නරියා හූ කියන බව තහවුරු කරගන්න ඌ ජනාධිපති කරන්නම ඕනද?


ප්‍රශ්නය ඇත්තේ නරියා ඔළුව ඔබාගත් බාල්දියේ තිබුණේ මොන පාට වතුරද යන්න නොවේ ! නරි රජ කරවන්නේ ඇයි ? යන්නෙහිය !!

[කඳවුර සටහන් 02]

නිල් බාල්දියේ ඔළුව ඔබාගත් නරියා කැලේ රජවූ බව ඇත්තය. එහෙත් ඒ වරුවක් දෙකක් විතරය. හඳ පෑයූ ඒ රාත්‍රියේ නරියාට රජකම අමතක විය. හඳ දෙස බැලූ නරියා හූ කීවේය. වැරැදි වැටහීමකින් හෝ ලැබුණු රජකම එතැනින් අවසන් ය.

👉 ප්‍රශ්නය ඇත්තේ බාල්දියේ දියකර තිබූ වර්ණයේ ද ?

ඔළුව ඔබාගත්තේ නිල් බාල්දියේ ද කොළ බාල්දියේ ද යන්න අදාල නැත. ඇතමුන් කොළ නිසා මේ නරියෙකු නොවන බව සිතන්නැයි කඳවුරට බල කරයි. "නරියද නැද්ද පස්සෙ බලමු, දැන් රජ කරවමු" ඒ ඔවුන් අපට ගේන යෝජනාවයි.

👉 ඒත් නිශ්චිතව ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ "රජකමට ඇයි නරියෙක්වම තෝරගන්න ඕන?" යන්නෙහිය.

ඊට ලැබෙන උත්තර කෙරෙහි අවධානය යොමු කරන්න.

👉 රනිල් හෝ කරූ

"රනිල් හිටියා ඇති. අවුරුදු 25ක් කළේ. රනිල් ඉල්ලුවොත් විපක්ෂයේ. රනිල් බිම්මට්ටමේ ගම්මට්ටමේ ප්ලේස් වෙලා නෑ. රනිල් අභ්‍යන්තර ඒකාධිපතියෙක්. රනිල්ගේ මොළේ තිබුණට ජනප්‍රිය නෑ , රනිල් ග්‍රාස් රූටි පොලිටික්ස් දන්නේ නෑ , රාජපක්ෂ ට ගේම දෙන්න රනිල්ට බෑ, කොහොම වුණත් මේ පාර රනිල්ට දෙන්නේ නෑ "

"කරූ වයසයි. කරූ පබාට පරාදයි, කරූ පණ මදි, කරූ හොද මනුස්සයා ඒත් මේකට හරියන්නේ නෑ , කොහොම කිව්වත් කරූට දෙන්නේ නෑ ,"

👉 කිසිම තේරුමක් නැතුව නායකයෙක් ගේන්නේ මොකටද ?

අප නිශ්චිතව ඇසූ ප්‍රශ්නය කුමක්ද ? ඒ රජකමට ඇයි නරියෙක්වම තෝරගන්න ඕන?" යන්නය. එහෙත් ඔවුන් දෙන පිළිතුර ඊට කොහෙත්ම අදාල නැත. ඒ අනූව ඔවුන් යෝජනා කරන්නේ "කිසිම තේරුමක් නැතුව නරියෙක් රජ කරවමු" කියාය.

අපේ කාලයේ දේශපාලනය දාර්ශනිකව නරුම වී ඇත්තේ ඒ ආකාරයටය.

👉 මේ ගේන්න යන්නේ අප රටේ පාලකයාවයි !

මේ කඳවුරේ දේශපාලනය කළ යුත්තේ ආන්න ඒ දේශපාලනය දාර්ශනිකව නරුම කර ඇති තත්ත්වය ගැන අවබෝධය සහිතවය.

රනිල් එපා කරූ එපා කියා වැඩේ දාර්ශනික කරන කිසිවෙක් සජිත්ව ජනාධිපති කළ යුත්තේ ඇයි යන්නට දාර්ශනික උත්තර දෙන්නේ නැත. ඒ කොතරම් මුග්ධත්වයක් ද යන්න කියන්න දෙයක් නොවේය.

