Ad

අප සැමගේ විශ්වාසය.....


පුංචිම කාලේ ඉඳන්ම මාව නැගිට්ටවෙන්නේ උදේ පාන්දර 3ට නැගිටින තාත්තා ඈත ගම් දනව් වල ඉඳන් ඉර එළිය වැටෙන්නත් කලින් තමන්ගේ ප්‍රශ්නය ලියුමකින් ලියාගෙන ඇවිල්ලා තාත්තගේ අතටම ඒ ලියුම දෙන්න ගේට්ටුව ගාව පොර කකා ඉන්න මිනිස්සු හම්බෙන්න යන්න ලෑස්ති වෙන සද්දෙට.

සරමක් ඇඳලා තාත්තට සුපුරුදු තොප්පියත් දාගෙන ගේට්ටුව ගාවටම ඇවිදගෙන ගිහින් තමන් හම්බෙන්න ආපු මිනිස්සුන්ට කතා කරන ගමන් තාත්තාම ලියුම් ඔක්කොම එකතු කරගන්න දිහා මම බලන් හිටියේ පුදුමෙන්. ගොඩක් දෙනෙක් දන්නේ මේ පුරුද්ද තාත්තා පටන් ගත්තේ ජනාධිපති වුනාට පස්සේ කියලා. හැබැයි ඒක මුල් කාලේ ඉඳලා අවසාන දවස වෙනකන්ම තාත්තගේ තිබුණු නතර නොවුණු පුරුද්දක්. ඉතින් වයස අවුරුදු 5 විතර ඉඳන් පටන් ගත්ත පාන්දර 3ට නැගිටින පුරුද්ද වයස 52ක් වෙලත් තාම මඟ හැරිලා නැහැ. ඒ නැගිටින හැම උදයකම තවමත් මට තාත්තා ලැහැස්ති වෙන හඬ ඇහෙනවා දැනෙනවා.

1971 තරුණ කැරැල්ල ආපු වෙලාවේ තාත්තා කම්පා වුණු හැටි මම ඇස් දෙකට දැක්කා. 1983 කළු ජුලිය වෙලාවේ ආරම්භ වුණු ප්‍රශ්නයේ බරපතලකම තාත්තා ඒ දවස්වලම තේරුම් අරන් හිටියේ. මට එතකොට හිටපු දමිළ යාළුවො කිහිපදෙනෙක්ම අපෙන් ඈත් වෙලා යාපනයට ගියපු හැටි මට තාම මතකයි. 1989 කාලය තමයි රාජ්‍ය නායකයෙක් වීම එක්ක ඔහුගේ කර මත පැටවෙන වගකීමේ බර මම මගේ ජිවිතේ පළමු වතාවට තේරුම් ගත්තේ. 

උතුරෙන් LTTE කලබල එක්ක දකුණෙන් ජවිපෙ කැරැල්ල එක්ක රටේ සුක්කානම තමන්ගේ අතට ගත්ත තාත්තා මහා කුණාටු සාගරයක ඉදිරියටම නැව පදවන නැවියෙකු වගේ ඒ කාලය තුළ ගත් අමාරු තීන්දු තීරණ මම මගේ ඇස් දෙකට දැක්කා. තමන් එක්ක සාකච්ඡා කරන්න එන්න කියලා තාත්තා රෝහණ විජේවීරට අරාධනා කළේ අවංකවම බව වෙන කාටත් වඩා මම දනිමි. ඒ තීරණාත්මක කාලයේ තාත්තගේ ඇතැම් තීරණ ගැන මා එකඟ නොවුණු අයුරු මට මතකය. ඇතැම් අවස්ථාවල එවැනි ඇතැම් තීන්දු ගැන එවකට තරුණයෙකු වූ මා තාත්තා සමඟ වාද කරගත් බවත් තාත්තා ඒවාට නිහඬව ඇහුම්කන් දුන් ආකාරයත් මට මතකය. එහෙත් රටේ නායකයා ලෙස නොපැකිළව තීන්දු තීරණ ගත යුතු බවත් එවැනි අවස්ථා වල හදවතට ඉඩ ලබා දිය නොහැකි බවත් මා තේරුම් ගන්නා විට තාත්තා අප  හැර දමා ගොසිනි. ඒ අඳුරු යුගයේ තාත්තාගේ හිතේ තිබූ පීඩනය ගැන ඔහුගේ අත් දෙකෙන් අල්ලාගෙන කතා කරන්න මට කවදාවත් ඉඩක් හම්බුණේ නැහැ.

