති සිරිසේන රටේ නොසිටි නිසා අගමැති රනිල් ට දුන්නා. ඒත් එයා ගණන් ගත්තේ නෑ " කියලා කියන්න.

එතකොට ප්‍රශ්නයක් එන්න පුලුවන් "ඇයි ඔය කතාව දැන් කියන්නේ ? පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම හමුවේ නොකීවේ ?" කියලා.

ඒකට මෙහෙම කියන්න " මට මුල ඉඳලා ඒ ගැන විශ්වාසයක් තිබුණේ නෑ . ඒක අගමැති රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට පත්කල එකක්" කියලා.

එතකොට කතන්දරේ අමල් බිසෝ වෙනවා....!
මේකට ඕන අඩු වැඩි, තුනපහ, ලුනු දෙහි, මිරිස් දැනටමත් විජේදාස හදාගෙන ඉන්නවා ?

No comments:

Ad
Powered by Blogger.