'ඉන්දියාව ද චීනය ද?' ජනපතිට ඉන්දීය සංචාරයෙන්, තෝරා ගැනීමට අවස්ථාවක්!

ශ්‍රී ලංකාව ඉදිරි වසර 5 තුළ බරපතළ ආර්ථික අභියෝග රැසකට මුහුණ පෑමට නියමිතය. විදෙස් ණය වාරික ගෙවීම් වැඩි වීම, ජනාධිපතිවරණ පොරොන්දු ඉටු කිරීම ආදී කරුණු හේතුවෙන් එහි බරපතළ බව තවත් උග්‍ර වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.‍

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවට එන ආර්ථික අර්බුදවලට මුහුණ දීම සදහා ඔහුට ඇමෙරිකාව සහ ඉන්දියාව වැනි ආර්ථික බලවතුන්ගේ සහය ලබා ගත යුතුව ඇත.

මෙම තත්ත්වය දේශපාලනික වශයෙන් කළමනාකරණය කර ගතහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දීමට නියමිත ආර්ථික අර්බුදයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලායේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසයි.

2005 වසරේ බලයට පැමිණ 2015 දක්වා බලය හෙබවූ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත්, 2015 සිට 2019 දක්වා බලයේ සිටි මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ පාලන සමයේදීත් ශ්‍රී ලංකාව වැඩි වශයෙන් චීනය සමග ආර්ථික සබඳතා පැවැත්වූ බව රහසක් නොවේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ක්‍රියාත්මක කෙරුණු ෂැංග්‍රිලා හෝටලය, වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ ආදී මහා පරිමාණ ව්‍යාපෘති රැසක් චීනයට ලබා දී තිබිණි.

2015දී බලයට පත්වූ රජය හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති හරහා ඉන්දියාවේ "හිත රිදවූ" බව දේශපාලනික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති රැසක ඉන්දීය ජාතික ශ්‍රමිකයින් විශාල පිරිසක් සේවය කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.

2019 පෙබරවාරි මාසය දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ රැකියා සම්බන්ධ නේවාසික වීසා දත්ත අනුව ශ්‍රී ලංකාවේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ගෙන් වැඩි ම පිරිසක් ඉන්දියානුවන්ය.

වසර 15ක් පුරා 'කණස්සල්ලෙන් පසුවූ' ඉන්දියාව මෙවර ජනාධිපතිවරණය දෙස බලා සිටියේ දැඩි අවධානයෙනි. ඒ, ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ම නව අපේක්ෂකයින් වූ හෙයිනි.

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් පත්වූ විගස ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පිටත් කළේය. එහි ප්‍රතිඵලය වූයේ, නව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු නිල විදෙස් සංචාරය ඉන්දියාවට යෙදීමය.

"වෙස් වළාගෙන පැමිණි ආශීර්වාදයක්"

"මෙය එක්තරා ආකාරයක වෙස් වළාගෙන පැමිණි ආශීර්වාදයක්," බව ස්වාධීන ආර්ථික විශ්ලේෂක ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසයි.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඉදිරි වසර 5 තුළදී මුහුණ දීමට සිදුවන බරපතළ ආර්ථික අභියෝග ජය ගැනීම සදහා ඉන්දීය මිත්‍රත්වය නිවැරදිව කළමනාකරණය කර ගත යුතු බවය.

"ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය පැවති අවස්ථාවේදී ඒකට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැඩිව බලපෑම් කරල අපට සහය වුණේ ඉන්දියාව. එදා ප්‍රනාබ් මුකර්ජි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තරයේ කියා සිටියා ඔබ ශ්‍රී ලංකාවට මුදල් ලබා නොදුන්නොත් ඉන්දියාව මුදල් දෙනවා කියලා. ඒක නිසා අපට ඒ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණා. ඒ නිසා ඉදිරි ආර්ථික අභියෝග ජය ගන්නත් ඉන්දියාවේ සහය අත්‍යවශ්‍යයි," ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ, ඉදිරි වසර 5 තුළ ගෙවීමට සිදුවන ණය වාරික මුදල් ප්‍රමාණය ඉහළ යන හෙයින් ඊට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් සොයා ගැනීමට ඉන්දියාවේ සහය අවශ්‍ය වනු ඇති බවය.

"චීනය අපට මුදල් දෙන්නේ ඉහළ පොළී අනුපාත යටතේ. ඒ නිසා දැන් ගෙවන්න තියෙන ණය ගන්න ආපහු චීනයෙන් ම ඉහළ පොළියට ණය ගත්තොත් අපි තවත් අගාධයට වැටෙනවා. ඒ නිසා අපට අමාරු හැම අවස්ථාවකදී ම උදව් කරපු ඉන්දියාවෙන් ආධාර ලබා ගන්න වෙනවා. ඒක තමයි හොද ම දේ."

මේ අතර, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොට වරාය වැනි චීනය සමග පසුගිය රජය කළ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය දා කළ ප්‍රකාශය තුළින් ඔහු ජාත්‍යන්තර සබදතා සම්බන්ධයෙන් යම් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඉගි පළ කිරීම යහපත් ප්‍රවණතාවක් බව ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.

ඇය පෙන්වා දුන්නේ, චීනය සහ ඇමෙරිකාව අතර ආර්ථික විරසකයක් පවතින අතර ඉන්දියාව සහ ඇමෙරිකාව අතර මිත්‍රත්වය වර්ධනය වී ඇති වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉන්දියාව වෙත නැඹුරු වීම වාසිදායක බවය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සිය පළමු නිල විදෙස් සංචාරය අරඹමින් ගෝඨාභය රාජපක්ෂ බ්‍රහස්පතින්දා පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළගා විය.

ඔහු නොවැම්බර් 30 වන දා තෙක් ඉන්දියාවේ රැදී සිටිමින් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

[BBC]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.