සජිත් පිල නොසන්සුන්: රනිල් හමුවත් මඟහරින ලකුණු!


ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම් දීම සඳහා ඉරිදා, එනම් හෙට (08) දිනයේදී තමන්ව හමුවීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතත් ඔහු ඊට සහභාගී නොවී මඟහැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 

තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති පක්ෂ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී නිවේදනය කළ අතර සජිත් ප්‍රේමදාස මහතා එම රැස්වීම ද මඟහැර තිබිණි. 

විශේෂයෙන් කණ්ඩායමක් වශයෙන් පිටත කටයුතු කිරීමේදී මොනවා කීවත් සජිත් ප්‍රේමදාස මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒවා කීමට නොයන බවත් අවසානයේ සිදුවන්නේ නායකයා ඉදිරියේ කීකරු ශිෂ්‍යයකු මෙන් හැසිරෙන සජිත් විසින් නායකයාගේ යෝජනා පිළිගැනීම බවත් ඉන් අනතුරුව සිදුවන්නේ සජිත් වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයින් අමාරුවේ වැටීම බවත් ඉතිහාස අත්දැකීම් අනුව හොඳින්ම දන්නා සජිත් පිලේ ප්‍රබලයින් ඒනිසා මෙම හමුව කෙසේ හෝ වැළැක්විය යුතු බව තීරණය කර ඇත. 

ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට තරයේ අවවාද කර ඇත්තේ මොනම හේතුවක් නිසාවත් හෙට දිනයේ රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට නොයන ලෙස බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

නායකයින්ට තැන් තැන්වල බැණුම්

මේ අතර තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව ඊයේ (06) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව සජිත් පාර්ශ්වයේ පසුපෙළ මැති ඇමතිවරුන් අතර දැඩි කැළඹීමක් හටගෙන ඇතැයි වාර්තා වේ. 

පක්ෂය තුළ අතිමහත් බහුතරය සිටින්නේ සජිත් සමඟ බවටත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින්නේ තුන් හතර දෙනෙකු පමණක් බවටත් සජිත් පාර්ශ්වයේ නායකයින් විසින් තමන් සමඟ දිවුරමින් කළ ප්‍රකාශ හේතුවෙන් ඔවුන් සමඟ එක්වූවා විනා තම තමන්ගේ දේශපාලන අනාගතය අනතුරේ දාගැනීමට තමන්ට අවශ්‍යතාවක් නොවුණු බව ඔවුන් එකිනෙකා සමඟ ප්‍රකාශ කර තිබේ. 

කිහිපදෙනා බැගින් තැන් තැන්වල එකතුවෙමින් සහ දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කරමින් ඔවුන් සාකච්ඡා කර ඇත්තේ සජිත් පිලේ නායකයින් විසින් තමන්ව පාවාදීමට ලක් කර ඇති බවකි. 

විශේෂයෙන් පක්ෂ නායකයා සූදානම්වන්නේ කුමකටදැයි සජිත් ප්‍රේමදාස මහතා හොඳින් දැන සිටියදීත් ඊයේ පැවති රැස්වීමට ඔහු සහ මංගල සමරවීර මහතා නොයා කාගේත් අප්‍රසාදයට ලක්ව සිටින මලික් සමරවික්‍රම සහ පහසුවෙන් ප්‍රහාරයට ලක්විය හැකි කබීර් හෂීම්ව පමණක් යැවීම ඉතාම ප්‍රශ්නකාරී බවත් ඔවුන් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම ඊයේ දිනයේදී කබීර් හෂීම් මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වීමත් කිරිඇල්ල විසින් කබීර්ගේ ඩීල් හෙළිකරමින් කළ චෝදනාවලට කබීර් කිසිදු පිළිතුරක් නොදීමත් ඔවුන් තුළ දැඩි කළකිරීමක් ඇති කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට සිටින්නේ තුන් දෙනෙකු පමණක් වී නම් සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ රැස්වීමට ගොස් කාගේත් ඇස්පනාපිටම එය ඔප්පු කර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් ඊයේ දිනයේදීම තහවුරු කරගැනීමට තිබුණු බවත් ඔවුන් සඳහන් කර තිබේ. එසේ කළ යුතු තැන එය නොකර, තමන් විවිධ රැස්වීම්වලට කැඳවීමත්, තමන් ලවා ලිපි අත්සන් කරවා ගැනීමත්, තමන් ලවා මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කරවා ගැනීමත් සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය එල්ල වී ඇති බව සඳහන්. 

සජිත්ව නායකත්වයට පත්කිරීමට උත්සාහ කළ දයාසිරි ජයසේකරට, ශිරාල් ලක්තිලකට, මෛත්‍රී ගුණරත්නට අත්වූ ඉරණම තමන්ට ද අත්කර ගැනිමට කිසිසේත්ම අවශ්‍ය නොමැති බව කතා වී ඇති ඔවුන් මින් ඉදිරියට සජිත් පාර්ශ්වයේ නායකයින්ගෙන් ද ප්‍රවේශම් විය යුතු බවට එකඟ වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. 

No comments:

Ad
Powered by Blogger.