"සමුරායි" බැඳුම්කර එයි: දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට සංවර්ධන අරමුදලකුත්!


දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරී ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය බැංකු ක්‍රමය හරහා පමණක් සිදු කළ නොහැකි බැවින් දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා සංවර්ධන අරමුදලක් පිහිටුවන බව පැවසීය.

මේ වන විට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළ තුල අපට අවශ්‍ය මුදල් ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපානයේ බැඳුම්කර වෙළඳ පොළෙන් "සමුරායි" බැඳුම්කර ලබාගැනීමට අවස්ථාව උදාවී තිබෙන බවත්, වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹබණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය දා (30) පැවති ලංකා බැංකුවේ 80 වන සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අවුරුදු 80 ක් ලංකා බැංකුව සමග සම්බන්ධතා පැවැත්වූ පවුලක සාමාජිකයෙක් ලෙස මම ලංකා බැංකුවේ 80 වන සංවත්සරයට සුභ ප්‍රාර්ථනා කරනවා.

1931 වසරේ ලෝකයේ අති විශාල ආර්ථික පරිහානියක් ඇති වුණා. යුරෝපය, ඇමරිකාව වැනි රටවල්වල ආර්ථිකය ඒ කාලයේ කඩා වැටුණා. එය සියලූම රටවල්වලට බලපෑම් එල්ල කළා. ඒ කාලයේ බොහෝ ලාංකික ව්‍යාපාරිකයන්ගේ මුදල් තැන්පත් කර තිබුනේ විදෙස් බැංකුවලයි. ආර්ථික පරිහානිය ඇති වූ කාලයේ එම විදෙස් බැංකු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට නිසි සහනයක් ලබාදුන්නේ නැහැ. විශාල ව්‍යාපාරිකයන් ගණනාවක් එම නිසා බංකොලොත් භාවයට පත් වුණා. ඇතැම් ව්‍යාපාර බිඳ වැටුණා. එම තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාවට දේශීය බැංකුවක් අවශ්‍ය බවට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් තීරණය කළා. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇති කිරිමෙන් පසු ලංකා බැංකුව ආරම්භ කිරීමට යෝජනාවක් සම්මත කරමින් කොමිසමක් පත් කළා. එම කොමිසමේ වාර්තාව අනුව ලංකා බැංකු ආඥා පනත ඉදිරිපත් කළා.

1939 අගෝස්තු මස 01 වන දා ලංකා බැංකුව ආරම්භ කළේ රුපියල් මිලියන දෙකක ප්‍රාග්ධනයක් සහිතවයි. එහි ආරම්භක තැන්පත් මුදල් ප්‍රමාණය වූයේ රුපියල් මිලියන හතරයි. ලංකා බැංකුව විවෘත කිරීමට පැමිණියේ එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ඇන්ඩෘ කැල්ඩෙකොට් මැතිතුමායි. නමුත් ලංකා බැංකුව ආරම්භ වී මාසයක් ගත වන විට ශ්‍රී ලංකාවත් ලෝක යුද්ධයේ කොටසක් බවට පත්වුණා.

එම ලෝක යුධ සමයේදී යුරෝපීය බැංකු ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ජර්මනිය විසින් යුරෝපය අත්පත් කර ගැනීමෙන් පසුව බැංකු ක්‍රමය විනාශ වී ගියා. එංගලන්තය කොන්වීමකට ලක්වුණා. 1942 දී දෙවන ලෝක යුද්ධය ශ්‍රී ලංකාවටත් ඇතුළු වුණා.

ඒ අපහසු කාලයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට පමණක් නොව විදේශීය ව්‍යාපාරිකයන්ටත් මුදල් ලබාදීමට හැකියාව තිබූ ශ්‍රී ලංකාවේ එම බැංකුව ලංකා බැංකුව පමණක් බව මම විශේෂයෙන් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ශක්තිය ලංකා බැංකුව විසින් ආරක්‍ෂා කළේ ඒ ආකාරයටයි. ලංකා බැංකුවේ ප්‍රථම සභාපති ශ්‍රීමත් අර්නස්ට් සිල්වා මැතිතුමාත් පළමු උප සභාපති රාජ්‍ය නීතිඥ පෙරේරා මැතිතුමාත් අපි මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. ඒ වගේම මෙහිදි සියලූ දෙනාටම අමතක වූ තවත් කොටසක් මම සිහිපත් කළ යුතුයි. ඔවුන් නොමැති නම් අද ලංකා බැංකුවක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ බැංකුවේ එතෙක් මෙතෙක් කාලය තුළ සිටි මුදල් තැන්පත්කරුවන් එම මුදල් තැන්පත්කරුවන්ට බැංකුව පිළිබඳව විශ්වාසයක් නොතිබුනා නම් ඔවුන් ලංකා බැංකුවේ මුදල් තැන්පත් නොකළා නම් අද මෙවැනි සාර්ථක ලංකා බැංකුවක් නැති බවත් පැවසිය යුතුයි. අපි සෑම විටම ක්‍රියා කළ යුත්තේ එම විශ්වාසය මත පදනම්වයි.

