මැතිවරණය දා නිරීක්ෂණයට තෙවැනි ඇස් 392ක්


ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝනයන් පිළිබඳව නිරීක්ෂණය කිරීමට, වීඩියෝගත කිරීමට ඉතා කුඩා වීඩියෝ කැමරා යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේය.
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ ඊයේ (04 වැනිදා) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.
පැෆරල් සංවිධානය සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් ඉතා කුඩා වීඩියෝ කැමරා හැත්තෑ එකක් සහ ජැකට් තුන්සිය විසි එකක් ශ්‍රී ලංකා පොලිසියට ලබා දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ ය.
එක කැමරාවක් ජැකැට්ටුවේ ඉහළ සවිකරගෙන වීඩියෝ කිරීමට හැකියාව පවතින බවත්, අනෙක් කැමරාව පොලිස් නිල ඇඳුමේ බඳ පටියේ සවිකරගෙන ගොස් වීඩියෝ ගත කිරීමට හැකි බව ද ඔහු පැවසුවේය.
දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකට ම මෙම කැමරා නිකුත් කරන බවත්, වීඩියෝ කැමරා පරිහරණය කරන ආකාරය, තාක්ෂණය පිළිබඳව දිවයින පුරා තෝරාගත් පොලිස් නිලධාරීන් පිරිසකට පුහුණු කරන බවද ඔහු කීවේ ය.
ජනාධිපතිවරණයෙන් අනතුරුව වීඩියෝ කැමරා අපරාධ විමර්ශන කටයුතුවලට සහ නීති විරෝධීව පවත්වන උද්ඝෝෂණ වීඩියෝ කර අධිකරණ ක්‍රියාවලියට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
වීඩියෝ කැමරාව අඛණ්ඩව පැය එකහමාරක පමණ කාලයක් භාවිත කළ හැකි බවත් පොලිසිය පවසයි.
සාලිය කුමාර ගුණසේකර

No comments:

Ad
Powered by Blogger.