හරීන් නොදන්නා 'රනිල් - සජිත්' ඩීල් එකේ ඉතිහාසය: සජිත් පුතුට අම්මාගෙන් අවවාදයක්!


රනිල් වික්‍රමසිංහ මහතා කිසිවිටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව තමන් දන්නා බවත් ඒ මහතා මේ දිනවල කරන වැඩ නිසා සිදුවන්නේ සජිත් ප්‍රේමදාස මහතාව තව තවත් පිම්බීම බවත් ඒ අනුව රනිල් ලොක්කා සජිත් සමඟ ඩීල් එකක් දාගෙන ඇත්දෝයි තමන්ට සැකයක් පවතින බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබිණි. 

ඔහු මේ බව පවසා තිබුණේ ඊයේ (07) කොළඹදී පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පරාජයට පත් අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි. 

දේශපාලනයේ කෙටි මාර්ග පමණක් සොයන, තමන්ට වාසි දේ මිස අවාසි දේ අමතක කරන, සමස්තයක් ලෙස ඉතිහාසය හදාරන්නේ නැති හරීන් ප්‍රනාන්දු වැන්නන් නොදන්නවා හෝ අමතක කරනවා වුවත් රනිල් - සජිත් ඩීල් තිබුණේ අද ඊයේක සිට නොවේ. 

සජිත්ගේ සටන් සහ ඩීල් 

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාගැනීම සඳහා සටන් වැදුණේ අද ඊයේක සිට නොවන බව ඔහුගේ දේශපාලනය ගැන ටිකක් හෝ දන්නා ඕනෑම කෙනෙකුට මතක කරුණකි. එහෙත් ඒ සටන් අවසන් වූයේ කෙසේදැයි බොහෝ අයට මතක නැති සෙයකි. 

සජිත්ගේ සටන් හැම එකක්ම අවසාන වූයේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඩීල් එකකට එළඹ ලැබෙන දෙයකින් සැනසීමෙනි. එහෙත් ඒ සෑම අවස්ථාකවදීම අද හරීන් රඟපාන චරිතය රඟපෑ පුද්ගලයාට සිදුවූයේ පක්ෂයෙන් එළියට වීසි වීමටය. 

ඇත්තෙන්ම නවකයකු වන හරීන්ට අද සජිත් වෙනුවෙන් මේ භූමිකාව ඉටු කරන්නට සිදුව ඇත්තේ මීට පෙර ඔතැන සිටි දයාසිරි ජයසේකරලා, මෛත්‍රී ගුණරත්නලා, ශිරාල් ලක්තිලකලා අද එජාපයේ නැති නිසාය. ඒ හැම කෙනෙකුටම පක්ෂයෙන් ඉවතට වීසි වෙන්නට සිදුවුණු නිසාය. ඔවුන් බේරා ගැනීමට සජිත් කිසිවක්ම නොකළ නිසාය. 

හරීන් උගත යුතු පාඩම 

එහෙයින් රනිල් - සජිත් ඩීල් එකක් ගැන තමන්ට දැනෙන්නේ නම් හරීන් වහාම සිදුකළ යුතුව ඇත්තේ වේදිකා ගාණේ පක්ෂ නායකත්වයට ඔලොක්කු දැමීම නොව තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීමය. මන්දයත් ඩීල් එක ස්ථිර වූ සැණින් හරීන් වැනි අයට කුණු කූඩයට වීසි වන්නට සිදුවන නිසාය. 

හරීන්ලා වැනි අය කුණු කූඩයට වීසිවෙන මොහොතේ සජිත් ඇසක් හෝ හැර නොබලන බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබෙන නිසාය. 

හරීන් ප්‍රනාන්දු දේශපාලනය තුළ යම් ගමනක් යා හැකි චරිතයකි. නොයෙකුත් ආශාවන් හඹා යමින් එය කෙටිකලකින්ම කෙළවර කරගන්නේ නම් ඛේදවාචකයකි. ඉතිහාසය ඉගෙන ගත යුත්තේ ඒකටය. 


