වෛද්‍ය සහතික කතාවට මංගලගෙන් ප්‍රතිප්‍රහාර: ගම්මන්පිල යළිත් ගෝඨාව නාවයි.


සජිත් ප්‍රේමදාස මහතාගේ මානසික සෞඛ්‍ය පරීක්ෂා කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මඩ ගැසීමේ අරමුණින් කළත් යෝජනාවක් වශයෙන් එය ඉතා හොඳ බවත් ලෝකයේ දියුණු රටවල කෙරෙන ආකාරයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින් සිය ශාරීරික සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් එය ජනතාවට සාධාරණය ඉටු කිරීමක් බවත් ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

ගම්මන්පිල මහතා පවසන ආකාරයට සජිත් ප්‍රේමදාස මහතාට පිස්සුවක් ඇත්නම් ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වැඩකිරීමේ පිස්සුව පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

"සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වෛද්‍ය සහතික ඉල්ලන ප්‍රකාශයක් මම දැක්කා, සජිත් ප්‍රේමදාස මහතාට පිස්සුවක් තියෙනවා නම් තියෙන්නෙ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩකිරීමේ පිස්සුව විතරයි. උදය ගම්මන්පිල මෙම ඉල්ලීම කරන්නෙ මඩගැසීමේ චේතනාවෙන් වුණත් ඒක ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. ලෝකයේ බොහෝ රටවල ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයින් රටක් පාලනය කිරීමේ සෞඛ්‍ය සම්පන්න භාවය තියෙනවාද නැද්ද කියන එක දැනගන්න ඒ රටේ ජනතාව ඒ අයගේ වෛද්‍ය සහතික ඉල්ලා සිටිනවා. 

අන්න ඒ නිසා මේ වැදගත් යෝජනාව අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලුම අපේක්ෂකවරු තමන්ගේ වෛද්‍ය සහතිකය ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් පියවරක්. 

මොකද, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක්. එතුමා අපි දැක්කා මීට මාසයකට ඉස්සෙල්ලා හෘද සැත්කමක් කරපු කෙනෙක්. අපි එතුමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නමුත් එතුමාට මේ රටේ ජනාධිපති වෙන්න තරම් සෞඛ්‍ය සම්පන්න බවක් තියෙනවාද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙනවා. 

මොකද අපි දැක්කා පසුගියදා ගෝල්ෆේස් පිට්ටනියේදි ලංකා ඉතිහාසයේ පවත්වපු විශාලතම ජන රැළියට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණු වෙලාවෙ, ඒ සෙනඟ දැකපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එදා රෑම වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යළි වතාවක් ගියා. ගෝඨාභය කියන්නෙ හැමදාම අභියෝග ඉදිරියේ පැනලා ගියපු කෙනෙක්. ඇත්තෙන්ම කියනවා නම් තරුණ කාලෙත් අපට මතකයි 1991 ජුලි මාසෙ 20 වෙනිදා එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් ගෝඨාභය විශ්‍රාම යන්න අවසර ඉල්ලන්නෙත් යුද්ධය තිබුණු අමාරුම අවස්ථාවෙ. 

ජුලි මාසෙ 10 වෙනිදා තමා අලිමංකඩ මහා යුද්ධය ඇතිවුණේ. ඒ යුද්ධයෙන් පළවෙනි පැය 48දිම අපේ වීරෝදාර සෙබළු 200කට වඩා ජීවිත අහිමි වුණා. නමුත් ඒ වෙලාවෙ යුධ පිටියෙ හිටපු ගෝඨාභය කළේ දවස් දහයක් යන්නත් ඉස්සෙල්ලා එතුමාගෙ විශ්‍රාම යාමේ ලේඛන දීලා යුද්ධෙන් අයින් වුණා, අයින් වුණා විතරක් නෙවෙයි තමන්ගේ ශ්‍රී ලංකාවේ පුරවැසිකමත් කුණු කූඩයට දාලා ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවෙ පුරවැසිකම අරගෙන අන්තිමට ලංකාවට ආවෙ 2005දි, මහින්ද රාජපක්ෂ අයියා ජනාධිපති වුණායින් පස්සෙ විතරයි. 

එහෙම නම් මේවගේ තරුණ වියේදිත් ප්‍රශ්නවලින් පැනලා ගියපු ගෝඨාභය රාජපක්ෂ අද 70 වියේදී මේ තියන සෞඛ්‍ය තත්වය එක්ක ජනාධිපතිවරයෙක් වශයෙන් නෙවෙයි සාමාන්‍ය නිලධාරියෙක් වශයෙන්වත් කටයුතු කරන්නට සුදුසුකම්, පුළුවන්කම්, සෞඛ්‍ය සම්පන්නකම් තියෙනවාද කියලා අපි ප්‍රශ්න කරන එක සාධාරණයි. ඒනිසා මම ස්තූතිවන්ත වෙනවා ගම්මන්පිල මන්ත්‍රීවරයාට ඒ යෝජනාව අනුව ඉදිරිපත් වෙලා ඉන්න අපෙක්ෂකයින් 35 දෙනාටම මම ඉල්ලීමක් කරනවා තමන්ගේ වෛද්‍ය සහතික ප්‍රසිද්ධ කරන්න කියලා, ජනතාව දැනුවත් කරන්න කියලා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය අරඹමින් පැවසුවේ මඩගසා ගැනීම් වෙනුවට ප්‍රතිපත්ති මත පදනම් වූ මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි. නමුත් මඩගැසීම හැර වෙන යමක් නොදන්නා ගම්මන්පිලලා ලැබෙන හැම අවස්ථාවකදීම කළේ මඩ තලි පිටින් කාට හෝ ගැසීමයි. මේ අවස්ථාවේදී මංගල සමරවීර මහතාගේ පිළිතුර අනුව ගම්මන්පිල සජිත්ගේ ඔළුවේ හැළිමට ගිය මඩ බාල්දිය දැන් ගෝඨාගේ ඔළුවේම හැළී තිබේ. 

මේ, ගම්මන්පිලලා ගෝඨාභය රාජපක්ෂ මහතාට කරන උදව් ය. 

[LNW]

No comments:

Ad
Powered by Blogger.