එජාපයට දිනන්න පුළුවන් කොහොමද?


2015ට පෙර දිගින් දිගටම සිදුවූ මැතිවරණ පරාජයන් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂිකයා තුල පැවතියේ රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි කළකිරීමකි.

එම පක්ෂයෙන් බිහිවූ අවසන් ජනාධිපතිවරයා මෙන්ම දුප්පත් ජනතාව අතර ගෞරවාදරයට පාත්‍රවී සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා කෙරෙහි පෙරකී රනිල් කෙරෙහි කළකිරුනු පාක්ෂිකයින්ගේ ආදරය සහ ගෞරවය නිරායාසයෙන් යොමු වූ අතර සජිත්ද සිය පියා මෙන්ම ග්‍රාමීය ජනතාවගේ සිත් සතන් තුල වූ සිතුම් පැතුම් තේරුම්ගෙන සිය දේශපාලන ජීවිතය සකස් කරගත්තේය.

කොළඹ ප්‍රමුඛ නාගරිකයින් අතර අදත් ජනප්‍රිය රනිල් ය. ගමේ සජිත් ය.

පක්ෂයට අපහසු අවධීන් හිදී රවී කරුණානායක වැනි දේශපාලන නායකයින් මහා බරක් දැරුවේය.

පරාජයන් හමුවේ මේ තුන් ගොල්ලෝම තුන් පැත්තකය. මහ අලින් පිස්සු කෙලින් කල්හි පොඩි අලින් අතරමන් ය.

2015 චම්පිකලා මහින්ද සතුව තිබූ සිංහල - බෞද්ධ ජාතිකවාදි ජන්ද ලොරි එක පෙළටම ගෙනවිත් සිරිකොතට බෑවේය. එහි වාසිය හිමිවූයේ නිදහස් පක්ෂයෙන් ආ සිරිසේනටය.

රනිල්- සජිත්- රවී - කරූ සටන් නිසා වසර 20ක් පැරදුනු එජාපය දිනවන යතුර අයිතිව තිබුනේ චම්පිකටය.

2010 ෆොන්සේකා පසුපස ගොස් හොදටම කඬා වැටුනු එජාප පාක්ෂිකයිනුත්, රාජපක්ෂ හැර වෙන විකල්ප නැතැයි සිතූ සිංහල බෞද්ධ මධ්‍යම පාන්තිකයිනුත් චම්පිකලාගේ රාජිතලාගේ ඉල්ලීමට පෝලිමට ගොස් පළමුව හංසයාටත් දෙවනුව අලියාටත් කතිරය ගසා ජනාධිපති කෙනෙකු සහ ආණ්ඩුවක් බිහිකරන ලදි.

එකිනෙකා නොසලකමින්, බැණ අඩගසා ගනිමින් කල මරි මෝඩ දේශපාලනයෙන් සිරසේ කිලි මහරාජාත්, සිරිසේනත් සිතු සේ වාසි ලබාගත්තේය.

එජාපයට තනිව බෑ?

එක්සත් ජාතික පක්ෂය තනිව ඉල්ලා නිත්‍යානූකූලව නිදහස් හා සාධාරණව මැතිවරණයක් ජයග්‍රහණය කර ඇත්තේ 1977දි පමණි. ප්‍රේමදස මහතාගේ ජයග්‍රහණය ගැන බොහෝ වාද විවාද පවති. කෙසේ වුවද වසර 20කට වැඩි කාලයක් එජාපය මැතිවරණ ජයග්‍රහණය කර නැත.

එජාපයේ සියලූම දෙනා එකට එක්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවද පසුගිය පළාත් පාලන මැතිවරණයෙදි නවක පක්ෂයක් වූ පොදුජන පෙරමුණට පරාජයට පත්වීමට එජාපයට සිදුවිය.  එයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ අසමත් භාවය නොව පක්ෂය තුල ඇති අසමඟියයි.

එළඹෙන ජනාධිපතිවරණයටත් එජාපයේ කිසිදු නායකයෙකු තුල සැලසුම් නැත. ඇත්තේ බේද බින්න වීම් රංඩුවීම් පමණි.

මහින්දලා බලවත්ව සිටියද සංධාන වීමට පක්ශ සොයන්නේ මහපොළවේ යථාර්ථය දන්නා නිසාය. තනිව ජයගත නොහැකි බව දන්නා නිසාය. බලවත් මහින්දලාද සංධාන සොයද්දි සජිත්ලා තනි කොළ ආණ්ඩු ගැන හීන මැවීම ලොකු දේශපාලනික අත් වැරදීමකි.

තනි එජාප අපේක්ෂකයාට ගෝඨා හමුවේ ජන්ද ලක්ෂ 40ක් ගැනීමද විශාල අභියෝගයක් වනු ඇත.

විකල්පය කවුද?

චම්පිකගේ අමාත්‍යංශයේ සෑම විවෘත කිරීමකම එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයෙකු විය. ප්‍රදේශයේ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සිට ඉහළට සෑම අයෙකුටම ආරාධනා යොමු විය.

රට පුරා රනිල්ට මුල් තැනය.
හම්බන්තොට දී සජිත්ට මුල් තැනය.
කොළඹදී රවීට මුල් තැනය.
නුවරඑළියේදී නවීන්ට මුල් තැනය.
බදුල්ලේදී හරීන්ට මුල්තැනය.
කුරුණෑගලදි අකිලට මුල් තැනය.

