කරූ ඔබට ඇසෙනවද?: හඬන රටක හඩ!


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා ඉදිරි ජනාධිපතිවරණයෙහි අපේක්ෂකයකු වශයෙන් තමන්ට ඉදිරිපත් වීමට හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබිණි. 

එහෙත් එම නිවේදනය තුළ කථානායකවරයා සෘජු තීන්දුවක් ප්‍රකාශයට පත්කර නොතිබුණු අතර තමන් මේ වගකීම භාරගැනීමට නම් සියලු පාර්ශ්ව ඊට එකඟවිය යුතු බවට යම් කොන්දේසියක් ද ඇතුළත් කර තිබිණි. මේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ යුතුයැයි අපි සිතුවෙමු. 

කරූ ජයසූරිය මහතාණෙනි, 

විධායක ජනාධිපති ක්‍රමය නිසා ශ්‍රී ලංකාවේ සමාජයට මුහුණ පෑමට සිදුවුණු අර්බුද පිළිබඳව මෙන්ම එය ප්‍රජාතන්ත්‍රවාදයට කොතරම් තර්ජනයක්ද යන්න පිළිබඳවත් අපට වඩා වැඩි වැටහීමක් ඔබ සතුව පවතින හෙයි ඒ පිළිබඳ යළි විස්තර කිරීමට නොයන්නෙමු. 

ඉතිහාසයේ පළමුවරට විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයම එය අහෝසි කිරීම සඳහා දැන් ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ සිටී. එසේම 1978 විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කිරීමෙන් අනතුරුව ගෙවුණු කාලය තුළ වැඩිම කාලයක්, එනම් වසර 25ක් එකදිගට එම තනතුර අත්පත් කරගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද එම ක්‍රමය අහෝසි කිරීමට සම්පූර්ණයෙන්ම එකඟය. මීට පෙර පැවති වාචික එකඟතා මෙන් නොව ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මකව ද සිටී. 

එසේම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක පයින් සූදානම් ය. පසුගිය වසරේ රට තුළ ක්‍රියාත්මක කෙරුණු දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු රටේ ජනතාව ද සැලකිය යුතු මට්ටමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට හඬ නඟනු පෙනේ. ඒ අනුව මේ ඓතිහාසික මොහොත මඟහැරුණුහොත් නැවත මෙවන් තත්වයක් දශක ගණනාවකට ඇති නොවීමේ අනතුරක් ද පවතී. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව මීට පෙර පැවති ජනාධිපතිවරණ ගණනාවකදීම කරළියට පැමිණ ඉටු නොවුණු බොරු පොරොන්දුවක් බවට පරිවර්තනය වූ අතීතයක් ද අපට ඇති බව ඇත්තය. එහෙත් එය සිදුවුණේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති, තම පරම්පරාවේ පුරුක් ද විධායක ජනපති තනතුරටම ඔසවා තැබීමේ බලාපොරොත්තුවෙන් පසුවූ, කට්ට කෛරාටික වෙට්ට පිත්තල දේශපාලන චරිත ඒ පොරොන්දුව දුන් නිසාය. විධායකයේ රස වැටුණු පසු එය අත්හැරීමට ලෝභවන පන්නයේ පුද්ගලයින් අතට එය ගිය නිසාය. 

එහෙත් ඔබ එවැන්නෙකු නොවන බව රටම දනී. මේ මාසයෙහි 29 වනදාට ඔබට වයස අවුරුදු 79කි. සැරයටියෙන් හෝ රෝද පුටුවෙන් යන ජනපති කෙනෙකු වීමේ තණ්හාවක් ඔබට නැත. ජීවිතය තුළ අත්හැරීම යන්න ඔබ කොතෙක් පුහුණු කර ඇතිද යන්නට ඔබේ දේශපාලන දිවියම සාක්ෂි දරයි. එසේම අහිමිවීමක් දරාගැනීමට සහ උපේක්ෂාවෙන් ඊට මුහුණදීමට ඔබට කොතරම් හැකිද යන්න මැනවින් පිළිඹිබු වූයේ ඔබේ දියණියගේ අකල් අභාවයට ඔබ මුහුණ දුන් ආකාරයෙනි. 

එහෙයින් කරූ ජයසූරිය මහතාණෙනි, 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ විශ්වාසය තැබිය හැකි චරිතයකට ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ සිටින්නේ ඔබම පමණි. එසේම අප පෙරකී සියලු පාර්ශ්වය එක මිටට එකතු කරමින් ඔවුන්ගේ සහාය මේ සටනට ලබාගත හැකි එකම ශ්‍රී ලාංකික දේශපාලනඥයා ද ඔබම පමණි. 

