සැකයි: ගෝඨාගේ පුරවැසිකම ගැන සම්පූර්ණ තීන්දුව සතියක් තිස්සේ තවමත් නෑ!


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සහ ගාමිණී වියන්ගොඩ මහතා විසින් ගොනු කරනු ලැබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කරන බවට ප්‍රකාශයට පත්කර සතියක් ගතව ඇතත් ඊට හේතු දක්වමින් නිකුත් කළ යුතු සම්පූර්ණ තීන්දුව මෙතෙක් අභියාචනාධිකරණය විසින් ලබාදී නොමැත. 

දින තුනක් තිස්සේ පැවති පෙත්සම් විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔක්තෝබර් 04 වන සිකුරාදා පස්වරු 6.00ටය. ඒ ඊළඟ සඳුදා දිනට යෙදී තිබුණු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අවහිරයක් නොවනු පිණිස බව පැහැදිලිය. 

එදින පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ තීන්දුව සඳහා කරුණු දැක්වීමට කාලවේලාව මඳ බැවින් ඔක්තෝබර් 07 වනදා එහි සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. 

එහෙත් මේ දක්වාත් එම සම්පූර්ණ තීන්දුව ලබාදීමට ඔවුන් ක්‍රියාකර නැත. පෙත්සම විභාග කෙරුණේ දින දෙක හමාරකි. ලිඛිත දේශන භාරදීම සඳහා 04 වනදා පස්වරු 03.30 දක්වා අවස්ථාව ලබාදෙන ලදී. ඉන් පැය දෙක හමාරක් තුළ පෙත්සම ප්‍රතික්ෂේප කරන බව පැවසීමට හැකිවූ අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු විනිසුරු මඬුල්ලට සතියක් තිස්සේත් ඊට හේතු දැක්වීමට නොහැකි වීම පසුපස කුමන්ත්‍රණයක් ඇතිද යන්න පිළිබඳව නීති ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව තිබේ. 

විශේෂයෙන් තීන්දුව සාධාරණීකරණය සඳහා ඔවුන් කරුණු සොයන්නේ දැන්ද යන සාධාරණ ප්‍රශ්නයක් මෙහිදී පැනනැඟී ඇත. 

මෙම සම්පූර්ණ තීන්දුව නොමැතිව මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති අතර එසේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම තීන්දුව අභියෝගයට ලක් කිරීම ප්‍රමාද කිරීමේ අරමුණින්ම මෙසේ අභියාචනාධිකරණය සිය සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත් නොකර සිටින්නේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුවේ. 

අනෙක් අතින් පෙත්සමෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් තර්ක කළේ ජනාධිපතිවරයාගේ විධායක බලය සියල්ල අභිබවා යන්නේය යන පදනමෙහි සිටගනිමිනි. මෙය අතිශයින් ප්‍රශ්නකාරී තර්කයකි. එසේම ඊටත් එහා තත්වය දරුණු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු රැළියේදීම තමන් ජනාධිපති තනතුරට පත්වූ විගස විධායක බලය උපයෝගී කරගනිමින් යම් චූදිතයින් පිරිසක් "නිදොස් කොට නිදහස් කරන බව" පැවසීමත් සමඟය. 

මෙහිදී යමෙකු නිදොස් කොට නිදහස් කිරීමේ බලය ඇත්තේ අධිකරණයටම පමණි. ජනාධිපතිවරයාට ඊට කිසිදු බලයක් නොමැත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වන්නටත් පෙර සිටම අධිකරණය සතු බලයත් තමන් විසින් පවරාගන්නා බවට තර්ජනය කර තිබියදී විධායක බලය සියල්ල අභිබවන්නේද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විසඳිය යුතුම තත්වයක් නිර්මාණය වි ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. 

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ පෙත්සම් විභාග කිරීමේදී අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ද එම නඩු කටයුතුවලින් ඉල්ලා අස්වූ අතීතයක් අපට තිබේ. 

එහෙයින් සමස්ත අධිකරණ පද්ධතියටම බරපතළ අපවාදයක් එක් නොකර වහාම මෙම සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතුව ඇති අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම අභියෝගයට ලක් කළ යුතු ද වේ. 

[LNW]

No comments:

Ad
Powered by Blogger.