ඇත්ත කථාව වන්නේ මෛත්‍රීපාල ජනාධිපති කිරීමෙන් පසුව කිසිම තේරුමක් නැතිව ජනාධිපති කෙනෙකු පත්කර ගැනීමේ දේශපාලනය අවසන්ව තිබේ.

👉 සිරිසේන දැන් ඇති

ඒ යුගය ඔබට මතක නම්, මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ව්‍යාපාරය ආරම්භ කර
අවසානයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කර සිටියේ කරූ ජයසූරිය ය. එහෙත් අද මෙන්ම එදා "රනිල්ට බෑ - කරූට බෑ" කියූ ජවුසං කාරයන් කොහේද ගිය මෛත්‍රීපාලයෙක් උස්සගෙන ආවේය අද වගේම සෑම ආකාරයකටම තර්ජනය යොදා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු යෝජනා කරනු ලැබිණ.

කඳවුරේ සමගිය ආරක්ෂා කරගැනීම, රාජපක්ෂලාගේ මිලේච්ඡ ඒකාධිපති පවුල් පාලනය පරාජය කිරීම පෙරට තැබූ සියළු දෙනා ඔහුව පිළිගත්හ. එපමණක් නොව ඔහුව ජයග්‍රහණය කරවීමට හැකි උපරිමයෙන් කටයුතු කළහ.

මෛත්‍රී යුගයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කෙරිණ. අපේක්ෂකයාට නොව වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවමු යන්න සටන් පාඨය විය. සියල්ල ඒ ආකාරය සිදුවුවත් මෛත්‍රීපාල සිරිසේන නම් ග්‍රාම්‍ය විඥානය ඉස්මතු විය. ශ්‍රිලනිප යේ බලය ඇල්ලීමෙන් ඇරඹි ඒ ගේම 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය හරහා තහවුරු කෙරිණ. එහි අවසන් කූඨප්‍රාප්තිය සටහන් වූයේ දින 100 වැඩපිළිවෙළ තමන් දැකලාවත් නෑ කියා මෛත්‍රීපාල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනි.

👉 හිස් අපේක්ෂකයාට පිරිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් !

හිස් අපේක්ෂකයකු ට පිරිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් පින්තාරු කිරීමෙන් කොහෙත්ම අපේක්ෂා නොකළ චිත්‍රයක් මතු කළ හැකිය. එහෙත් ඒ හිස්කම පසුව පිරෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුල්වූ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමෙන් නොව, බලය කියන ගසේ ඵල රස බලමිනි. එහිදි කිසිවෙකුටත් වැලැක්වීමට නොහැකි ලෙස වැඩපිළිවෙළ දූෂණය වෙයි.

මෛත්‍රීපාල ගෙන ඔහුව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා කල කිසිවෙකුට ඒ තත්ත්වය පාලනය කල නොහැකි වෙයි. මෛත්‍රීපාල ගේන්න මාස්ටර් භූමිකාව කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ සිට ඇගේ ගෝල බාලයන් දක්වාත් මෛත්‍රීපාල ව හිස් මුදුණින් පිළිගත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය දක්වාත් මේ කතාව බොරු නොවීය.

විධායක බලය, රටේ සේනාධිනායක , මුල් පුරවැසි , ජනාධිපති වැනි මේ විශේෂතා මධ්‍යයේ ඔහු පිස්සු කෙළින විට ඊට වගවීමක් නොමැතිව කඳවුර අසරණ වීම වලක්වා ගැනීමට නොහැකිය.

👉 වේදිකාවේ කරන්න ලියාදෙන කතාව හරහා අපේක්ෂකයා සුදුස්සා ලෙස නොගත යුත්තේ ඒ නිසාය. කඳවුර ජයග්‍රහණය කරවීමට අපේක්ෂිත අපේක්ෂකයා සහ කඳවුරේ අපේක්ෂකයා අමුතුවෙන් ගැලැප්පවීමට අනවශ්‍ය විය යුත්තේ එනිසාමය.

