පොහොට්ටුව ඇතුළේ නව සන්ධානයකට සාකච්ඡා: අපේක්ෂකයා මහින්ද.

සිය ධූර කාලය සහ මැතිවරණ ක්‍රමය ඇතුළු කැරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  සූදානමත් සමඟ විපක්ෂය දැඩි උද්යෝගයකින් පසුවන බව වාර්තාවෙයි. 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ජනමත් විචාරණයක් මඟින් සම්මත කරගත යුතු බවට අධිකරණය විසින් නියම කළ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කර ඇති හෙයින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් වලංගුද යන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට නියමිතව ඇති බව සඳහන්.

මෙම කාරණය මත පදනම්ව යම් හෙයකින් 19 වැනි සංශෝධනය බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රක්ස්ෂ කළහොත් 18 වැනි සංශෝධනය නැවත බලාත්මක වනු ඇත. එසේ වුවහොත් ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6ක් දක්වා දීර්ඝ වෙයි. 

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති බාධාව ද ඉවත් වෙයි. 

එසේ වුවහොත් පොහොට්ටුවේ අපේක්ෂක තරඟයද ඉවත් වනු ඇත. 

මේ අතර විවිධ තාක්ෂණික කාරණා ඉදිරිපත්කරමින් පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට හෝ පැවැත්වීම සඳහා නීතිමය අවකාශයක් ඇත්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමටද නියමිත බව වාර්තා වෙයි. 

ඉදිරි සතිය තුළ මෙම මතවිමසීම් සිදුකිරීමට නියමිතව ඇති බවත් එසේ මත විමසීමට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවත් සමඟ  දැන් පවත්නා දේශපාලන තත්ත්වයන් උඩු යටිකුරු වනු ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ම අවධාරණය කරයි. 

නව සන්ධානයකට සාකච්ඡා 

මේ අතර ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ. 

පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන්නැයි ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන දේශපාලන පක්ෂ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් බාර දෙමින් ඉල්ලා තිබිණි. 

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අසංක නවරත්න සහ ඩී. කලංසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය බාර දී ඇති බව වාර්තා විය. මේ අතර ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී. සංවිධානය, ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද නව සන්ධානය සමඟ එකතුවී කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව දැනගන්නට ඇත.

No comments:

Ad
Powered by Blogger.