සංවර්ධනය පස්සට යවන ණය ආධාර විරෝධී නරි නාටක.


මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පසුගිය කාලයේ පටන් විවාදයට ලක්ව තිබෙන මාතෘකාවකි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සිවිල් සමාජයේද මතභේදාත්මක කාරණාවක් බවට පත්ව ඇති මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ පසුබිම කුමක්ද? මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යනු යූ.එස්.ඒඞ්, යූ.එන්.ඒ.අයි.ඩී ආදී ඇමෙරිකාවේ තිබෙන ආයතන සමඟ ආධාර දෙන වැඩසටහනකි.

එනිසා මෙය අමුතු දෙයක් නොවේ. අනෙක් රටවලද මෙවන් වැඩසටහන් තිබේ. ජපානයේ පිහිටි ජයිකා ආයතනය මෙයට එක් උදාහරණයකි. දියුණු රටවල් ආධාර ලබාදීමට මෙවන් වැඩසටහන් ක්‍රියාවට නංවමින් තිබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යනු එවන් ආධාර වැඩසටහනකි.

“කම්පැක්ට් ග්‍රාන්ට්” යනු මෙහි ඇති ආධාර වර්ගවලින් එකකි. මෙම ආධාර ආරම්භකර ඇත්තේ 2004 දීය. ඒ අනුව ගෙවුණු වසර 15 දී කම්පැක්ට් ආධාර යටතේ ඇමෙරිකන් ඩොලර් බිලියන 13ක් (ඩො.මි. 13,000) ලෝකයේ රටවල් තිහකට ලබාදී තිබේ. මේ රටවල් තිහ ආසියාවත් ඇතුළුව අප්‍රිකාව, යුරෝපය සහ ලතින් ඇමෙරිකාව යන කලාපවල පිහිටා තිබේ. 2010 දී පිලිපීනයත්, 2011 දී ඉන්දුනීසියාවත් මෙම ආධාර ලබාගෙන ඇත. ඒ වගේම 2007 දී මොංගෝලියාව මෙම ආධාරය ලබාගත් රටකි. මෑතකදී නේපාලයටද මෙම ආධාරය අනුමත වී තිබේ. ගිය වසරේදී ලංකාවට මෙම ආධාරය අනුමත වුණි. මෙම ආධාර වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට මොංගෝලියාව සහ ඉන්දුනීසියාව සමත්ව සිටී. ඒ වගේම ඔවුන් දෙවැනි වතාවටත් මෙම ආධාරයට ඉල්ලුම්කර තිබේ. මොංගෝලියාවට දෙවැනි වරටත් ආධාරය අනුමත වී තිබේ. ඉන්දුනීසියාව දෙවැනි වරට අයැදුම්කර ඇත්තේ පසුගිය වසරේය. එම අයැදුම් දැන් සලකා බලමින් තිබේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් කම්පැක්ට් ග්‍රාන්ට් යටතේ සාමාන්‍යයෙන් ලබාදෙන ආධාර මුදල ඩොලර් මිලියන 500කි. ලංකාවට ලැබීමට නියමිතව ඇත්තේ ඩොලර් මිලියන 480කි. මෙම ආධාරය ලබාගත් රටවල් සමඟ සසඳන විට මෙය විශාල මුදලකි. ඇමෙරිකාව පැමිණ හෝ මිලේනියම් චැලේන්ජ් ආයතනය පැමිණ මේ ආධාර ලබා දෙන්නේ නැත. මේ ආධාරවලට රටවල් ඉල්ලුම් කළ යුතුය. ලංකාව පළමු අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ 2016 දීය. ඒ අනුව එම අයැදුම්පත සලකා බැලීමෙන් පසු මෙම ආධාරය ලබාගැනීමට ලංකාව සුදුසුද නැද්ද යන්න මුලින්ම ප්‍රකාශයට පත්කරනු ඇත. මේ ආධාරය ලබාගැනීමට ලංකාව සුදුසු බව 2016 දී ප්‍රකාශ කර තිබුණි. එම ප්‍රකාශයෙන් පසුව සවිස්තරාත්මක වාර්තාවක් සමඟ අයැදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ලංකාවද එම අයැදුම් පත ඉදිරිපත් කිරීමෙන් පසු එය 2018 දී අනුමත වී තිබේ. ලංකාවට අදාළ ආධාරයට අවසන් අනුමැතිය ලැබී ඇත්තේ 2019 අප්‍රේල් මාසයේදීය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මෙම ආධාර ලබාදීමේ අරමුණක් තිබේ. එය ආධාර ලබාදෙන සෑම රටකටම පොදුය. ආර්ථික වර්ධනයෙන් දිළිඳුකම අවම කිරීම එම අරමුණය. මෙම අරමුණ ඉටුකර ගැනීම හා සම්බන්ධ වන ඕනෑම ව්‍යාපෘතියක් මේ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට පුළුවන. අයැදුම්පතක් ඉදිරිපත් කළ පමණින් මෙම ආධාරය ලැබෙන්නේ නැත. යම් රටක් අයැදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු නිර්ණායක තුනක් යටතේ රට ඇගැයීමට ලක්කරනු ඇත. එකී ඇගැයීමෙන් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුව ආධාරය ලබාදීමට සුදුසුද නැද්ද යන්න තීරණය කෙරේ. එම නිර්ණායක තුන කුමක්ද? ආර්ථික නිදහස පළමුවැන්නය. දර්ශක දහයක් පහළොවක් යටතේ මේ සම්බන්ධ සැලකිල්ලකට ලක්කරනු ඇත. ඒ වගේම ඒවාට ලකුණු දීමක්ද සිදු කෙරේ. යහපාලනය දෙවැන්නය. රටක යහ පාලනය මැනීමේ දර්ශක ගණනාවක් තිබෙන අතර ඒවා යටතේ ලකුණු ලබාදෙනු ඇත. රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කොතරම් ආයෝජනය කරනවාද යන්න තුන්වැනි නිර්ණායකයයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය, කාන්තාවන්ගේ අධ්‍යාපනය ආදී දර්ශක ගණනාවක් තිබෙන අතර ඒවා යටතේ ලකුණු දීම සිදුකෙරේ. මේ ලකුණු සියල්ල එක්තරා සීමාවකට ඉහළින් ලබාගත යුතුය. එසේ නැතිව ආධාරය ලබාගැනීමට සුදුසුකම් ලැබිය නොහැක. ලංකාවට මෙම ආධාරය අනුමතවීමෙන් පැහැදිලි වන්නේ අවශ්‍ය නිර්ණායකවලින් අදාළ සීමාවෙන් ඉහළට ලංකාව ලකුණු ලබාගෙන ඇති බවය.