එහෙයින් ඔබේ කරමත පැටවී ඇති ඓතිහාසික වගකීමේ තරම ඔබට අවබෝධ විය යුතුය. මෙය කළ හැකි එකම පුද්ගලයා ඔබම පමණි. 

දේශපාලන සටන් පෙරමුණු යනු ඉබේ ස්වයංසිද්ධව ගොඩනැඟෙන ඒවා නොවේ. සමාජය තුළින් ඊට අදාළ පෙළඹවීම මෙන්ම සටනට නායකත්වය දිය හැකි, එය කළමනාකරණය කළ හැකි, එය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි නායකත්වයක් ද ඊට අනිවාර්යයය. ඉතිහාසය එවන් නායකත්වයක් පැමිනෙන තුරු ඇතැම් සටන් සඳහා මඟබලා සිටී. 

මේ උදාවී ඇත්තේ එවන් මොහොතකි. 

මෙය සියලුම පාර්ශ්වය සතුටු කරමින් කළ හැක්කක් නොවේ. සියල්ලන්ම සතුටු කිරීමට නම් දේශපාලනය වෙනුවට අයිස් ක්‍රීම් දන්සලක් පැවැත්විය යුතුය. විශේෂයෙන් දේශපාලන තක්කඩියන්ව කිසිසේත්ම සතුටු කරන්නට නොහැකි අතර ඔවුන්ව සතුටු කරන්නට උත්සාහ කිරීම ද රටේ අනාගතය සමඟ කෙළින සූදුවක් වනු ඇත. 

එනිසා බහුතරයගේ යහපත වෙනුවෙන් කුමන්ත්‍රණකාරී තක්කඩියන් පිරිසකගේ උඩුබිරීම අමතක කර දමා ඔබ සටනට පිවිසිය යුතුය. ඔබේ අනම්‍ය පිටකොන්ද මේ මොහොතේ පෙන්විය යුතුය. 

ඉතිහාසය තුළ ඇතැම් තීන්දු තීරණ නිසි මොහොතේ නොගත්තේ නම් ඊට විඳවීමට සිදුවන්නේ අනාගත පරම්පරා ගණනකටය. ඔබත් මේ මොහොතේ එක්කෝ මිනීමරුවාට හෝ එක්කෝ මෝඩයාට අවස්ථාව විවර කරදෙමින් පසෙකට වන්නේ නම් ඔබටත් අනාගත පරම්පරාව ඉදිරියේ, ඔබේ මුණුපුරු මිණිපිරියන්ගේ වයසේ පසුවන්නගේ හෙට දවස ඉදිරියේ, ඉතිහාසය ඉදිරියේ ඔබ කෙළින් නොගත් තීන්දුව ගැන වගකීමට සිදුවනු ඇත. 

ඔබ අද දිනයේ කෙළින් සිටගනිමින් රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාව වෙනුවෙන් මේ සටන අතට නොගන්නේ නම් ඔබ මෙතෙක් දේශපාලන දිවියේ උපයාගත් සියලුම ගෞරවණීය වටිනාකම් අනාගතයේ ඔබට අහිමි වනු ඇත. තොරතුරු දැනගැනීමේ පනත හරහා, දේශපාලන කුමන්ත්‍රණය පරාජය කරවීම හරහා ඔබ රටට දිනා දුන් සියලු ජයග්‍රහණ අහිමි වනු ඇත. 

පාඩුව සමස්ත රටටමය. සමස්ත ජනතාවටමය. රටේ අනාගතයටය. 

එනයින් මේ මොහොත අතිශයින්ම තීරණාත්මකය. රට වෙනුවෙන් ඔබේ තීරණය අතිශයින්ම තීරණාත්මකය. සියලු ශක්‍යතාවයන් තිබියදීත් මේ තීන්දුව නිසි මොහොතේ නොගෙන වැනෙමින් සිට රට අනතුරේ හෙළූ පුද්ගලයා ලෙසින් ඉතිහාසයට එකතු වනවාද, නිසි මොහොතේ නිසි තීරණය ගනිමින් විධායක ජනාධිපති ක්‍රමයේ ශාපයෙන් රට ගළවාගත් නායකයා ලෙස, අත්හැරීම පිළිබඳ ලෝක ඉතිහාසයටම පාඩමක් ඉතුරු කළ රාජ්‍ය නායකයකු ලෙස ඉතිහාසයට එකතු වනවාද යන්න තීරණය කිරීම ඔබ සතුය! 

[LNW]

No comments:

Ad
Powered by Blogger.