19 සංශෝධනයෙන් නායකයන් 3ක් බිහිවෙලා: ජනාධිපති දන්න ව්‍යවස්ථා නීතිය!


ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති සිරිසේන පවසයි.

පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක‍්‍රම විශාරදයින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප‍්‍රතිඵලයක් නොමැති බවද ජනපතිවරයා පැවැසීය.

ඔවුන් උතුරේ ජනතාව රැවටීම සහ දකුණේ ජනතාව අතර වෛරය පැතිරවීම පමණක් සිදුකළ බවද ජනපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පෙරේදා (30) පස්වරුවේ යාපනයේ මුත්තවේලි නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් සමාප්ති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරණයක් ගැන කතා කළ ද මෙම වරද නිවැරදි කර ගැනීමට තවමත් පවතින ආණ්ඩුවට කාලය තිබෙන බව පැවැසූ ජනපතිවරයා 2020 බලයට පත්වන ආණ්ඩුවකට රට කරගෙන යාමට නම් එම වගකීම පවතින ආණ්ඩුව විසින් ඉටුකළයුතු බවද සඳහන් කළේය.

එම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස තමා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනා කරන බවද ජනපතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුව මෙම ගැටලුව විසඳිය යුතු අතර ඊට තම උපරිම සහය ලබාදෙන බව ද ජනාධිපති කියා සිටියේය.

මෙහිදී ජනාධිපති වැඩිදුරටත් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය හරහා අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය තිබෙන නායකයන් තුන්දෙනෙක් නිර්මාණය කර තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

නායකයන් තුන්දෙනෙකුට රටක් කරගෙන යා නොහැකි අතර රට අවුලට පත්වන බව ජනාධිපති සඳහන් කළේය.

ව්‍යවස්ථාව කඩපු සිරිසේන : 19 සංශෝධනයේ හොඳ දකින්නේ කොහොමද ?

2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයක් මෙහෙයවමින් දින 52 කට රටම අස්ථාවර කළ සිරිසේන ජනාධිපති 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ හොඳක් දකින්නෙකු නොවන බවත් ඔහු මේ වන විට එල්ලෙන්න වැලක් හොයන ග්‍රාම්‍ය දේශපාලනඥයකු බවට පත්ව ඇති බවත් දේශපාලන විචාරකයන් සදහන් කරයි.

ඔවුන් මේ බව සදහන් කර සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ නායකයන් තිදෙනෙකු නිර්මාණය වී ඇති බවට ජනාධිපති සිරිසේන දැක්වූ අදහස සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.

ඉතිහාසයේ කිසිම නායකයෙක් සිදුනොකල ආකාරයට බරපතල ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවත් දිගින් දිගටම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව විකෘති අදහස් දක්වමින් සිරිසේන ජනාධිපති කරන්නේ ඒ අසාර්ථක අපකීර්තිමත් කුමන්ත්‍රණයේ වාඩුව ගැනීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

දැක්මක් නැති පාලකයෙක් !

මේ සම්බන්ධව ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පෙන්වා දෙනු ලැබිණ.

ජනාධිපති සිරිසේන තමන්ගේ ජනවරමට පිටුපෑ අයෙකි. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම ඔහුගේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රබල සහ වැදගත් යෝජනාවක් විය. මිනිස්සු එදා ජන්දය දුන්නේ මෛත්‍රී යුගයක් නම් එකී යෝජනා ඇතුළත් වැඩපිළිවෙළ සඳහා ය. එහෙත් ජනාධිපති සිරිසේන වසරක් ගතවන විට ඒ පොරොන්දු සියල්ල පසෙක තබා කටයුතු කළ අතර ඊළඟ ධූර කාලය කෙක්කෙන් හෝ කොක්කෙන් ගැනීම අභිප්‍රාය විය.

ඒ වෙනුවෙන් පළමුවන යෝජනාව ඉදිරිපත් වූයේ එජාප පාර්ශවය වෙතයි. ඒ දෙවැනි ධූර කාලය වෙනුවෙන් එජාප අනුමැතිය ඉල්ලාය. එහෙත් එය ප්‍රතික්ෂේප කෙරුණු බැවින් එදා සිට ජනාධිපති සිරිසේන එජාප පාර්ශවයෙන් දරුණු ලෙස පළිගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමිනි.

එයින් තහවුරු වූයේ සිරිසේන ජනාධිපති හට ඔහුව ජයග්‍රහණය කරවූ වැඩපිළිවෙළ ගැන කිසිදු දැක්මක් තිබී නැති බවය. එහි ඉතා පැහැදිලි ලෙස දින 100 වැඩපිළිවෙළ මෙන්ම මෛත්‍රී යුගයක් ප්‍රතිපත්ති දක්වා තිබිණ.

මෛත්‍රී යුගය අවසන් කළ සිරිසේන !

එහෙත් ඔහු වසර 4ක් අවසානයේ කීවේ දින 100 වැඩපිළිවෙළ දැකලා තිබුනෙත් නෑ කියාය. අලුතෙන් ඔහුට දකින්නට දෙයක් නොමැත. ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට විධායක ජනාධිපති විසින් කරන අත්තනෝමතික බලපෑම් අහෝසි කිරීම ඒ ප්‍රතිපත්තිය තුළ තිබිණ.

දැන් ඔහු හැසිරෙන්නේ මෙතෙක් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තරම් හෝ බලයක් නොමැතිව සිටි අයෙකු ලෙසය. 19 ගැන පල්බොරු වමාරන්න ගෙන ඇත්තේ නායකයන් තිදෙනෙකු රට කරවන බව පවසමින්ය.

19 ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවූයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබූ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාව ක්‍රියාත්මක කිරීමය. දැන් ජනාධිපති සිරිසේන ට විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව හෝ අධිකරණය වෙත අනිසි බලපෑම් සිදුකළ නොහැක. ඒ නිසා ඉන් පීඩනයට පත්ව ඇති සිරිසේන ජනාධිපති හට දැන් දැනෙන්නේ නායකයන් තිදෙනකු රට පාලනය කරනවා වැනි හැඟීමකි. එය සාධාරණය , මන්ද විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සංවරන හා තුලන නියමය ප්‍රකාරව හැසිරෙන ආකාරය ග්‍රාම්‍ය මනසකට තේරුම් ගැනීම දුෂ්කර ය.

සිරිසේනගේ තවත් උගුලක් !

මේ අතර සිරිසේන ජනාධිපතිගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ගැන අදහස් දැක්වූ එක් දේශපාලන විචාරකයකු පෙන්වා දුන්නේ විධායකය අවසන් කිරීමේ සිරිසේන ජනාධිපතිගේ යෝජනාව තවත් දේශපාලන උගුලක් බවයි.

20වන සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අවස්ථාවේ ඒ ගැන කිසිවක් ප්‍රතිචාර නොදැක්වූ ජනාධිපති සිරිසේන එක්වරම ජනාධිපතිවරණය ආසන්න වන විට විධායකය අවසන් කිරීම ගැන කරන යෝජනාව ප්‍රවේශමෙන් කියවා ගතයුතු බවත් ඔහු පැවසීය.

No comments:

Ad
Powered by Blogger.