ලංකාවට අනුමත වී ඇති ආධාර මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 480 කි. මේ මුදල දීමට ලංකාවට අනුමත ව්‍යාපෘති දෙකකි. මෙම ආධාර මුදලෙන් ඩොලර් මිලියන 350 ක් අනුමත වී ඇත්තේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය සහ ඊට අදාළ කළමනාකාරිත්වය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙනි. ඩොලර් මිලියන 67 ක් වැය වන ලංකාවේ තිබෙන ඉඩම් අයිතිය පරිගණක ගතකර දත්ත පදනමක් ඇති කිරීම දෙවැනි ව්‍යාපෘතියයි. වසර පහක කාලයකදී ලංකාව මෙම ව්‍යාපෘති දෙක සම්පූර්ණ කළ යුතුය. අදාළ ආධාර මුදල යටතේ වෙනත් කිසිවක් සිදුවන්නේ නැත. කොළඹ සිට ත්‍රිකුණාමලය විදුලි වැටක් ඉදිකිරීමෙන් හෝ ඇමෙරිකාවට ඉඩම් බදුදීමක් පිළිබඳ මෙහි සඳහන් වන්නේ නැත. රට දෙකඩවීමක් ගැන කියැවුණද එවැන්නක් සිදුවන්නේ නැත. ඇමෙරිකාවේ නීතිය ලංකාවේ බලපවත්වන බවට කියන කතාවේද සත්‍යතාවක් නැත. දැනට දේශපාලන ලෝකයේ කියැවෙන කතන්දර මේ ආධාර හා සම්බන්ධ නැත.

