ඒ සටන අවසන් නැත!


මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ව්‍යාපාරය ආරම්භ කර සිටියේ පැවති මිනීමරු රාජපක්ෂ රෙජීමයෙන් රට නිදහස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් අත්පත් කරගැනීමටය.

ඒ වෙනුවෙන් ජනප්‍රිය පක්ෂ දේශපාලනය වෙනුවට උන්වහන්සේගේ තේරීම වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගෙනවිත් සටන ජයග්‍රහණය කරවීමය. එහිදී ප්‍රධාන අපේක්ෂා වූයේ අත්තනෝමතික බලතල සහිතව මැරෙන තුරාවට ජනාධිපති වීමේ හැකියාව අත්පත් කරගෙන තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය. සමාජය වඩවඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීම වෙනුවෙන් වූ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමට ය. අධිකරණය පාලකාගේ ග්‍රහනයෙන් මුදවා යුක්තිය පසිඳවීම වෙනුවෙන් ස්වාධීන කිරීමය. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන අඩිතාලමක් හරහා රට ඉදිරියට ගෙන යන පාලන ව්‍යුහයක් ඇති කිරීමය.

👉 සෝභිත හිමියන්ගේ තේරීම !

ඒ වෙනුවෙන් උන්වහන්සේගේ යෝජනාව වූයේ කරූ ජයසූරිය විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර සියළු බලවේග ඒ වටා එක් රැස් කරවීමය.

ඒ වෙන විටත් යහපාලනය මූලික කරගත් රාජපක්ෂ රෙජීම පාලනයට එරෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය සූදානම් කර තිබිණ. එහෙත් අදිසි ආකාරයේ දේශපාලන ගේමක් හරහා උන්වහන්සේ ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් , දේශපාලන නායකයන් එක්ව දියත් කළ ඒ මෙහෙයුම බයිපාස් කෙරිණ.

👉 අහසෙන් වැටුණු අපේක්ෂකයා - පොළවෙන් මතුවූ මිනිසා වීම !

දිනන්න පුළුවන් අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන යෝජනා විය. කොහොම නමුත් මෛත්‍රීපාල එදා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූයේ සෝභිත හිමියන් ප්‍රමුඛ බලවේගය විසින් ගොඩනැගූ ඒ ප්‍රතිපත්ති සඳහා එකඟවෙමින් ය.

එහෙත් වසරක් ඉක්ම යන්නට පෙර මෛත්‍රීපාල සිය වසල ගති ප්‍රදර්ශනය කරන්නට ගත්තේය. යහපාලනය ගෙනෙනවා වෙනුවට ජනවරමට පවා ප්පිටු පාමින් මෛත්‍රීපාල නටන පිස්සුව අදටත් අවසන් නැත.

තමන්ගෙන් පසුව මේ රටේ ජනාධිපතිවරයකු බිහි නොවන බවත් මේද තමන් පවා ඉදිරිපත් වන අවසන් ජනාධිපතිවරණය බව සිරිසේන එදා පොරොන්දු විය. එහෙත් අදටත් ඉතිරිව ඇත්තේ මෛත්‍රීපාලගේ බල තණ්හාව ඉස්මුරුත්තාවට එන්න පෙර සම්මත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කටයුතු කිහිපයක අස්වැන්න පමනි. ඒ විතරක් නොව මෛත්‍රීපාල සිය 2015 ජනවරම ගෙන පිස්සු නටන විට ඊට වගකියන්න කෙනෙක් අද වන විට නැත.

👉 මෛත්‍රීපාලට සහතික දුන්න කෙරුමන් කොහිද ?

මෛත්‍රී යුගයක් ගැන පුරසාරම් කියා නැති ගුණ මවා පෑ කිසිවෙකු විශේෂයෙන් මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා කර එජාපය ප්‍රමුඛ එවකට පොදු විපක්ෂයේ අපේක්ෂකත්වය දෙනතුරු නින්ද නොගිය අය අද ඒ සියල්ල අමතක කර සීරුමාරුවේ අපට සමීප වෙමින් දිනන්න පුළුවන් අපේක්ෂකයා ගැන බහුභූත කියවයි.

අමතක නොකළ යුතු කරුණ වන්නේ මෛත්‍රීපාල සමග ඔවුන්ගේ ඩීල් තවමත් සක්‍රීයව තිබීමයි. එනිසා එදා මෛත්‍රී වෙනුවෙන් මරාගෙන මැරෙන බලකායක් සේ රඟපු ඔවුන් අද කිසිම තේරුමක් නැතිව ආතභූත නැතිව තර්ක කරන්නේ " ජයග්‍රහණය වෙනුවෙන් අපේක්ෂකයා නම් කර වැඩපිළිවෙළ පසුව හදමු" කියාය.

👉 තීරණාත්මක ප්‍රශ්නයක් !

එහෙත් අප ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ මෛත්‍රීපාල ගෙනත් වැටුනු අමාරුවේ අපි යළිත් වැටෙන්න ඕනද ? යන්නය.

නැතිනම් ඔය කරන්න එන්නෙත් මෛත්‍රීපාල ගෙනාපු විදිහට අපේක්ෂකයා ගැන කිසිවක් නොසලකා වැඩපිළිවෙළ දිනවන්න මෛත්‍රීපාල දිනවන්න කියූ මේ වන විට එකම විකාරකාරයෙක් වී ඇති මෛත්‍රී යුගයේ අසාර්ථක පිටපත අරගෙනය.

