සිරිසේන මඟ අරියි: රනිල් ඇතුළු 4ක් අද තේරීම් කාරක සභාවේ.


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඇමැතිවරුන් තිදෙනකු අද (6) සාක්ෂි ලබාදීමට නියමිතය.

වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් වි‍ජයවර්ධන මහත්වරුන්ද මෙසේ සාක්ෂි ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

අගමැතිවරයාගේ සාක්ෂි විමසීම පස්වරු 6.00ට සිදුකෙරේ.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාක්ෂිය මෙහි ප්‍රධාන එකක් වන නමුත් ඒ මහතාගේ පැමිණීම ස්ථිර කර නොමැති බවයි.

කෙසේවුවද, ඒ මහතාට මේ සඳහා සහභාගිවන ලෙස නැවත ඉල්ලීමක් කරන බවද ඔහු කියා සිටියේය.

මේ අතර ජේ.එම්.අයි.සංවිධානය හෙවත් ජමාතේ මිල්ලතේ ඊබ්රවහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලබා ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මන්සූර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසයිඩ් නමැති සැකකරු නුවරඑළියේ දී අවි පුහුණුව ලබා ඇති අතර මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් නමැති සැකකරු හම්බන්තොට දී අවි පුහුණුව ලබා තිබේ.

ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන පුද්ගලයා නුවරඑළියේ දී අවි පුහුණුව ලබා ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

No comments:

Ad
Powered by Blogger.