තාත්තා කෙනෙක් නැතිවීම පුතෙක්ට දැනෙන්නේ කොහොමද කියන එක අකුරුවලින් ලියලා පැහැදිලි කරන්න පුළුවන් හැඟීමක් නෙවෙයි. රුදුරු LTTE ත්‍රස්තවාදීන් මගේ තාත්තාව උදුරගත්ත විදිය මට තවමත් බියකරු සිහිනයක් වැනිය. මා දුටු විට පුදුමාකාර ආදරණීය හිනාවකින් මුව සරසාගන්න මා දුටු සැණින් මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන කතා කළ මාගේ ආදරණිය තාත්තාගේ මුහුණ අවසාන වතාවට දැකගැනීමට හෝ ඔහුගේ කකුල් දෙක අල්ලා වැඳීමට අවස්තාවක් නොමැතිව සීල් කරන ලද හිස් පෙට්ටියක් ඉදිරියේ කඳුළු සැලූ සජිත් ප්‍රේමදාස තරුණයා වයස අවුරුදු 52 සජිත් වනතෙක් හැම පියවරක් පසුපසම සිටියේ ඔහුගේ සෙවනැල්ලය.

මා සෑම විටම මාගේ පියාණන් ගැන කතා කරන්නේ ඇතැම් විට ඔහුගෙන් ලැබුණු මහා සෙනෙහස එක්වරම හොරු අරන් ගියා මෙන් වූ අහිමි වීම නිසා විය හැකිය. ඒ හැඟීම විඳ නොමැති අයට ඒ හැඟීම විහිළුවක් වුවද ඒ හැඟීම දිනපතා හදවතින් අත්විඳිම ඒ හැඟීමට හිනා වීම, අපහාස කිරීම තරම් පහසු නැත.

මා කුඩා කාලයේ තාත්තා මා උකුලේ තියාගෙන සෑම දිනකම පාහේ කියූ කතාවක් මගේ මතකයේ ඇත. 

"මේ රටේ සැබෑ උරුමකරුවන් වන්නේ උදේ හවා අවුවේ වැස්සේ වෙහෙසෙන පොඩි මිනිසුන්ය. පොඩිම තැනකින් පටන් ගත්ත ඔවුන්ගේම මිනිහෙක් වෙන මගේ සිහිනය ඒ මිනිස්සුන්ට ඔවුන්ගේ ඒ සැබෑ උරුමය අරන් දෙන එක. ඔවුන්ගේ ජීවිත සුවපත් කරන එක. මට ඒ වැඩේ ඉවර කරන්න බැරි වුනොත් උඹ දවසක ඒ සටන අතට ගන්න "

තාත්තාගේ ජීවිතය අකාලයේ අහිමි වීමත් සමඟ කොළඹ අතහැර ඈත දුෂ්කර හම්බන්තොටින් මගේ අරගලය මා ආරම්භ කළේ වඩ වඩාත් පොඩි මිනිහාට සමීප වීමේ දැඩි උවමනාවක් මා හට තිබූ බැවිනි. මාගේ මේ අරගලය මේ රටේ අයිතිකරුවන්ට ඒ අයිතිය ලබා දීම වෙනුවෙනි.. උපන් දා සිට දුක් විඳින පුංචි මිනිසුන්ගේ ජිවිත සුවපත් කිරීම වෙනුවෙනි..
දශක ගණනාවකට පසු මුළු රටක් එකට රොද බැඳී මේ මහා ජනතා විප්ලවය ඒ පොඩි මිනිසුන් වෙනුවෙනි..!!!

අද ඒ අරගලය තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇත. 

කුමන අවලාද මධ්‍යයේ වුවද නොවැම්බර් 16 වෙනිදා මේ රටේ පුංචි මිනිසුන් ඔවුන්ගේම මිනිහෙක් වටා ඒකරාශී වනවා නිසැකය. 

මගේ මුළු ජිවිත කාලය පුරාම මා කැපවුණු මගේම මිනිසුන් ගැන මම හදවතින්ම විශ්වාස කරමි..!!! 

- මම සජිත් ප්‍රේමදාස

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.