ජනපති සටනින් ගෝඨා පසු බසී: චමල් අමාරුවේ!

   
ජනාධිපතිවරණ නාම යෝජනා අවසන් වීමට කලින්, සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.

මේ අනුව "පරිසරය රැක ගැනීම සදහා යැ"යි කියමින් ගෝඨාභය රාජපක්ෂගේ සියළු පෝස්ටර්, බැනර් සහ කටවුට් ගලවා ඉවත් කරන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 'පොහොට්ටු' පක්ෂ සංවිධායකයින්ට මේ වන විටත් දැනුම් දී ඇත.

ජනාධිපතිවරණය නොවැම්බර් මස මැද දිනයකදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බැවින්, ඒ සදහා නාමයෝජනා කැදවා අවසන් කිරීම ඔක්තෝබර් මුල දිනයකදී සිදුවන බවත්, ඊට පෙර කිසිදු ලෙසකින් ගෝඨාභය රාජපක්ෂ ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි පසුබිමක් තුළ ජනාධිපති සටනින් පසු බසිනවා හැර වෙන කරන්නට කිසි දෙයක් නොමැති බවත් රාජපක්ෂ පවුලේ සහ 'පොහොට්ටු' පක්ෂ නායකයන් අතර ඉකුත් සති අන්තයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පවසන ආකාරයට සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාල ලියකියවිලි ඉකුත් අප්‍රේල් මාසයේ දී ඔහු විසින් භාර දී තිබූ අතර, ඉකුත් මාර්තු මස සිට ජූනි 30 දා දක්වා එසේ භාර දුන් අයදුම්පත් සම්බන්ධයෙන් සලකා බලා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ ලේඛනය ඉකුත් දා ප්‍රකාශයට පත් විය.

එහෙත් අනපේක්ෂිත ලෙස එහි ගෝඨාභය රාජපක්ෂ ගේ නම නොතිබූ අතර, ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වන ආකාරයට ඔහුගේ නම මීළඟ ලැයිස්තුවට ඇතුළත් කරනු ඇත. එහෙත්, මීළඟ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරෙනුයේ නොවැම්බර් මස 15 වන දින වන අතර, ඒ වන විට නාමයෝජනා කැදවා අවසන් කර ඇති බැවින්, ගෝඨාභය රාජපක්ෂට එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු හැකියාවක් නොමැති බ්ව 'පොහොට්ටු පක්ෂයේ' නායකයන් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව යථාර්ථයට මුහුණ දිය යුතු බවත්, තව දුරටත් ගෝඨාභය රාජපක්ෂ ගැන පාක්ෂිකයාගේ බලාපොරොත්තු ගොඩ නැංවීම මගින් කිසිදු යහපතක් සිදු නොවන බවත්, එම නායකයන් පෙන්වා දී ඇත. එසේම, බලාපොරොත්තු නොවන අවසන් මොහොතක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සටනින් ඉවත් වන බව ප්‍රකාශයට පත් කළහොත්, පාක්ෂිකයාගේ චිත්ත ධෛර්‍යය යළි ඉහළ නැංවිය නොහැකි ලෙස කඩා වැටෙන බව පෙන්වා දී ඇති එම නායකයන්, වඩා යෝග්‍ය වන්නේ ක්‍රමානුකූලව ගෝඨාභය රාජපක්ෂ ජනපති සටනින් ඉවත් කෙරෙන බවට පාක්ෂිකයාට දැනෙන්නට සැලැස්වීම බවත් ඔවුන් පෙන්වා දී ඇත. ඒ අනුව, වහාම රටපුරා ඇති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රචාරක පුවරු, බැනර් සහ පෝස්ටර් වහාම ඉවත් කර දැමීමට තීරණය වී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස 'පරිසරය රැක ගැනීමේ' අරමුණින් පෝස්ටර්, බැනර් සහ කටවුට් ගලවා ඉවත් කරන ලෙස නාමල් රාජපක්ෂ 'පොහොට්ටු' පක්ෂ සංවිධායකයින්ට සහ මන්ත්‍රීවරුන්ට මේ වන විටත් දැනුම් දී ඇත.

නාලකට - දිලිත්ට දොස් !