තවදුරටත් ඔය ගේම් කාරයන්ගේ බේගල් සහ තර්ජනයන්ට හසුවිය යුතු නැත. මේ "කිසිම දැක්මක් නැති , දියුණු දර්ශනයක් තබා රට කරවන ලියවිල්ල වූ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරන හීනමානකාරයකු වූ මෛත්‍රීපාල ව අයිසිං කරපු උදවිය" විශ්‍රාම යැවිය යුතු සමයයි. මේ ඒ පිරිස තවත් වටයකින් තවත් හීනමානකාරයෙකු අපේ කරේ තබන්න එන සමයයි.

👉 කඳවුරේ අපේක්ෂකයා තෝරන්නේ කවුද ?

මේ සමයේ අපේ කඳවුරේ අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීමේ ශුද්ධ වූ අයිතිය ඇත්තේ එදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේ පවා බොරුවට දිවුරූ මෛත්‍රීපාල ගෙනා පාර්ශවය වෙත නොව. එදා කඳවුරේ සමගිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෛත්‍රීපාලව කරේ තියාගෙන පැමිණි පිරිසට තමන් ගොඩනැගු ඒ ශුද්ධ වූ සටන් පෙරමුණ ලබාදී කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් කැපකිරීම් කළ අයටය.

එක් පසෙකින් මේ වන විට යහපාලනය ආරම්භයේදී දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ කනපිට හරවනු පිණිස නියම ගහලයා නෙළුම් පොහොට්ටුව ගෙන රට රැවටීම ආරම්භ කර ඇත. නමින් ඔහු ගෝඨාභය නන්දසේන රාජපක්ෂ ය.

නම ගෑවුණත් ඒ කිසිදු ඝාතනයක්, පැහැරගෙනගොස් අතුරුදහන් කිරීමක්, මූල්‍ය අක්‍රමිකතාවක් තබා, රතුපස්වල පිරිසිදු වතුර ඉල්ලූ ජනතාව වෙත සන්නද්ධ හමුදා යොමුකර ජීවිත කිහිපයක් බිළිගැනීම ගැනවත් වචනයකින් හෝ කම්පාවට පත්නොවූ ගෝඨාභය රාජපක්ෂ ෆැසිස්ට් මනසක් ඇති ඔහු, මේ රටේ පුරවැසියකු ද යන්න පවා සැකසහිතය.

👉 ටර්මිනේටර් නන්දසේන පැමිණ ඇත

එහෙත් ඔහු පැමිණ ඇත. ඇමරිකානු පුරවැසියා ඊනියා ඇමරිකානු විරෝධී , ඊනියා දේශප්‍රේමී කඳවුර තුළින් බිහිව හිට්ලර් පාලනයක් වෙනුවෙන් සිය විශ්‍රාමික මිලිටරි නිලධාරීන් කැඳවා ගෙන පැමිණ ඇත.

දැන් ඇත්තේ හුදු පක්ෂයක , ජයග්‍රහණය සම්බන්ධව ප්‍රශ්නයක් නොවේය. මේ සමස්ථ රට අනතුරේ වැටුණු , අවධානමකට ලක්වූ මොහොතකි. මෛත්‍රීපාල නම් පාෂාණ්ඩයා නිසා පොදු සටනක් ගැන බහුතරයක් විශ්වාසය නොතබන මොහොතකි.

එහෙත් ඒ සියල්ල බේරුම් කර ගන්නට අවස්ථාව ලැබෙන්නේ මෙරට සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය ඒ ෆැසිස්ට්වාදීන් වෙතින්, ඒකාධිපති පවුල වෙතින් සහ මනුෂ්‍යත්වය නොයිවසන, සුසුමක් නොහෙළා මිනීමරා අවසානයේ අධිකරණයට පවා තර්ජනය කරන ගෝඨා නම් සාතන් පරාජය කිරීම හරහා පමණි.

👉 සියළු භේද නොසලකා එක්විය හැකි නායකයා "කරූ" !

එසේනම් මේ මොහොත යනු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගෙන ගොවනැගුනු ජාතික ජනබලවේගය ඇතුලුව සාධාරන සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය, ඇතුලු සිවිල් සංවිධාන, TNA, මුස්ලිම් පක්ෂ ඇතුළු සියළු බලවේග එක්කර ගතහැකි දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය මොහොතකි.

බල තණ්හාවෙන් පැලෙන්න සිටින අයෙකු නොව ජයග්‍රහණය වෙනුවෙන් පරිත්‍යාගය උතුම් කොට සැළකූ නායකයෙකි.

ඒ වෙනුවෙන් වූ සුදුස්සා එදා මාදුළුවාවේ සෝභිත නාහිමියන් අප වෙත ගෙනවිත් දුන්නේය. ඔහු නමින් කරූ ජයසූරිය ය. 2015 නොනිමි මෙහෙවර පෙරට ගන්නට හැකිවන්නේ සහ ඒ වෙනුවෙන් වන වඩාත් විශ්වසනීය නායකයා ඔහුය. අවසන් නොවූ සටන යළි අරඹන්න හැකි වන්නේ එදා අපි ඒ අහිමිකර ගනු ලැබූ සෙන්පතියාට සටන් පෙරමුණ පැවරීමෙනි.

[අලහේන්ද්‍රෝ මයිතා @ කඳවුර]

No comments:

Ad
Powered by Blogger.