සජිත් පුතුට අම්මාගෙන් අවවාදයක්

මේ අතර මොනම හේතුවක් නිසාවත් එක්සත් ජාතික පක්ෂය හැර නොයන ලෙසත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතාගේ මව විසින් ඔහුට නැවතත් අවවාද කර ඇතැයි වාර්තා වේ. 

සජිත්ගේ සම්පූර්ණ දේශපාලන ගමන පසුපස හිඳිමින් සියල්ල කළමනාකාරණය කරන්නේ ඔහුගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය විසිනි. දේශපාලනයේ මෙන්ම ඉන් පිටත් ඔහුගේ ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගැනෙන්නේ ඇයට වුවමනා ආකාරයෙන් ඇගේ උපදෙස් මතය. 

මුල්ම දවසේ අවවාද දෙක

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීම සඳහා සජිත්ව අතින් අල්ලාගෙන සිරිකොතට කැඳවාගෙන ආවේත් මුදල් ගෙවා සාමාජික කාඩ්පත රැගෙන දුන්නේත් අම්මා විසිනි. වසර 20කට පමණ පෙර ඇය එසේ ඔහුට පක්ෂ සාමාජිකත්වය රැගෙන දුන් දිනයේ ද අවවාද දෙකක් දුන්නාය. එකක් නම් ඔහුගේ පියා ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්, රුධිරය හළා රැකගත් පක්ෂය කිසිදා හැර නොයන ලෙසය. දෙවැන්න නම් ඔහුගේ පියාට අසීරුතම මොහොතේ ඔහුව තනි නොකළ, ඔහුව රැකගත් රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කරගන්නා ලෙසය. 

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා ගෙනගිය සටනට හේමා ප්‍රේමදාස මහත්මියගේ පූර්ණ ආශිර්වාදය සහ අනුබලය ලැබී තිබිණි. 

එහෙත් පසුගිය 06 වනදා රනිල් වික්‍රමසිංහ මහතා තමන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇතිවූ තත්වය සහ සජිත්ව වෙනම පක්ෂයකින් හෝ ඉදිරිපත් කරන බවට ඔහුගේ සගයින් කරන ලද ප්‍රකාශ සලකා බලා ඇය වහාම තම පුතු කැඳවා පරණ අවවාද දෙකම යළි ලබාදී ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය. 

සජිත්ගේ ඇතැම් දේශපාලන සගයින් ඔහුට පක්ෂය හැරයන ලෙස උනන්දු කළත් ඒවාට හසු නොවන ලෙස අවවාද කර ඇති හේමා ප්‍රේමදාස මහත්මිය දෝෂාභියෝගය මොහොතේ රණසිංහ ප්‍රේමදාස මහතාව බේරාගැනීම සඳහා කටයුතු කළ එකම පුද්ගලයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව කටයුතු නොකරන ලෙස ද ඔහුට අවවාද කර තිබේ. 

ළඟම ඉන්නා අයගෙන් ප්‍රවේශම් වෙන්න.

විශේෂයෙන් ඔහුට දැන් ළංව සිටින පුද්ගලයින් ගැන විමසිලිමත්ව සිටින ලෙස උපදෙස් ලබාදී ඇති මව, ඔවුන් කිසිවෙකුත් සජිත්ට ආදරය නිසා ඔහුට ළංවී සිටින අය නොවන හෙයින් ඉතාම කල්පනාවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. 


කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස යනු අම්මාගේ වචනයට පිටින් කටයුතු කරන්නෙකු නොවන බව ඔහු ගැන දන්නෝ හොඳින්ම දන්නා කාරණයකි. එය රනිල් වික්‍රමසිංහ මහතා ද හොඳින්ම දනී. 


[LNW]

No comments:

Ad
Powered by Blogger.