හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බැහැ.

     
පක්ෂයට එරෙහිව යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඒ අනුව ක්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

ඒ ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනයට සහභාගී වෙමිනි. 

ඒ අනුව එළඹෙන සතියේ අඟහරුවාදා දින සිට එම විනය පරීක්ෂණ ආරම්භ කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම විනය ක්‍රියා මාර්ගවලින් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකටම, සෑම ආසනයකටම නව මන්ත්‍රීවරු පත්කරන බව දයාසිරි ජයසේකර මහතා කියාසිටියේය. 

"පක්ෂයක් විදිහට වැඩ කරනව නම්  විනයක් තියෙන්න ඕනේ. එක තැනක ගිහින් එකක් කියන්නයි තව තැනක ගිහින් තව එකක් කියන්නයි අද ශ්‍රී ලංකා එකේ ඇවිත්  ඉඳ ගන්නයි පහුවදා උදේ පොහොට්ටුවේ රැස්වීමට  යන්නයි මේව මෙහෙම කරන්න බැහැ."

පොදුජන පෙරමුණේ සහෝදරයෙක් ශ්‍රීලනිප රැස්වීමකට ආවොත් පසුදාම ඔහුට ගෙදර යාමට සිදුවන බවද දයාසිරි ජයසේකර මහතා කියාසිටියේය. 

"වෙල්ගම මහත්තයා  බදුල්ල දිස්ත්‍රික් නායකයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වපු රාත්‍රී පිරිත් දේශනයට ආවා. පහුවදා මොකද කළේ ,පහුවදා එයාව දිස්ත්‍රික් නායකත්වයෙන් අයින් කළා. ඕකයි වැඩපිළිවෙල. ඒ නිසා විනයක් එක්ක වැඩ කරන්න අවශ්‍යයි."

අද දින පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල ආරාධනයක් නොතිබුණු හෙයින් පක්ෂය ලෙස ඊට සහභාගී නොවන බව දයාසිරි ජයසේකර මහතා පවසා තිබූ අතර එය පක්ෂයේ තීරණයක් බව ඔහු සඳහන් කර තිබුණි. 

එහෙත් විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ  කටයුතු කරන  ශ්‍රීලනිප  මන්ත්‍රීවරුන්ට එම සමුළුවට සහභාගී වීම සඳහා ආරාධනා කර තිබුණි.

ඒ අනුව ඩිලාන් පෙරේරා, එස්.බී.දිසානායක,සරත් අමුණුගම ඇතුළු මන්ත්‍රීවරු පොහොට්ටුවේ සමුළුවට සහභාගී වී සිටියහ. 

විශේෂයෙන් පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවලදී ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු අතර මෙම කාරණයට අදාලව වාග් සංග්‍රාමයක් දක්නට ලැබුණි. 

කෙසේවෙතත් ශ්‍රීලනිප ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී නොවීමට ගත් තීරණය තවදුරටත් එහි සාමාජිකත්වය දරන මන්ත්‍රීවරු විසින්ම අභියෝගයට ලක්කර තිබේ. 

[LNW]

No comments:

Ad
Powered by Blogger.