ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානය අර්බුධයක: සංවිධායකවරුන් 46ක් විරුද්ධයි!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර සන්ධානයක් සෑදීම සම්බන්ධව ශ්‍රිලනිප අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වෙයි.

මේ බව මාධ්‍ය හමුවේ තහවුරු කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසිනි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති ජී.එච්. බුද්ධදාස පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් 160න් 46ක් මෙම පොහොට්ටු - ශ්‍රිලනිප සන්ධානයට විරුද්ධ බවයි.

පොහොට්ටු පක්ෂය බිහිවූයේ ශ්‍රිලනිප ය බිඳ දමමින් බවත් එවැනි තත්ත්වයක් හමුවේ සන්ධාන ගතවීම තුළින් පක්ෂය නැත්තටම නැති වීමේ අවධානමක් ඇති බවත් ඔහු පවසයි.

මෛත්‍රි-‌ගෝඨා-බැසිල් හමුවක

මේ අතර ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා හා ‌පො‌හොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර අතිශය තීරණාත්මක හමුවක් බ්‍රහස්පතින්දා (29) රාත්‍රියේ සිදුව ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම හමුවේදී ‌‌‌දෙපාර්ශ්වය අතර ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත.

මීට අමතරව ඉදිරි මහමැතිවරණයකදී ‌දෙපාර්ශ්වය එක්ව තරග වදින ආකාරය, ශ්‍රීලනිපයට ලබා දිය හැකි අපේක්ෂක ප්‍රතිශතය, සිරිසේන මහතාට ලබාදිය හැකි තනතුරු වැනි දෑ සම්බන්ධයෙන්ද ‌දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.

කෙසේවෙතත් සන්ධානයේ නව සලකුණ සම්බන්ධයෙන් ‌දෙපාර්ශවය අතර එකගතාවක් ඇතිවී නැති අතර ශ්‍රීලනිපය ‌පෙන්වා දී ඇත්තේ ‌පොදු ලකුණක් යටතේ තරග කළ යුතු බවකි.

No comments:

Ad
Powered by Blogger.