ජාත්‍යන්තර නීතිය මෙම ආධාරයට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් බලපවත්වන බවට කීමේ යම් සත්‍යතාවයක් තිබේ. මෙය ලංකාවටවත් ලෝකයේ අනෙක් රටවලටවත් අලුත් දෙයක් නොවේ. ඕනෑම ජාත්‍යන්තර ව්‍යාපාර, ගනුදෙනු, ආධාර, ණය යනාදී සියල්ලටම බලපවත්වන්නේ ජාත්‍යන්තර නීතිය වීම එයට හේතුවය. විදේශීය ආයෝජකයකුට අවශ්‍ය නම් ජාත්‍යන්තර නීතිය යටතේ නඩු පවරන්නට පුළුවන. එවන් අත්දැකීම් අපට තිබේ. ඛනිජ තෙල් හෙජින් ගනුදෙනුව සම්බන්ධ කාරණයේදී ගියේ ජාත්‍යන්තර බේරුම්කරණයකටය. එනිසා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් ලැබීමට නියමිත ආධාරයට ජාත්‍යන්තර නීතිය බලපවත්වන්නේ යැයි කියමින් අනියත බියක් ඇතිකරගත යුතු නැත. ලංකාවේ නීතිය යටතේ ක්‍රියාත්මක වීමේදී සෑහෙන කල් ගතවනු ඇත. එහෙත් ජාත්‍යන්තර නීතිය යටතේ එවන් කාලයක් ගත වන්නේ නැත. එනිසා කළ යුතු වන්නේ ජාත්‍යන්තර නීතියත් සමඟ සම්‍යගතවන ආකාරයට අපේ නීති රීති පද්ධතිය සහ නීති ක්‍රියාත්මක වීම සකස්කර ගැනීමය. ගෝලීයකරණයත් සමඟ ලංකාව ඉදිරියට යාමට නම් එසේ කළ යුතුය.

ලංකාවට ලැබෙන ආධාර මුදල යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති දෙකෙහි ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක මැන බලා තිබේ. මෙම ව්‍යාපෘති දෙකෙන්ම ඉතා ඉහළ මට්ටමේ ආර්ථික ප්‍රතිලාභ ගණනය කර තිබේ. ඒ වගේම ඒවයේ සමාජමය වටිනාකම්ද ඇස්තමේන්තු කර තිබේ. කොළඹ ප්‍රවාහන ක්‍රමය නවීකරණය කර අලුත් ප්‍රවාහන ක්‍රමයක් සහ ඒ සඳහා යටිතල පහසුකම් පද්ධතියක් ඇති කිරීම ජනතාවට විශාල පහසුවක් ඇති කරන්නකි. ලංකාවේ ජනගහනයෙන් සියයට තිහක් සිටින්නේ බස්නාහිර පළාතේය. ඒ වගේම විශාල පිරිසක් සේවය කරන්නේද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලය. ඒ අනුව මේ ප්‍රදේශයේ ප්‍රවාහන ක්‍රමය නවීකරණය ඒ පිරිසට විශාල පහසුවකි. ඒ වගේම අනෙක් ප්‍රදේශ සමග කාර්යක්‍ෂම සම්බන්ධීකරණයක් ගොඩනැඟීමට ද මෙය උපකාරී වනු ඇත. මෙහි ඇති ආර්ථික ප්‍රතිලාභ අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නැත.

මේ තුළ තවත් බොහෝ කාරණා ඇතුළත්ය. පොදු ප්‍රවාහනයේ නිරත සේවකයන්ට නවීන පොදු ප්‍රවාහනය ඇති රටවල සේවකයන්ට ඇති පුහුණුව ලබාදීම ඉන් එකකි. මේ අනුව ඔවුන්ගේ රැකියා තත්ත්වය ඉහළට ඔසවා තැබීමට නියමිතය. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසනය සම්බන්ධයෙන් වත්මන් සමාජයේ අඩු සැලකිල්ලක් පැවතියද එය සම්පූර්ණයෙන් තුරන් කිරීම කෙරෙහි මෙම ගිවිසුමේදී අවධානය යොමුකර තිබේ. මේවා සාධනීය ලක්‍ෂණය. එවන් ලක්‍ෂණ රාශියක් අන්තර්ගතය.

ඉඩම් පරිගණකගත කිරීම ද වැදගත්ය. ලංකාවේ නගර, ගම්, වනාන්තර, ජලාශ යනාදී සියල්ල පරිගණකගත වී තිබේ නම් සහ ඉඩම්වල අයිතිය ඇත්තේ කාටද යන්න සටහන් වී ඇත්නම් රජයට අයිති කුමන ඉඩම්ද යන්න සඳහන් නම් මේවා අවභාවිතයට ඇති ඉඩකඩ ඇහිරෙනු ඇත. හොර ඔප්පු සකස්කර එකිනෙකාගේ ඉඩම් අල්ලා ගැනීම අද මෙරට කෙරෙන්නකි. ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දේශපාලනඥයෝද මේවාට හවුල් වෙති. මේ ආකාරයට සිදුවන ඉඩම් අවභාවිතය සහ ඒ ආශ්‍රිත කටයුතු අවසන් කළ යුතුය. ඉඩම් සම්බන්ධ පරිගණක දත්ත පද්ධතියක් සකස් කළ පසු ඉඩම් අවභාවිතයට ඉඩක් ලැබෙන්නේ නැත. කුමන තරාතිරමක අයකු වරදක් කළත් එය හසුකර ගැනීමට මේ දත්ත පද්ධතිය හරහා පුළුවන. මේ රටේ ඉඩම් සම්බන්ධයෙන් තිබෙන අවුල්සහගත තත්ත්වය නැති කර ගැනීම මෙවන් දත්ත පද්ධතියකින් හැකිය. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් අනුමත වී ආධාර ලබාදෙන ව්‍යාපෘති දෙකෙන් සමාජ, ආර්ථික වශයෙන් සෑහෙන ප්‍රතිලාභ ලැබෙන බවද පැහැදිලිය.

