ගෝඨාගේ ඉවෙන්ට්ස් වලින් මහින්දලා කැපෙයි: නඩුවෙන් ගෝඨා හිර වේ.


පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස දැනට නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල මහින්ද රාජපක්ෂට නිසි පිළිගැනීමක් නොලැබීම පිළිබඳව බිරිඳ ශිරන්ති රාජපක්ෂත්, නාමල් රාජපක්ෂ ඇතුළු ඔහුගේ පුතුන් තිදෙනාත් බලවත් සේ කනස්සල්ලට පත්ව සිටින බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් ගෝඨාභය ප්‍රචාරක සැලසුම් කරුවන්ට දොස්පවරා ඇති බවත් රාජපක්ෂ පවුලේ ආරංචිමාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බව අවධාරණය කරමින් වුවද, මේ වන විට ජනාධිපතිවරණය දක්වා හිදැස් පිරවීමට සිදුකෙරෙන ‘ඉවෙන්ට්ස්’ තුල එබවක් ප්‍රකාශ නොවීම මෙසේ පවුලේ විරෝධයට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂත්, අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂත් සම සමව ඉස්මතු කෙරෙන ප්‍රචාරක සැලැස්මක් පොහොට්ටු පක්ෂය විසින් සැලසුම් කර තිබී ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත්මඟ’ විශ්‍රාමික හමුදා කණ්ඩායම් රටපුරා ප්‍රදර්ශනය කර තිබු ඇතැම් පෝස්ටර් හා කටවුට්වල මහින්ද රාජපක්ෂට එතරම් ප්‍රමුඛතාවයක් ලැබී නොතිබිණ.

කෞතුකාගාර නඩුවෙන් ගෝඨා හිර වෙන ලකුණු

මේ අතර ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා සමබන්ධයෙන් වන නඩුව ඉතාමත් බලපතළ තත්ත්වයේ පවතින බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ නිසා මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය කටයුතු කරමින් සිටින්නේ මෙම නඩු විභාගයට මුහුණදී තම නිර්දෝශී භාවය ඔප්පු කිරීමට නොව නඩුව විභාගයට ගැනීම අත්හිටුවීමට හෝ හැකිතාක් ප්‍රමාද කිරීමට බව ද සඳහන්ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම්, විවිධ හේතුමත විදෙස්ගත වීම්, අසනීප වීම් ඇතුළු නොයෙක් හේතු ඉදිරිපත් කරමින් නඩුව ප්‍රමාද කිරීමට කළ හැකි සියලුම දේවල් මේ වනවිට සිදුකර අවසන් හෙයින් ඔක්තෝබර් 15 වනදා සිට එය විභාගයට ගැනීම නතර කර ගැනීමට මේ වන තෙක් සමත් වී නොමැත.

කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ මිල අධිකම නීතිවේදීන් රැසකගේ සහයෝගය මේ වෙනුවෙන් ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

No comments:

Ad
Powered by Blogger.