ලංකා බැංකුවේ තැන්පත්කරුවන්ගෙන් 50% කට අධික පිරිස කොළඹ හෝ නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාව නොවෙයි. තැන්පත්කරුවන්ගෙන් 50% ක්ම ග්‍රාමීය ජනතාවයි. ඒ කාලයේ කිසියම් පුද්ගලයෙකුට ලංකා බැංකුවේ බැංකු ගිණුමක් තිබෙනවා නම් ඔහුගේ දරුවාගේ දෑවැද්ද පිළිබඳව හොඳ සහතිකයක් ලෙස එය පිළිගන්නවා. ලංකා බැංකුවට එදා සමාජය තුළ එතරම් තත්ත්වයක් ලැබී තිබුණා.

අද වන විට ලංකා බැංකුව සාර්ථකත්වයට පත් වී තිබෙනවා. 1977 දී එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුව භාරගෙන රටේ ආර්ථිකය විවෘත කරන විට ලංකා බැංකුවේ තැන්පත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3 ක් බවට පත් වී තිබුණා. ඒ වගේම 1986 පමණ වන විට එවකට සිටි ලංකා බැංකු සභාපතිවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක විජේවර්ධන මැතිතුමාගේ කාලය වන විට නව ලංකා බැංකු ගොඩනැගිල්ල විවෘත කරමින් නව බැංකු මූලස්ථානය ආරම්භ කිරීමට පවා හැකියාව ලැබුණා.

1989 වසරේදීම ලංකා බැංකුවේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සවයක් පැවැත්වූවා. එම උත්සවයටත් සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම අද දිනයේ ලංකා බංකුවේ 80 වන සංවත්සර උත්සවයටත් සහභාගී වීමට මට අද අවස්ථාව ලැබී තිබෙනවා.

1977 දී අපි රටේ විවෘත ආර්ථිකය ඇති කළ නිසා විශාල දියුණුවක් ඇති වුණා. අතීතයේ වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුණු යුද්ධය නොතිබුණා නම් රට තුළ මීට වඩා දියුණුවක් ඇතිවීමට ඉඩ තිබුණා.

2015 වන විට ලංකා බැංකුවේ තැන්පත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 800 ක් 900 ක් දක්වා වැඩි වී තිබුණා. 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ආණ්ඩුවක් නිර්මාණය කළ අවස්ථාවේ රට තුළ තිබුණේ අදට වඩා වෙනස් ආර්ථිකයක්. ඒ කාලයේ රටේ සංවර්ධනය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ණය මුදලක් ගැනීමටවත් අවස්ථාව තිබුණේ නැහැ. පැවති ආණ්ඩුව දිගින් දිගටම අධික ණය ගැනීමටත් ණය මුදල් ගෙවීම පැහැර හැර තිබීමත් නිසා රටට එම තත්ත්වය උදා වී තිබුණා.

අද අපි ණය මුදල් ගෙවමින් ආර්ථිකය කළමනාකරණය කරගනිමින් ඉදිරියට යමින් සිටිනවා. එම නිසා අවශ්‍ය ණය මුදලක් නැවතත් ගැනීමට හැකි තත්ත්වයක් දැන් අපේ ආණ්ඩුව නිර්මාණය කරගෙන ගත වූ පසුගිය කාලය තුළ රටේ ආර්ථික ගැටළු ගණනාවක් ඇති වුණා. රටේ ආර්ථිකය වෙනුවෙන් අපේ ආණ්ඩුව කළේ කුමක්දැයි අද ඇතැම් අය විමසනවා.