ප්‍රශ්නය වන්නේ තවමත් මේ ගිවිසුමට අත්සන් නොකිරීමය. ලංකාව ගිවිසුමට ඉක්මනින් අත්සන් නොකළොත් එය අහෝසි වනු ඇත. එපමණක් නොව ලංකාව දැනටමත් මෙම ආධාරය ලැබීමට නුසුදුසු වී තිබේ. ලෝක බැංකු වර්ගීකරණයට අනුව ලංකාව ඉහළ මැදි ආදායම් ලබන කාණ්ඩයේ රටක් බවට පත්ව තිබීම එයට හේතුවය. පසුගිය ජූලි 1 වැනිදා ලෝක බැංකුව මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළේය. ඉහළ මධ්‍යම ආදායම් ලබන කාණ්ඩයේ රටවල් මෙම ආධාරය පමණක් නොව ලෝකයෙන් වෙනත් කිසිදු ආධාරයක් ලබන්නට සුදුසු වන්නේ නැත. ලෝක බැංකුව මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශ කරන විට මිලේනියම් චැලේන්ජ් ආයතන ලංකාවට අදාළ ආධාර මුදල අනුමතකර අවසන්ය. ආධාරයට අනුමැතිය දී ඇති නිසා එය තවමත් වලංගුය. ලංකාව අදාළ ගිවිසුමට අත්සන් නොකර ආධාර නොගෙන සිටියහොත් ආධාර සඳහා අවසන් අවස්ථාව බවට මෙය පත්වනු ඇත. අපේ ආදායම් මට්ටම් අනුව නැවත ආධාරවලට ඉල්ලුම් කිරීමට හැකියාවක් නැත.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් ආධාර ලබා ගැනීමෙන් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ආර්ථික කොරිඩෝවක් නිර්මාණය වන බවටත් ඒ කලාපයේ ඉඩම් ඇමෙරිකානුවන්ට අවශ්‍ය ආකාරයට මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙන බවට මත පළවී තිබේ. මේ හරහා අපේ ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය අහිමිවන බව තවත් මතයකි. ඇමෙරිකන් නීතිය මේ කලාපයේ බලපවත්වනු ඇතැයි තවත් මතයකි. මේ කාරණා කිසිවක් ආධාර මුදලට අදාළ ගිවිසුමේ කොතැනකවත් සඳහන් වන්නේ නැත. මේවා කවුරුන් හෝ සමාජ මාධ්‍ය හරහා මුදාහළ එකකි. මෙය හරියට සිගරට් කොටයක් ඇමසන් වනාන්තරයට විසි කළා හා සමාන වූවකි. මා දන්නා තරමින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමේ ආර්ථික කොරිඩෝවක් ගැන හෝ විදුලි දුම්රිය මාර්ගයක් සම්බන්ධව සඳහනක් නැත. ලංකාව සම්බන්ධයෙන් සකස් කළ භෞතික සැලැස්මක් තිබේ. එය සකසා ඇත්තේ ජාතික ඩිජිටල් සැලැසුම් දෙපාර්තමේන්තුවෙනි. ඉහතකී ආර්ථික කොරිඩෝව සහ විදුලි දුම්රිය මඟක් සම්බන්ධව එම සැලැස්මේ සඳහන්ය. මෙහි මුල් සැලැස්ම සැකසුවේ 2007 දීය. ලංකාව පුරා ප්‍රධාන නගර අතර සම්බන්ධතාව, ප්‍රවාහන සම්බන්ධතාව ආදිය පිළිබඳ සැලැස්මක් මෙහි සඳහන්ය. ඒ අනුව කොළඹ-ත්‍රිකුණාමලය, කොළඹ-යාපනය අධිවේගී දුම්රිය මාර්ග පිළිබඳ සඳහන් කර තිබේ. ඒ වගේම මන්නාරම හරහා ආසියානු කලාපයේ සැලැස්මට සම්බන්ධවන ආකාරයද එහි පැහැදිලිව පෙන්නුම් කර තිබේ. 2020-2050 දක්වා සැලැස්මේද මීට වඩා පුළුල් ලෙස මේ මාර්ග පද්ධතිය සම්බන්ධව සහ ආර්ථික කොරිඩෝව ගැන සඳහන්ය. මේවා මිලේනියම් චැලේන්ජ් ආධාර මුදලට අදාළ කතා නොවේ. ඒ වගේම ඇමෙරිකාව සම්බන්ධ කතාවක්ද නොවේ. අපේ රටේ සැලැසුම්කරණය හා සම්බන්ධ කතාවකි. මෙතැන ඇත්තේ කතාන්දර දෙකකි. මේවා පටලවාගත යුතු නැත.

