කබීර්-මලික් යළිත් කරූ ලඟ වැද වැටෙයි: කුජීත වී නැවත එළි බසියි!

සුගතදාස ගෘහස්ථ පිටියේ ඊ‌යේ (07) පැවැති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ රැස්වීමෙන් පසු එම පිලේ ප්‍රබලයන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් යළිත් වතාවක් කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට ‌ගොස් තිබේ.

ඒ අනුව ඊ‌යේ සවස කතානායකවරයාගේ නිල නිවෙසට පැමිණි කබීර්-මලික් ඇමැතිවරුන් කතානායකවරයා සමග සාකච්ජා කිරීමට කටයුතු ‌කොට ඇත.

මෙහිදී කරු ජයසූරිය මහතාගේ සහාය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා ‌දෙන ‌ලෙසට ‌මේ ‌‌දෙදෙනා කතානායකවරයාගෙන් යළිත් වතාවක් බැගෑපත් ඉල්ලීමක් කර තිබේ.

නමුත් ඉකුත් අවසාථාවේදී ‌මෙන්ම ‌මෙවරත් කතානායකවරයා අවධාරණය කර ඇත්‌‌තේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ‌නොමැතිව කිසිසේත්ම සිය සහාය කිසිවකුටත් ලබා දිය ‌නොහැකි බවකි. එමෙන්ම පක්ෂයේ ඉතිහාසය පිළිබදව ‌මෙහිදී දීර්ඝ විස්තරයක් සිදු කර ඇති කතානායකවරයා තමන්ද වරෙක පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු තරන්නට ‌ගොස් මුහුණ දීමට සිදුවූ අමිහිරි අත්දැකීම්ද, අවසානයේදී තමන් පසුපස සිටි ඇතැමුන් තමන් හුදකලා කර ඉවත්ව ගිය ආකාරයද පැහැදිලි කර තිබේ.

එමනිසා පක්ෂය ‌බෙදන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු ‌නොකරන ‌ලෙසත්, පක්ෂය ‌දෙකඩ කිරීම සදහා විවධ බලවේග තිරය පිටුපස ක්‍රියාත්මක වන බවත් ‌මලික්-කබීර් ඇමැතිවරුන්ට කතානායකවරයා ‌පෙන්වා දී තිබේ.

ඒ අනුව ‌මෙම සාකච්ජාවද කිසිදු තීරණයකින් ‌තොරව අවසන් වී ඇත.

තවත් රැස්වීම හතරක්!

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා තවත් රැස්වීම් හතරක් සංවිධානය කිරීමට සජිත් පාර්ශවය සැලසුම් කර තිබේ. 

ඒ අනුව මාතලේ,පුත්තලම,රත්නපුර සහ මොණරාගල යන ප්‍රදේශයන්හි එම රැස්වීම් පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා  තෝරාගැනීමේ අර්බුදයේ උච්චතම අවස්ථාවට දැන් මුහුණ දී සිටින අතර පසුගිය සිකුරාදා පැවති එජාප ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ රැස්වීමේදී අගමැතිවරයා අවධාරණය කර තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත්වන බවයි. 

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂක අර්බුදය විසඳා ගන්නා තෙක් රැස්වීම් පැවැත්වීමෙන් හා ඒ ගැන විවිධ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස අගමැතිවරයා සිය කණ්ඩායම දැනුවත් කර තිබුණද සජිත් පාර්ශවය එය මායිම් කර නොමැති බව පෙනෙන්නට තිබේ. 

එහෙත් පසුගිය සිකුරාදා රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණයෙන් පසු සජිත් පාර්ශවයද තවදුරටත් සිය තීන්දුවේම එළඹ සිටීමට තීරණය කර ඇති බව ඊයේ (07) පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී අවධාරණය කෙරුණි. 

බදුල්ල, මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශයන්හි සජිත් පාර්ශවය රැස්වීම් සංවිධානය කළ නමුත් ඊට අගමැතිවරයා යට වී ඇති බවක් පෙනෙන්නට නොමැති හෙයින් තවදුරටත් රැස්වීම් සංවිධානය කිරීමට ඔවුන් කටයුතු කරමින් හිඳියි. 


මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකාච්ජාව අනිද්දා (09) පැවැත්වීමට නියමිත අතර එහිදී අගමැතිවරයා සිය තීරණය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමට නියමිත බව සඳහන්. 

No comments:

Ad
Powered by Blogger.