විස්මිත වාර්ථාවක්: රාජපක්ෂගේ ණය යහපාලනය ගෙවා අවසන්!


යහපාලන ආණ්ඩුව බලයට පත්වී 2016 වසරේ සිට ලබාගත් විදේශ ණයවලින් රාජපක්ෂ පාලන සාමය විසින් රටට උරුම කර තිබූ ණය කන්ද ගෙවා අවසන් කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි. 

2005 වසරේ රාජපක්ෂ ආණ්ඩුව පිහිටුවන විට ලංකාවේ ඒකපුද්ගල ණය බර රුපියල් 113,131 ක්ව පැවති අතර 2015 ඔවුන් බලය අතහැර යන විට එය  355,708 දක්වා ඉහළ ගොස් තිබූ බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. 

2007 වසර තෙක් ලංකාවේ බොහෝ සංවර්ධන ණය සහන පොළියට ලබාගත් ඒවා වූ නමුත් 2007 සිට රාජපක්ෂ රජය වැඩි පොළියට ජාත්‍යන්තර වෙළඳපොළෙන් වාණිජ ණය ගැනීමේ අලුත් සෙල්ලමක්  පටන්ගත් බව ඔහු පවසයි. 
 
"එහි කූඨප්‍රාප්තිය ලැබූ 2013 දී රාජපක්ෂ ආණ්ඩුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවට 8.9% ක ගිනි පොළියට ඩොලර් මිලියන 750 ක විදේශ ණය ගන්න උපදෙස් දුන්නා. එකල සාමාන්‍ය ජාත්‍යන්තර ණය ගැනීම් පොළී ප්‍රතිශතය 1.3% ක් වුණා.  ලබා දුන් ආඥාව ප්‍රතික්ෂේප කළ සිවිල් සේවා නිලධාරියෙක් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපතිට ඉල්ලා අස්වෙන්න බලකරලා ඔහු වෙනුවට භාණ්ඩාගාර ලේකම්ගේ පුද්ගලික හිතවතියක් පත්කර ගත්තා."

වගකීම් විරහිත ආර්ථික කළමනාකරණය එතැනින් නොනැවතුණු අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ ඉහළ පොළියට ණය ලබාගැනීමේ අනවරත ක්‍රියාදාමයේ රජය යෙදෙද්දී රට තුළ රාජ්‍ය බදු ආදායම කඩාවැටුණු බවයි මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ. 

"2005 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13.7% ක්. 2014 වන විට එය 10.1% ක් වූ අතර, ලෝකයේ අඩුම බදු ආදායම් ප්‍රතිශතයක්. එහි ප්‍රතිඵලයක් තමයි දිගුකාලීන වර්ධනයේ අත්‍යවශ්‍ය සාධක විදිහට සලකන සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් කපාදැමීම. 2014 දී රාජ්‍ය වියදමෙන් 24% ක ප්‍රමාණයක් වන රුපියල් බිලියන 436 ක් වැයකර තිබුණෙ ණය පොළී ගෙවන්න. තවමත් පවතින එම ණය කන්දේ වැඩි බරක් වෙන විදේශ ණය පොළී ගෙවීමට අද වන විට රජයේ වියදමින් 31% ක් වැයවෙනවා. රජයේ සේවක වැටුප් ගෙවීමටත්, රෝහල් පවත්වාගෙන යාමටත්, විදේශ ණය ගෙවීමටත්, තවතවත් විදේශ ණය ගන්න අපට සිදුවුණා. නමුත් අප රජය බලයට පත්වූ පසු 2016 සිට ලබාගත් සියලු විදේශ ණය අප මේ වන විටත් ගෙවා හමාර බව ජනතාව දැනගත යුතුයි."
 
එවැනි ඉතා අසීරු තත්ත්වයක සිට යහපාලන ආණ්ඩුව 2015 බලය පිහිටුවූදා සිට අද වන තෙක් උද්ධමනය මනාව පාලනය කර තිබීමත්, වෙළඳපොළේ බඩු භාණ්ඩවල මිල එදාටත් වඩා අඩු මට්ටමක අද පැවතීමත් යන කරුණු මඟින් පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි. 


No comments:

Ad
Powered by Blogger.