චම්පික ඒ කිසිවකු අමතක කලේ නැත.

ඇමතිලා ඇමතිලා ගහ ගනිද්දී, එකමුතු කමක් නැති වෙද්දී චම්පිකගේ වැඩ වලට සියල්ලම සහභාගී විය.

කවරාකාරයක විවේචන පැවතියද රාජිතගේ සෞඛ්‍ය ඇමති කෙරුවාව නිසා බෙහෙත් මිල අඩුවිය.

ඔක්තෝම්බර් 26 වනදා සිරිසේන ලෝක පිස්සුවක් කෙලියේය. රනිල් - සජිත් අර්බුදයට මඟ පාදමින් සිරිසේන සජිත් සමඟ කල හොර කතා බහ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේම වැමෑරුවේය. ඒ සිරිසේනගේ හැටිය.

ඔක්. 26 ආණ්ඩුව පෙරළෙන විට එජාපයේ සියලූම නායකයෝ අන්දුන් කුන්දුන් විය. පාක්ෂිකයෝ අනාථ විය. සියල්ලෝම දුක්මුසු මුහුණින් යලිත් විපක්ෂයට යාමට හිත හදා ගනිද්දී "එකෙක් හෙළ වෙන්න නෑ. අපි හොදින් හරි නරකින් හරි මේ ආණ්ඩුව ආපහු ගන්නවා. අපිට මහපාරේ සටන් හොදට පුරුදුයි" යනුවෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාව දෙදරුම් කන්නට කෑ ගැසුවේ චම්පිකය. එජාප අපේක්ෂකයෝ මහ හඩින් කෑ ගසා ලක්ෂ ගණන් කොළඹට ආවේ ඒ ගැම්මටය.

අද බණින සමහර අය එදා කිව්වේ "මෙහෙම එකෙක් තමයි බං අපිට ඕන" කියාය.

චම්පිකගේ දර්ශණය ප්‍රායෝගිකවාදීය. අනාගතවාදීය. කොටින්ම කියන්නේ නම් 1978 රටට අලුත් මාවතක් සකස් කල ජේ ආර් ජයවර්ධනගේ නූතන මොඩලය චම්පිකය.

චම්පිකට පලු යන්න බනිමින් විජේරාම මාවතේ ඔහුගේ නිවසට යන එජාප/ පොහොට්ටු හාදයෝ ඒ ගෙදර දොරින් යලි එලියට එන්නේ "අඩේ විශ්ව විද්‍යාලයකට ගියා වගේ බං" කියාය. ඒ පැයට පැය භාගයට තෙල වැදිලාය.

හෙට රනිල් හිතුවක්කාරකමට අනාගත ජනාධිපති අපේක්ෂකත්වය අල්ලාගෙන සිටියහොත් එජාපයේ පරාජය නියතය. රනිල් තව එක් වරක් අගමැතිකම් කර ගෞරවාන්විතව ගෙදර ගොස් 2030ට සටන් කරන්නට සජිත්ට දිය යුතුය. සජිත් කලබල නොවී 2020 නිවාස අතහැර නව විශයක් සමඟ අත්දැකීම් ගෙන "මම ගෙවල් හදන්න විතරක් නෙමේ. ඕන දේකට ඔට්ටුයි" යනුවෙන් රට හමුවේ සනාථ කල යුතුය.

රවී සජිත් ගැටුම් අවසන් කොට සජිත්ගේ රජයක අගමැතිකම් කරන්නට සැරසිය යුතුය.  නවීන්ලාට හරීන්ලාට තව කල් තියන බව වටහා ගත යුතුය.

චම්පික මේ රටේ ජනාධිපති උනොත් ඔහුට පක්ෂ සමඟ හෙට්ටු වෙවි ඉන්නට කාලයක් නැත. ඔහු ගෙවන වසර පහ හෝ දහය මේ රට වෙන මාවතකට යොමු කිරීමට වැය කරනු විනා එජාපයේ නායකත්වය ගන්නට හෝ හෙළ උරුමය ලොකු කරන්නට හදන ගොං පාට් ඔහු ළඟ නැති බව සක්සුදක් සේ පැහැදිලිය.

චම්පික යනු විදුහල්පතිකම ලැබුනු පසු පන්ති නායකකම් වලට කෙළහලන මෝඩයෙකු නොව ඉංජිනේරු උපාධියක් ඇති අයෙකු බව වටහා ගත යුතුය.

මේ මොහොතේ සිංහල - බෞද්ධ ජාතිකවාදි බිමේ වාසියත්, මධ්‍යම පන්තියේ ජන්ද වල වාසියත්, තරුණ නව ජන්දවල වාසියත් ඇත්තේ චම්පිකටය.

මේ මොහොත චම්පිකගේය.

එක්සත් ජාතික පක්ෂය එකට එකතු කරන, ඒ පක්ෂයට තවත් වසර 20-30කට බලය දෙන අතරම රට නිසි මාවතේ ගෙනයන මිනිසා චම්පිකය.

ඒ ගමන හැර විකල්ප ගමන් නැත.
සුබ උපන් දිනයක් චම්පික!!!

[නවරත්න බණ්ඩාර]

No comments:

Ad
Powered by Blogger.