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම "සියයට අනූ නමයක්" ම ඉවරයි යනුවෙන් බොරු පුරසාරම් කියා, ඔහුව 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂකයා බවට නම් කරවා ගැනීමට බල කරවා, මුළු 'පොහොට්ටු' පක්ෂයම දැන් පත්වී ඇති ඉතා අසීරු තත්ත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් ගෝඨාභය රාජපක්ෂ ගේ හිතවතුට එරෙහිව මේ වන විටත් ගොඩ නැගෙමින් පවතී. විශේෂයෙන් 'වියත් මග' සංවිධානයේ නාලක ගොඩහේවා, දැන්වීම් ප්‍රචාරක ආයතනයක් හිමි දිලිත් ජයවීර සහ ගෝඨාභය රාජපක්ෂ වටා සිටින් හිටපු හමුදා ප්‍රධානීන් ගේ අදූරදර්ශි ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කර ඇති 'පොහොට්ටු' නායකයන්, තමන් අමාරුවෙන් ගොඩ නැගූ පක්ෂයේ ජනාධිපති සටන මේ ආකාරයට විනාශ කර දැමීම 'සමාව නොදිය හැකි' දේශපාලන වරදක් බව පෙන්වා දී තිබේ. මින් ඉදිරියට 'ගෝඨාගේ' බල ඇණියට රැවටෙන්න එපායැයි එම නායකයා සෙසු 'පොහොට්ටු' නායකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා ඇත.

පවතින තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂට 'අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි' දෙකම නැතිවිය හැකි බැවින්, වහාම අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කළ ඉල්ලීම අස් කර ගැනීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙස ගෝඨාභය රාජපක්ෂට හිතවත් මුස්ලිම් ජාතික ජනාධිපති නීතිඥවරයෙකුට මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ විසින් දැනුම් දී ඇති බව ද වාර්තා වේ. එය කඩිනමින් සිදු කරන ලෙස ද, එසේ නොමැති වුවහොත් ජනාධිපතිකම පමණක් නොව, අමෙරිකානු පුරවැසිභාවය ද තමන්ට අහිමි වනු ඇති බව ගෝඨාභය රාජපක්ෂ එම නීතිඥවරයාට කියා ඇතැයි ද අනාවරණය වේ.

චමල් අමාරුවේ
       
ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන අනෝමා රාජපක්ෂ, ඇමරිකානු පුරවැසි භාවය ලබාගෙන සිටියදීත්, ඔවුන් දෙදෙනාගේ නම්, 2005 වර්ෂයට අදාල ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන්, අනිද්දා පුවත්පතේ නියොජ්‍ය කර්තෘ ලසන්ත රුහුණුගේ විසින් , මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ වර්ෂයේ ඡුන්ද හිමි නාම ලේඛනය තුළ ගෝඨාභය රාජපක්ෂගේ සහ අනෝමා රාජපක්ෂ ගේ නම් සඳහන්ව තිබුණාට අමතරව, ඔවුන් එකී මැතිවරණයේ දී ජන්දය පාවිච්චි කර තිබේද යන්න පිළිබදව ද සොයා බැලිය යුතු යැයිද මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ කොමිසමෙන් ඉල්ලා ඇත.

මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතාගේ මෙම පැමිණිල්ල පිළිබඳව අද හෝ හෙට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැස්ව සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂගේ සහ අනෝමා රාජපක්ෂ ගේ නම් ඡන්දය සඳහා ලියාපදිංචි කර තිබෙන්නේ, මැදමුලන, අංක 114 යන ලිපිනයේ ඔවුන් දෙදෙනා පදිංචිව සිටින බව සඳහන් කරමිනි. එම නිවසේ ගෘහමූලිකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ වන අතර, ඒ වන විටත් ඇමරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ නම අදාල ජන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටද උත්තර බැදීමට සිදවනු ඇති බවත් දැනගන්නට තිබේ.

ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය අර්බුදයක 
     
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනයට බාධාවක් වන බැවින් ඒ මහතාගේ රැස්වීම් සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය සීමාකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක විශේෂඥයින් විසින් ලබාදුන් උපදෙස් මත කටයුතු කෙරුණු බව අපි මීට පෙර පුවතකින් පෙන්වා දුනිමු. 

එහෙත් මහින්ද රාජපක්ෂ මහතාව සහභාගී කර නොගන්නා අවස්ථාවලදී ගෝඨාගේ රැස්වීම්වලට පැමිණෙන සෙනඟෙහි පැහැදිලි අඩුවක් පෙන්නුම් කෙරෙන බව එම විශේෂඥ කණ්ඩායම විසින්ම නිරීක්ෂණය කර තිබේ.

සතියක් පුරා සිදු කෙරුණු ගෝඨාගේ වන්දනා චාරිකා ප්‍රචාරණ වැඩසටහනේ මුල්දින හතරේ සෑම අවස්ථාවක් සඳහාම මහින්ද රාජපක්ෂ මහතාව සහභාගී කරවාගෙන තිබුණු නමුත් ඉතිරි දිනවල රැස්වීම් එකක්, දෙකක් සඳහා මිස අනෙක් ඒවාට මහින්ද රාජපක්ෂ මහතාව සහභාගී කරගෙන තිබුණේ නැත. 