කොළඹ-ත්‍රිකුණාමලය අතර පැය දෙකකින් ගමන් කළ හැකි දුම්රිය මඟක් ඉදිවන්නේ නම් එය ඉතා හොඳය. කොළඹ පමණක් දියුණු වී අනෙක් ප්‍රදේශ පහළට වැටී ඇත්තේ සම්බන්ධීකරණයේ දුර්වලතාවෙනි. එම දුර්වලතාව මග හැරෙන්නේ නම් අනෙක් ප්‍රදේශද දියුණු වනු ඇත. එනිසා ආර්ථික කොරිඩෝවක්, අධිවේගී දුම්රිය මාර්ග සම්බන්ධ යෝජනාවට මගේ විරුද්ධත්වයක් නැත. එහෙත් එම කාරණය මිලේනියම් චැලේන්ජ් ආධාර මුදලට එය සම්බන්ධකර ගැනීම වැරැදිය.

ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයට ලංකාව හැසිරවීමට මෙම ආධාරය දෙන බවටද මත පළවී තිබේ. මෙවන් ආධාර දෙන්නේ ඇමෙරිකාව පමණක් නොවේ. ජපානය යුරෝපා රටවල් මෙවන් ආධාර අපට ලබාදී තිබේ. මුලින් කී ආකාරයට ලෝකයේ රටවල් 30කට මිලේනියම් චැලේන්ජ් ආධාර ලබාදී තිබේ. ඒ අතර ආසියාවේ රටවල් 4 කි. මොංගෝලියාව සහ ඉන්දුනීසියාව දෙවැනි වරටත් මෙම ආධාරයට ඉල්ලුම් කර තිබේ. ඇමෙරිකානු බලය මේ රටවල ව්‍යාප්ත කළා නම් ඔවුන් දෙවැනි වරටත් මේ ආධාරය ඉල්ලා සිටීවිද? එනිසා පැතිර ඇති කතාවල සත්‍යතාවයක් තිබේයැයි මා සිතන්නේ නැත.

ආධාර වර්ග දෙකකි. සහන කොන්දේසි යටතේ ලැබෙන ණය ආධාර ඉන් එකකි. කිසිදු ආපසු ගෙවීමක් නැති ආධාර දෙවැන්නය. මිලේනියම් චැලේන්ජ් ආධාර අයත් වන්නේ කිසිදු ආපසු ගෙවීමක් නැති ආධාරවලටය. මේ ආධාර ලබා ඇති රටවල් 30ටම එය පොදුය. එහෙත් ව්‍යාපෘති නිසිලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ විවිධ අක්‍රමිකතා සිදුවූ රටවලට ආධාරය ආපසු ගෙවීමට සිදුවූ බවද අමතක නොකළ යුතුය. තමන්ගේ මලු පුරවා ගැනීමට යෑමෙන් ව්‍යාපෘති අසාර්ථක කරගත් රටවල් ආධාරය ආපසු ගෙව්වේය. එනිසා ලබාගන්නා ආධාරය නිසි ව්‍යාපෘතියට යොදවා එය වසර පහකින් සාර්ථකව අවසන් කිරීමේ බැඳීමක් තිබේ.

ණය, ආධාර ලබාගත් ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමේ ඉතිහාසයක් ලංකාව සතුය. බොහෝ විට අසාර්ථක වී ඇත්තේ අප්‍රිකානු රටවල් කීපයකය. වංචා දූෂණ ඉහළයාම, ආයතනික පහසුව නොමැති වීම, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නොමැතිවීම යනාදී ප්‍රශ්න රාශියක් නිසා ආධාර නැවත ගෙවීමට සිදුවුණි. වංචා දූෂණ යම් මට්ටමක පැවතියත් ලංකාව අප්‍රිකාවේ එම රටවල් තරමට පහළ වැටී නැත. ලංකාවේ පවත්නා වාතාවරණය යටතේ මේ ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ හැකියාව පවතින බව අපේ ඉතිහාසය අනුව කියන්නට පුළුවන.

සටහන :චමින්ද මුණසිංහ

No comments:

Ad
Powered by Blogger.