ජනපතිවීමට පෙර සජිත් අගමැතිවීමේ මෙහෙයුමක?



අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඔහුට මනාප මන්ත්‍රීවරුන් 62 දෙනෙකු එකතු කර ගැනීමේ මෙහෙයුමක් සඳහා මේ දිනවල උනන්දු වෙමින් සිටින බවට රාවයක් පැතිර තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතර විශ්වාසය පෙන්වා අග්‍රාමාත්‍යධූරය ලබා ගැනීම සඳහාය.

සිය පක්ෂයේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි ඕනෑම අයෙකුට අග්‍රාමාත්‍යධූරය ලබාදීමට තමා බැඳී සිටින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශයට අනුව මේ කටයුත්ත සඳහා උනන්දුවෙන් සිටින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් සජිත් පාර්ශවයේ ඇතැම් කණ්ඩායම් නොදන්නා බවද මේ අතර වාර්තා වේ.

පාලන බලය ලබා ගැනීම ජනපතිවරණයකදී ලංකාව වැනි රටක බලය ලබා ගැනීමට රුකුලක් වන බැවින් මේ කටයුත්තට මුලපුරා ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ප්‍රධාන මාධ්‍ය ජාලයක ප්‍රධානියකු කටයුතු කරමින් සිටින බවද පැවසේ.

මේ අතර, පැවැති විරසක තත්ත්වයන් දුරුකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නැවත මිතුරුකමක් සෑදීමට පිරිසක් මේදිනවල උනන්දුවෙමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ කාම්බෝජ සංචාරයෙන් පසුව ජනපති හා අගමැති අතර හමුවක් සිදුවිය හැකි බවද මේ අතර වාර්තා වේ.

සජිත්ට පක්ෂ පසුපෙළ මන්ත්‍රීලා 13ක්

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස විය යුතු බවට, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම ඊයේ (09) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී තීන්දු කර ඇති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබේ.

මෙම අවස්ථාවට එක්වු පසු පෙළ මන්ත්‍රීවරු විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා ලෙස වහාම ප්‍රකාශයට පත්කොට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවට ඒකමතිකව යෝජනා කර ඇති බවද එහි දැක්වේ.

එසේම මැතිවරණ සටන මෙහෙයවීමට පක්ෂය පූර්ණ බලතල සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවට ඔවුන් යෝජනා කර ඇතැයි පැවසේ.

ලක්ෂ්මන් විජේමාන්න, එස්. එම් මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, ඉම්රාන් මහරූෆ්, කේ.කේ. පියදාස, විජේපාල හෙට්ටිආරච්චි, ඒ. විජයතුංග, සිඩ්නි ජයරත්න, රෝහිණී කවිරත්න, තුෂාර ඉඳුනිල්, ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවේදී සහාය පළකර ඇතැයි පැවසේ.

නාවට සජිත්ට කැමැති කට්ටිය

එම අවස්ථාවට එක් නොවුවද හර්ෂණ රාජකරුණා, සන්දිත් සමරසිංහ, තුසිතා ජයමාන්න, බන්දු ලාල් බණ්ඩාරිගොඩ, සුජිත් සංජය, ශාන්ත අබේසේකර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සියලු දෙනා ද ඒ සඳහා තම එකඟත්වය පළ කර ඇති බව අජිත් පී. පෙරේරා මහතා සිය සටහනේ දක්වා තිබේ.

සජිත් බදුලු යන පළමු සැරේ

මේ අතර, ලබන 12 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාට බදුල්ලේ රැලියක් තියන හේතුව පැහැදිළි කරමින් හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දක්වා ඇත්තේ සජිත් ඇමතිධූරයට පත්වීමෙන් පසුව පළමුවරට බදුල්ලට පැමිණෙන බැවින් විල්ස් පාර්ක් පිටියේදී රැළියක් පවත්වන බවයි.

කෙසේවුවද, මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ ප්‍රේමදාස මහතා එම රැලියේදී ජනපති අපේක්ෂකයා ලෙස තරග වැඳීමට සූදානම් බව ප්‍රකාශ කිරීමට සූදානම්වන බවයි.

No comments:

Ad
Powered by Blogger.