ගෝඨාගේ නීතීඥ අලි සබ්‍රිට පොහොට්ටුවෙන් දැඩි විරෝධයක්!


පොහොට්ටුවේ ප්‍රධාන නීති උපදේශකවරයා සහ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරෙකු වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් පොහොට්ටුව අන්තවාදීන්ගෙන් පිරුණු පක්ෂයක් බවත් සාෆි නාටකය පොහොට්ටුවේ නිර්මාණයක් බවත් facebook සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශිතව පිළිගැනීම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්වී තිබෙන අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන තුළින්ම දැඩි විරෝධයක් ද අලි සබ්‍රි මහතා වෙත එල්ල වී තිබෙන බව වාර්තා වේ. 

සාෆි නාටකය පසුපස ගෝඨාභයගේ වියත්මග කුරුණෑගල මෙහෙයවන කණ්ඩායම වන කුරුණෑගල සිංහල වෙළඳ සංගමය සිටීමත් ප්‍රකට පොහොට්ටු ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය චන්න ජයසුමන, විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ⁣වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ අතුරලියේ රතන හිමි යන අය සිටීම තුල එය කාගේ වුවමනාවට සිදුවූ කුමන්ත්‍රණයක් දැයි ඉතාම පැහැදිලි වුවද පොහොට්ටුවට සම්බන්ධ ප්‍රබල හා වගකිවයුතු පුද්ගලයෙකු එය ප්‍රසිද්ධියේ ප්‍රකාශිතව පිළිගත් මුල් අවස්ථාව මෙය වේ. 

කෙසේ වෙතත් මොහොමඩ් අලි සබ්රි විසින් සාෆි නාඩගම ක්‍රියාත්මක වන කාල වකවානුවේදී එයට විරුද්ධව ෆේස්බුක් හරහා පලකරන ලද මත සමග ඔහුගේ මෙම පිළිගැනීම ඉතා හොඳින් ගැලපෙන බව එම අතීත facebook post නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවම පෙනී යන කරුණකි. එනම් අලි සබ්රි මුල සිටම සාෆි නාඩගම පොහොට්ටුවේ නිර්මාණයක් බව දැන සිටියා පමණක් නොව එයට දිගින් දිගටම විරුද්ධ වූ අයෙක් බව පෙනේ. 

උදය ගම්මන්පිලගේ පිවිතුරු  හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද විසින් මෑතකදී සිදුකරන ලද අන්ත ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ඊයේ සවස පැවති පොහොට්ටු අභ්‍යන්තර ප්‍රබලයින්ගේ සාකච්ඡාවකදී ඔහුට තමා දරණ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී ජනාධිපතිවරණය නිමවනතුරු පාඩුවේ සිටින්නට බලකෙරී ඇති බවද වාර්තා වේ. 

මෙම සාකච්ඡාවේදී අලි සබ්රි මධුමාධවට එරෙහිව දැඩිව දෝෂාරෝපණය කර ඇති අතර ඔහුට එක්කෝ ගෞරවාන්විතව ඉල්ලා අස්වීම හෝ නැත්නම් සියලු තනතුරු වලින් පහකොට පොහොට්ටුවෙන් එලියට දමනු ලැබීම යන විකල්ප දෙකක් ලබාදී ඇති බව පැවසේ. මේ මොහොතේ මධුමාධව ඉතා හැගීම්බරව අදහස් දක්වා ඇති නමුත් ඔහුගේ සහයට කිසිවෙකු කතා නොකිරීම මත කඳුළු පිරි දෙනෙතින් යුතුව එතැනින් පිටවී යාමට ඔහුට සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් අලි සබ්රි විසින් ජයග්‍රාහී ලෙස facebook සටහනක්ද තබා ඇති අතර ඇතැම් අය මධුමාධව එළවා දැමීම පිළිබඳව ඔහුට විශේෂයෙන් ස්තූති කර තිබීමද දක්නට ලැබුණි. 

කෙසේ වෙතත් සාෆි නාඩගම පොහොට්ටුවේ නිර්මාණයක් බව අලි සබ්රි විසින් පිළිගැනීමත් සමගම ඒ සම්බන්ධයෙන් සහ මධුමාධව සම්බන්ධයෙන් අලි සබ්රිගේ ක්‍රියා කළාපය පිළිබඳව සිංහල ජාතිවාදී පොහොට්ටු කණ්ඩායම් වෙතින් බරපතළ විවෙිචන එල්ල වෙමින් තිබේ. 

පොහොට්ටුව තවදුරටත් සිංහල උත්තමවාදී දේශපාලන වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේද නොකරන්නේද යන්න මෙහිදී පොහොට්ටුවේ ජාතිවාදී කණ්ඩායම් විසින් දැඩි ලෙස ප්‍රශ්න කරන බව පෙනේ.

සිංහල ජාතිය වෙනුවෙන් අදහස් දැක්වූ මධුමාධව අරවින්ද වැනි ජාතියට ආගමට ආදරය කරන දේශපාලනඥයෙකු විජාතිකයෙකුගේ, අන්‍යාගමිකයකුගේ මැදිහත් වීම මත පොහොට්ටුවෙන් එළවා දැමීම ඔවුන්ගේ දැඩි කෝපයට හේතු වී ඇති අතර, මෙය නොනවතින සටනක් බව අලි සබ්රි සඳහන් කිරීම හේතුවෙන් ඊළඟට ජාතියට ආගමට ආදරය කිරීම මත පොහොට්ටුවෙන් එළවා දැමෙන්නේ කවුරුන්දැයි ඔවුන් දැඩි ලෙස ප්‍රශ්න කරන බව වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

මේ අනුව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ නායකත්වය තුලද අලි සබ්රි කෙරෙහි පැවැති ආකල්පය සැළකිය යුතු අන්දමින් වෙනස්වී ඇති අතර ඒ හරහා පොහොට්ටුව බලයට පත්වීමත් සමඟ තමාට ලැබෙනු ඇතැයි අලි සබ්රි බලාපොරොත්තුවෙන් සිටි තනතුරු කිසිවක් ඔහුට නොලැබී යාමේ අවදානමක්ද පැනනැගී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

[LNW]

No comments:

Ad
Powered by Blogger.