ඒ වෙනුවෙන් මම ඔබට පිළිතුරක් ලබාදීමට අවශ්‍ය නිසා එකම එක ප්‍රශ්නයක් මම ලංකා බැංකුවෙන් විමසුවා. 2015 වන විට ලංකා බැංකුවේ තැන්පත් මුදල් ප්‍රමාණය කොපමණද? අද වන විට බැංකුවේ තැන්පත් මුදල් ප්‍රමාණය කොපමණද?” මගේ එම ප්‍රශ්නයයි. 2015 වන විට ලංකා බැංකුවේ තැන්පත් මුදල් ප්‍රමාණය බිලියන 800-900 ක් පමණ බවත් අද වන විට තැන්පත් මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500 ක් පමණ වන බවත් ඔවුන් මට පැවසුවා.

වසර 5 ක් ගතවන විට 80% කින් බැංකුවේ තැන්පත් මුදල් ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා. රට හෝ රටේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා නම් බැංකුවේ තැන්පත් මුදල් ප්‍රමාණය වසර 5 ක් තුළ 80% කින් වර්ධනය වෙනවාද?

බොරු චෝදනාවලට මීට වඩා පිළිතුරක් අවශ්‍යද? අපේ රජයේ නිසි ආර්ථික ප්‍රතිපත්ති යටතේ ඉතා අපහසුම කාලයේ රට ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා.

මම ඔබට පැවසුවේ ලංකා බැංකුවේ ගතවූ වසර 4 ක 5 ක කාලය පිළිබඳව පමණයි. ලංකා බැංකුවේ තත්ත්වය එසේ නම් රටේ අනෙක් බැංකුවල තත්ත්වයත් ඊට සමාන විය යුතුයි. රට වෙනුවෙන් අප මුදල් උපයා තිබෙන බවත් එය නිසි ලෙස කළමනාකරණය කර තිබෙන බවත් ඉන් පෙනී යනවා. එම මුදල් රටට ගැලපෙන ආකාරයට අපි පරිහරණය කළ යුතුයි.

ලංකා බැංකුවටත් විවිධ ගැටලූ තිබෙනවා. රජයේ සංස්ථා කිහිපයක අධික ණය මුදල් නිසා බැංකු ආදායමින් 15% ක් 20% ක් අතර ප්‍රමාණයක් යෙදවීමට සිදු වී තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය ආයතන වෙනුවෙන් මුදල් වෙන් කිරීම පිළිබඳව මම ලංකා බැංකුවට ස්තුතිය පුද කරනවා. එය ඉදිරි වසර 2-3 තුළ අපි විසඳීමට කටයුතු කරනවා.

අපි දැන් අනාගතය වෙත අවධානය යොමු කළ යුතුයි. අපේ රජය ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමටයි. ගමනාගමන, නාවික ප්‍රවාහන ගුවන් සේවා පමණක් නොව කලාපයේ ප්‍රධානතම මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙසත් ශ්‍රී ලංකාව දියුණු කළ යුතුයි.

තවත් වසර කිහිපයකින් ඉන්දියාව ලෝකයේ විශාලතම ආර්ථිකය සහිත රට බවට පත් වෙනවා. පකිස්ථානය, බංගලාදේශය වැනි රටවලත් දැන් දියුණු ආර්ථිකයක් තිබෙනවා. එසේ නම් අපේ රට කලාපය තුළ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකියි. ඒ හරහා අවශ්‍ය සියලූම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඊට අවශ්‍ය නීති අප සකස් කරගත යුතුයි. එසේ නම් ඉදිරියේදී ලංකා බැංකුවට ජාත්‍යන්තරය සමඟ තරඟ කිරීමට සිදුවෙනවා. අප ඊට මුහුණ දිය යුතුයි. ඊට සූදානම් විය යුතුයි.

ඒ සඳහා ප්‍රාග්ධන මුදල් වැඩි කර ගනිමින්, තරගකාරීත්වය වැඩි කරගත යුතුයි. ඒ වගේම විශ්වාසයත් ඇති කරගත යුතුයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා නම් ලංකා බැංකුවට ඉතා හොඳ ඉදිරි අනාගතයක් තිබෙන බව මම පැවසිය යුතුයි.

