ගෝඨා දිනනව නං හාලුයි, පොලුයි අමුවෙන් හරි කන්නං: ගම්මන්පිල.


ලබන 17 වැනිදා වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බව ඒකාන්ත යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 17 වැනිදා මේ රටේ ජනතාව රටපුරා කිරිබත් කමින් එම ජයග්‍රහණය සමරනු ඇති බවත් ඔහු පවසනවා.

අද (13) මාතරදී පැවති පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙවර අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති බැවින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අමතර වේලාවක් ගතවිය හැකි බවත් ඇතැම් විට 17 වනදා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට නොහැකි වනු ඇති බවත් මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ගම්මන්පිල මහතා පවසන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කුමන ප්‍රකාශ සිදු කළද ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය 17 වැනිදා වනවිට ලැබිය යුතු බවයි. 17 වැනිදා අවසන් ප්‍රතිඵලය නොලැබුණහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සැමරීම සඳහා කිරිබත් වෙනුවට හාලුයි - පොලුයි අමුවෙන් කෑමට වුවද තමන් සූදානම් බව ද ඔහු පවසනවා.

'අපි මැකෝට කියන්නෙ, ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා තව නං ඉවසන්න බෑ' යනුවෙන් ගම්මන්පිල මහතා පවසයි.

ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් හාලුයි පොලුයි අමුවෙන් කෑමට වුවද සූදානම් යැයි පවසන ගම්මන්පිලලා පසුගිය වසරේ ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසු හැසිරුණු ආකාරය මේ මොහොතේ සිහිපත් කර ගැනීම වටී. එදා ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් පළමු තත්පරයේ පටන්ම අමාත්‍යංශවලට, රාජ්‍ය ආයතනවලට කඩාවැදී රාජ්‍ය සේවකයන්ට තර්ජන ගර්ජන සිදුකළ අතර රටපුරා ප්‍රදේශ රැසකදී විරුද්ධ පාක්ෂිකයන්ට පහරදීමට පවා කටයුතු කළේය.

හාලුයි පොලුයි අමුවෙන් කන්නම් යැයි පවසන ඔවුන්, 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගතහොත් ජයග්‍රහණය සමරන්නේ කෙසේද යන්න සඳහා එය සමීපතම උදාහරණයයි.

No comments:

Ad
Powered by Blogger.