👍 ඔහු හෝ ඇය කඳවුරේ දේශපාලන ප්‍රතිපත්තිය ගැන සවිඥානිකව සිටිය යුතුය.

👍 කතාව ලියාගෙන සිදුකර අවසන් වචන ටිකේ පිස්සු කෙළින අයෙකු නොවිය යුතුය.

👍 ප්‍රජාතන්ත්‍රවාදය , සංවර්ධනය සහ සංහිඳියාව මූලික කරගෙන රට ගොඩනැගීමේ දර්ශනය ඔහු සතු විය යුතුය.

👍 අවම වශයෙන් ලිබරල්වාදය කියන්නේ තවදුරටත් හුදෙකලා ආර්ථික ක්‍රමයක් නොව ලෝකයේ ජීවිතය නැවත සකසන ජීවන විලාසය බවත්, ඊට අතින් පයින් පහරදීම මැටිමෝල් වැඩක් බව දන්නා අයෙකු විය යුතුය.
සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය සහ සමාජ ආරක්ෂණ ක්‍රමවේද හරහා දිළිදුකම ජයගන්නේ කෙසේද යන්න ඔහු දතයුතුය.

👍 ඒ හැර තවමත් කාර්මික විප්ලවය ගැන නංදොඩවන , හැකියාව , නිපුණතාවය අනූව සමාජ ඉනිමගේ ඉදිරිය විවෘත කරන ප්‍රතිපත්තිය නොදන්නා අයෙකුට කඳවුර භාර නොදිය යුතුය.

👉 කොතරම් දුෂ්කරතා පැමිණියත් කඳවුරේ ප්‍රතිපත්තිය පාවා නොදෙන , ප්‍රාදේශීය වාදය කර තියාගෙන ජාතික නායකත්වය වෙනුවෙන් අණවින කොඩිවිණ කරමින් සිටින විගඩමක්, නැතිනම් සදාකාලික ළමා වියේ හිරවූ ශරීරයෙන් පමණක් වැඩිහිටි වූ අයෙකුට කඳවුර පමණක් නොව මේ රටේ දෙකෝටි සංඛ්‍යාත ජනතාවට විමුක්තිය ගෙනෙන්නට නොහැකි බව තේරුම් ගත යුතුය.

👉 අදටත් එසේ නොවන අයෙකු ගැන ලියන්න බැරිව තටමන ලිබරල් ලියන්නන් දෙස බලන්න. හිස් මිනිසුන් පුරවන්න නොහැකි වීම නිසා ඔවුන් ලියමින් සිටින්නේ රනිල් කරූ නායකයන්ගේ ගමන අවසන් බව පමණය. පාඨලී , නවීන් වැන්නන් ටෝක් විතරයි වැඩ නෑ කියා පමණි. එහෙත් අවාසනාව කියන්නේ ඔවුන් ඒ වෙනුවෙන් යෝජනා කරන්නේ සියවසක් පිටුපසින් සිටින අයෙකු වීමයි. ලිබරල් ලියන්නලාගේ ඒ අසරණ විලාසය අපට කියන පාඩම එබඳුයි.

👉 ඔවුන් කිසිදු විශ්වාසයක් නොමැතිව මොකක්ද ලියන්න තටමයි. එහෙත් වචන පුරා සැගවී සිටින්නේ සැඩ පාරේ අශ්වයා මාරු කිරීමට එරෙහි වූ ඔවුන්ගේ හෘද සාක්ෂියේ ඇති බුරබුරා නැගෙන අදෝනාවයි.. !

👉👉👉 එසේ නම් දැන් අප මතුකරන ප්‍රශ්නය නිවැරැදිය. නරි රජ කරන්න තටමන්නේ හඳ පායන විට හූ කියනු අසන්නටද ? නරියා හූ කියන බව තහවුරු කරගන්න ඌ ජනාධිපති කරන්නම ඕනද ?

[අලහේන්ද්‍රෝ මයිතා @ කඳවුර]

No comments:

Ad
Powered by Blogger.