ලංකා බැංකුව ආරම්භ කළේ ලාංකීය ව්‍යාපාරිකයන්ට උදව් උපකාර කිරීමටයි. බාගෙට දියුණු වන විට තවත් ආයතනයක් අපි ආරම්භ කළා. ඒ සංවර්ධන මූල්‍ය සංස්ථාවයි. අපේ රටේ ව්‍යාපාර ගණනාවක් ආරම්භ වුනේ සංවර්ධන මූල්‍ය සංස්ථාවේ අරමුදල් හරහායි.
1979 අපි ජාතික සංවර්ධන බැංකුවත් ආරම්භ කළා. ඒ හරහාත් අපි ව්‍යාපාරිකයන්ට මුදල් ලබාදුන්නා. රට තුළ ඇඟලූම් කර්මාන්ත 200 ආරම්භ කරන විට එම ව්‍යාපාරවලට මුදල් ලබාදුන්නේ මෙම ආයතන ද්විත්වය හරහායි. ඒ වගේම සංචාරක හෝටල් සහ අනෙකුත් ව්‍යාපාර සඳහාත් මුදල් ලබා දුන්නා.

ඒ බැංකු දෙකට අද වන විට සංවර්ධන බැංකු තත්ත්වයෙන් මිදී වාණිජ බැංකු තත්ත්වයට පත් වී තිබෙනවා. අපි රටක් ලෙස දියුණු වෙමින් ඉදිරියට යන විට එහි වාසිය දේශීය ව්‍යාපාරිකයින්ටත් ලැබිය යුතුයි. එවිට ලැබෙන වාසිය ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තරය තුළ තරග කිරීමට ව්‍යාපාරිකයන්ට යුතුකමක් තිබෙනවා. ඔවුන් ජාත්‍යන්තර වෙළඳපොලට ඇතුළු විය යුතුයි. නමුත් ව්‍යාපාරිකයින්ට එය තනිව සිදු කළ නොහැකියි.

එම නිසා අපි අතීතයේ කටයුතු කළ ආකාරයට විශාල ආර්ථික සංවර්ධන අරමුදලක් ඇති කරමින් දේශීය ව්‍යාපාර ලෝකයේ තරඟකාරී ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය සහයෝගය දැක්වීමට ආණ්ඩුවක් ලෙස අපට යුතුකමක් තිබෙනවා. ඒ හරහා ලෝක වෙළඳපොලට ඇතුලූ වී එම වෙළඳ පොළ ජයගැනීමට අවශ්‍ය සහයෝගය දේශීය ව්‍යාපාරිකයාට ලබාදීමට අවශ්‍යයි. එය බැංකු ක්‍රමයෙන් පමණක් බලාපොරොත්තු විය නොහැකියි. එම නිසා දේශීය ව්‍යාපාර සංවර්ධනයට මීට වඩා මුදල් ඉදිරියේදී ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන්වල විවිධ ගැටලූ ඇති වුණා. එම අවස්ථාවේ අපට අවබෝධ වූයේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ට උදව් කිරීමට වෙනම අරමුදලක්, වෙනම ආර්ථික සංවර්ධන සංස්ථාවක් අවශ්‍ය බවයි. ඒ හරහා අපේ දේශීය ව්‍යාපාරිකයින් ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් බවට පත්කිරීමට හැකියාව ලැබෙනවා. එම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි බොහෝ අය කල්පනා කළා. නමුත් අපි ගත් පියවර නිසා රටේ ආර්ථිකය ක්‍රමනුකූලව දැන් දියුණු වී තිබෙනවා. තවත් මාස 3-4 ක් ගත වන විට අපට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙනවා.
මේ වන විට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොල තුළ අපට අවශ්‍ය මුදල් ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ප්‍රථම වතාවට ජපානයේ බැඳුම්කර වෙළඳපොලට ගොස් සමුරායි බැඳුම්කර ලබාගැනීමට අපි කටයුතු කරනවා. දැනටමත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ශ්‍රී ලංකාවට තිබෙනවා.

මේ ආකාරයට අපි ඉදිරියට යා යුතුයි. අපේ රටේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. අපේ රටේ බැංකු සහ සමාගම් ඊට ඉදිරිපත් විය යුතුයි. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරිම සඳහා මුදල් වෙන් කිරීමටත් ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයට කටයුතු කරනවා නම් කිසිම සැකයකින් තොරව අපට රටක් ලෙස සාර්ථක වීමට හැකියාව තිබෙනවා.

ලංකා බැංකුව වසර 80 ක් සාර්ථකව ඉදිරියට ගෙන ඒමට උදව් උපකාර කළ සියලූ දෙනාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලංකා බැංකුවේ අනාගතය සාර්ථක වේවා යැයි අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම්, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, ලංකා බැංකුවේ මහා කළමණාකාර සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් ද, ආදීවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් ද, ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

No comments:

Ad
Powered by Blogger.