ඒ, මහින්ද රාජපක්ෂ මහතාට පවතින දැවැන්ත ප්‍රතිරූපය සහ ඔහුගේ මහජන සම්බන්ධතා හැකියාවන් ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ මහතාව ස්වයංක්‍රීයව දෙවැනි තැනට වැටෙන නිසාය. 

මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වූ රැස්වීම්වලට සෙනඟ පැමිණීමෙහි පැහැදිලි අඩුවක් පවතින බව නිරීක්ෂණ කණ්ඩායම් පෙන්වාදී ඇත්තේ මුල්දින හතරෙහි ජන සහභාගීත්වය සහ පසුදින තුනෙහි ජන සහභාගීත්වය සංසන්දනය කිරීමෙන් මෙන්ම පසුගිය වසර 4 තුළ එම ස්ථානවල මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ රැස්වීම්වල ද දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය. 

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බවයි වාර්තා වූයේ. 

පළමු පියවර සාර්ථකයි. එහෙත් රැල්ලක් නෑ 

සමස්තයක් ලෙස ගත් කළ සතියක් පුරා පැවති ආගමික කටයුතු හරහා සිදු කෙරුණු ප්‍රචාරණ ව්‍යාපෘතිය මිශ්‍රඵල අත්කර දුන් එකක් බවයි ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ. සැලසුම් කළ ආකාරයෙන් විශාල ජන සහභාගීත්වයක් ඇතිව වැඩසටහන සිදු කෙරුණත් බලාපොරොත්තු වූ තරම් රැල්ලක් නිර්මාණය කරගැනීමට ඔවුන් අසමත් වූ බව නිරීක්ෂණය කණ්ඩායම අවධාරණය කර තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත යාන්ත්‍රණයත්, රුපියල් මිලියන සිය ගණනක අතිවිශාල වියදමකුත්, සියලුම පෞද්ගලික මාධ්‍ය ආයතනවල උපරිම සේවයත් යොදවා ගනිමින් දියත් කළ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියෙහි පළමු පියවර සාර්ථක යැයි කිවහැකි වුවත් මීට වඩා ප්‍රතිඵලදායක කරගන්නට තමන් අසමත්ව ඇති බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.

අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගල චරිතයෙහි පවතින සීමාවන් නිසා මින් ඉදිරියට ප්‍රචාරණ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පවා ඔවුන්ට දැඩි ගැටළුකාරී තත්වයක්ව පවතින බවත් සඳහන්. 

ගෝඨාගේ ක්ෂණික කෝපය දැඩි බාධාවක් 

ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ක්ෂණිකව කෝපයට පත්වන අයෙකු බැවින් මාධ්‍යවේදීන්ට සෘජුව ඔහුව ප්‍රශ්න කිරීමට ඉඩදීමට ද නොහැක. එහෙයින් ඔහු කොතැනක ගියත් ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදෙන්නේ නැත. නිල ප්‍රකාශ යනු එතරම් මාධ්‍ය අවධානයක් ලබාගත හැකි ඒවා නොවේ. අනෙක් අතට ටෙලිප්‍රොම්ප්ටරයක් නොමැතිව කතාවක් පැවැත්විය නොහැකි බැවින් ඒ මහතා සහභාගී වූ රැස්වීම්වල පවා සිදුකළේ ඉතා කෙටි ස්තූති කතා දෙක තුනක් පමණි. 

පෙරකී තත්වයන් නිසාම ගෝඨාව සජීවී රූපවාහිනී සංවාද, විවාද හෝ මාධ්‍ය හමුවලට ද සහභාගී කරවා ගත නොහැක. ඒ, සුළු දෙයකින් හෝ කෝපයට පත්වුවහොත් ඔහු අතින් යළි නිවැරදි කළ නොහැකි මට්ටමේ හානියක් ප්‍රචාරණ ව්‍යාපෘතියට සිදුවිය හැකි බැවිනි. 

පසුගිය සතිය පුරාම පන්සල්, පල්ලි, කෝවිල් කරා ගිය නමුත් දිගටම වන්දනා චාරිකාව පමණක්ම කළ නොහැකි නිසා මින් ඉදිරියට කරන්නේ කුමක්ද යන උභතෝකෝටිකයට ඒ මහතාගේ ප්‍රචාරණ විශෙෂඥයින් සහ ප්‍රචාරණ ව්‍යාපෘති කළමනාකරුවන් පත්ව සිටින බවයි වාර්තා වූයේ.  

No comments:

Ad
Powered by Blogger.