Huawei ලොව බලවත්ම AI ප්‍රොසෙසරය Ascend 910 හඳුන්වා දෙයි.


HUAWEI විසින් පසුගියදා ලොව බලවත්ම AI ප්‍රොසෙසරය වන Ascend 910 නිල වශයෙන් එළිදක්වන ලද අතර එය සමගාමීව AI පරිගණකකරණ  රාමුවක් (AI computing framework) වන MindSpore ද හඳුන්වා දෙන ලදී. 

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී HUAWEI විසින් සිය AI උපායමාර්ගයන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සමාගම ස්ථාවර ප්‍රගතියක් අත්පත් කරගත් බව වර්තමාන සභාපති එරික් ෂු මහතා පවසයි. පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල සිට නිෂ්පාදන දියත් කිරීම දක්වා සෑම කටයුත්තක්ම සැලැස්මකට අනුව සිදු වන බවත්,  Ascend 910 සහ  MindSpore හඳුන්වා දීම් සමාගමේ AI උපාය මාර්ගයේ නව අවධියක් සලකුණු කරන බවත් හෙතෙම වැඩි දුරටත් කීහ. 

2018 වසරේ පැවති Huawei Connect සමුළුවේදී සමාගම විසින් සිය ප්‍රොසෙසර් සඳහා වූ සැලසුම් විශේෂණයන් නිල වශයෙන් නිවේදනය කරන ලද අතර  Ascend 910යනු  Huawei Ascend-Max චිප්සෙට් මාලාවට අයත් නවතම AI ප්‍රොසෙසරයයි.  තවද අඛණ්ඩව සිදුවූ සංවර්ධනයෙන් වසරකට පසුව දැක ගත හැකි වුයේ Ascend 910ප්‍රොසෙසරය මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා අඩු බලශක්ති පරිභෝජනයක් සහිතව එහි ක්‍රියාකාරීත්ව ඉලක්ක සපුරා ඇති බවයි. මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ එරික් ෂු මහතා පැවසූයේ ලෝකයේ දැනට පවතින  AI ප්‍රොසෙසරයන් හා සැසදීමේදී Ascend 910 සඳහා විශාල  පරිගණන බලයක් ඇති බවයි.

අර්ධ නිරවද්‍යතාවයෙන් යුත් floating අංක 16ක (FP16) මෙහෙයුම් සඳහා, Ascend 910 විසින් TeraFLOPS 256 ක් ලබා දෙන අතර පුර්ණ නිරවද්‍යතාවයෙන් යුතු ගණනය කිරීම් (Integer precision calculations- INT8) සඳහා TeraFLOPS 512ක් ලබා දේ. අසමසම ක්‍රියාකාරීත්වයට අමතරව  Ascend 910 සඳහා වන උපරිම බලශක්ති පරිභෝජනය 310W පමණි. මෙය සමාගම විසින් පෙර සැලසුම් කල අගයට වඩා ඉතා අඩු අගයකි. තවද  Ascend 910 මූලිකවම AI හා සම්බන්ධ ආකෘති පුහුණුන් සඳහා භාවිතා කරයි. ResNet-50 ක් මත පදනම් වූ සාමාන්‍ය පුහුණු සැසියකදී Ascend 910 සහ  MindSpore එක්ව ඒ හා සමාන වෙනත් ආකෘතින් මෙන් දෙගුණයක ක්‍රියාකාරීත්වයෙන් කටයුතු කිරීම සුවිශේෂී වේ.

තවද ඉදිරියේදී  පුළුල් පරාසයක අවශ්‍යතා සපුරාලිය හැකි සහ ඕනෑම අවශ්‍යතාවකට අනුවර්තනය කළ හැකි AI ප්‍රොසෙසර දැරිය හැකි මිලකට ලබා දීම සඳහා Huawei සමාගම ආයෝජනය කරමින් සිටි.

No comments:

Ad
Powered by Blogger.