නව සන්ධානයේ ලේකම් අකිල: අජිත් පී. රනිල් පරද්දන්න හීන දකියි.

     
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ලේකම්වරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

නව සන්ධානය සහ එහි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේ ඉකුත්දා පැවති සාකච්ඡාවේදීයි මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවත් වාර්තා වෙයි.

නෙත් නිව්ස් වාර්තා කරන ආකාරයට අමාත්‍ය මංගල සමරවීර විසින් පළමුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නම, ලේකම් ධුරය සඳහා යෝජනා කර ඇත. එහිදී අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසද කැපී පෙනෙන වැඩ කොටසක් සාර්ථකව ඉටු කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට හැකි වී තිබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය ලබන 31වැනිදාට පෙර පිහිටුවීම සඳහා වූ එකඟතාව සහිතව මෙම සාකච්ඡාව අවසන් වූ බවත් වාර්තා වන අතර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සිය සහය ලබාදීමට නම් පළමුව එක්සත් ජාතික පක්ෂයේ ඇති අභ්‍යන්තර මත ගැටුම් විසඳා ගන්නැයි පාර්ශ්ව කිහිපයක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, පී දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් මේ අතර සිටින බවද වාර්තා වෙයි.

නිල මාධ්‍ය ප්‍රකාශකයකුත් එයි !

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ තීන්දු තීරණ සම්බන්ධව නිල මතය ලබාදීම සදහා නිල මාධ්‍ය ප්‍රකාශකයකු පත්කිරීම සම්බන්ධව සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

රනිල් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම පරද්දනවා - අජිත් පී. පෙරේරා

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුව පරාජය කිරීමට අනිවාර්යයෙන්ම සජිත් පාර්ශ්වය කටයුතු කරන බව එම පාර්ශ්වයේ ඉදිරිපෙළ ක්‍රියාකාරික අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. 

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ තුනෙක් දෙකක බලයක් තම පාර්ශ්වය සතුව පවතින බවයි ඒ මහතා සඳහන් කළේ. 

ඒ අනුව පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදී මෙම ප්‍රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සතියක කාලයක් ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා එසේ නොකළහොත් තමන් විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කළේය. 

සජිත් පාර්ශ්වයේ මෙම විකල්ප ක්‍රියාමාර්ග වන්නේ එජාපය දෙකඩ කර සජිත් ප්‍රේමදාස මහතාව වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් කිරීම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කර ඒ හරහා පක්ෂයෙහි බලය ඇල්ලීම බව අප මීට පෙර අනාවරණය කළෙමු. 


අගෝස්තු 22 වනදාට පෙර සජිත්ව කෙසේ හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගන්නා මෙන් ජනාධිපතිවරයා මලික් සමරවික්‍රම මහතාට දැනුම් දී ඇති බව ද අපි මීට පෙර පුවතකින් හෙළි කළෙමු. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වී හෝ නොමැති අවස්ථාවක සජිත් පාර්ශ්වයට සතියක් තුළ සජිත්ව අපේක්ෂකයා කරවා ගැනීමට ඇති හදිසිය දෙස බලන කළ අප කළ අනාවරණය යළිත් තහවුරු වනු ඇත. 

No comments:

Ad
Powered by Blogger.