ශ්‍රීලනිපෙන් ආ අයට කැපිලි: පොහොට්ටු මණ්ඩලේ කචල්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මන්ත්‍රීවරුන්ට හැඳි දෙකකින් බෙදන ප්‍රතිපත්තියක් ඇති බවත් ඒ අනුව පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇති බවත් විමල් වීරවංශ මහතාට අයත් ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. 

තමන් එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුව පිහිටුවීමට හවුල් වීම නිසා වෙනස්කම් කිරීම අසාධාරණ බව චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කර ඇති බවයි එහි සඳහන් වන්නේ. 

චන්දිම වීරක්කොඩි මහතා යහපාලන රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අතර 2018 විශ්වාසභංගයේදී ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්විය. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ සාමාජිකයකු වශයෙනි. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් බලමණ්ඩලයේ කටයුතු සඳහා චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගැනීමට රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා දැඩි විරෝධයක් පළ කර ඇති අතර ගාල්ලේ පැවැත්වෙන පොහොට්ටු රැස්වීමකදී මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ට ප්‍රසිද්ධියේ දණගසා වැඳ සමාව ගන්නේ නම් පමණක් ඔහුව සම්බන්ධ කරගත හැකි බව ඔවුන් පසුගිය ජුලි මාසයේදීත් ප්‍රකාශ කර තිබුණු බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.  

2018 වසරේදී ශ්‍රීලනිපයේ සිට පොහොට්ටුවට එක්වූ මන්ත්‍රීවරුන්ටත් ඔවුන් සලකන්නේ මේ ආකාරයෙන් නම් ජනාධිපතිවරණය ආසන්නයේ එක්වීමට බලාසිටින අයට කුමන ආකාරයෙන් සලකයිද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මන්ත්‍රීධුර ආරක්ෂා කරගැනීමේ බලාපොරොත්තුවෙන් පොහොට්ටුවට එක්වීමට ගියත් මීළඟ මැතිවරණවලදී මනාප නොදී ඔවුන්ව පරාජයට පත් කිරීමට පොහොට්ටු සංවිධායකයින් අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇති බවයි පෙනී යන්නේ.

[LNW]

No comments:

Ad
Powered by Blogger.