ජනතා පැතුම් බිඳ දැමූ ගෙවුණු දින දහය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ, නොවැම්බර් 18 වැනිදා ය. වැඩ පටන් ගත්තේ එතැන් සිට ය. පටන් ගන්න කොට ම කිව්වේ, මට ඡන්දය දුන්නේ, සිංහල ජනතාව බව ය. උදවු කළේ හාමුදුරුවරුන් බව ය. ඇත්තට ම එය ඇත්තක් නොවේ ය. කරුණා අම්මාන්, පිල්ලෙයාන්, වර්ධරාජා පෙරුමාල්, ඩග්ලස් දේවානන්ද, ආරුමුගම් තොණ්ඩමන්, හිස්බුල්ලා, මුසම්මිල් සහ ෆයිසර් මුස්තාෆා යන පිරිස හිටියේ රාජපක්‍ෂ කඳවුරේ ය. උතුරේ සහ නැඟෙනහිර පමණක් නොව වතුකරයේ ද දෙමළ, මුස්ලිම් ජනයාගේ ඡන්ද ඔහුට ලබා දී ඇත. මේ අතුරින් බොහෝ දෙනෙක් එක් පැත්තකින් රට බෙදන ව්‍යාපාර මෙහෙයැවූහ. අනෙක් පැත්තෙන් අන්තවාදී ජාතිවාදය පැතිරවූහ. දිවුරුම් දීමේ උත්සවයේ හිස්බුල්ලා ප්‍රධාන ආරාධිත අමුත්තකු ද විය. මේ වන විට මුසම්මිල් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ය. සියල්ල එසේ සිදු වෙද්දී, තමන්ට ඡන්දය දුන්නේ, සිංහල ජනතාව යැයි කීම කිසි ම පදනමක් නැති කතාවක් ය. මෙතෙක් භූමියෙන් බෙදා වෙන් කර ගත නොහැකි වූ ලාංකික සමාජය ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාජයීය වශයෙන් බෙදුණේ, පසුගිය මැතිවරණයේ දී ය. ගෝඨාභයගේ කතාවෙන් එය තීව්‍ර ලෙස හා දරුණු ලෙස සිදු වූ බව කාටත් පැහැදිලි ය. බලයට එන්න ජාතිවාදය හා ආගම්වාදය කොතරම් පාවිච්චි කළත්, අඩු ම ගාණේ බලයට ආ පසු හෝ එය වෙනස් කිරීම මෙතෙක් සිදු වූ දෙයයි. එහෙත්, මෙවර එය මුළුමනින් ම වෙනස් විය. එයට ප්‍රධාන හේතුව වන්නේ, තවත් මහා මැතිවරණයක් ළඟ ඒම ය. පත් වූ ජනාධිපතිත්, පත් වූ ආණ්ඩුවත් දැන් වැඩ කරන්නේ එය ඉලක්ක කරගෙන ය. ගෝඨාභය එවැනි කතාවක් කියන්නේ, හිතාමතා දැනුම්වත්ව ම ය. ඒ ඊ ළඟ ඡන්දයේ දී සිංහල බෞද්ධ යන්න ඉදිරියට දා ගැනීමට ය. කෙනකු සිංහල බෞද්ධ වීම හෝ ඒ ගැන විවෘතව ප්‍රකාශ කිරීම ගැන හෝ කිසි ම ප්‍රශ්නයක් නැත. එහෙත්, බහු ජාතිකත්ව, බහු ආගමික ජනතාවක් සිටින, වසර ගණනාවක් තිස්සේ ජාතිවාදී, බෙදුම්වාදී යුද්ධ කෝලාහල පැවැතුණු රටක නායකයකු එලෙස ප්‍රකාශ කිරීම අනාගතයේ බරපතළ අනතුරුදායක තත්ත්වයක් ඇති වීමේ අවදානමක පෙරනිමිත්තකි.

බණ්ඩාරනායකලා එදා සිංහල භාෂාව විසිහතර පැයෙන් රාජ්‍ය භාෂාව කරන පොරොන්දුව මත බලය ගත්හ. එහෙත්, එහි පලවිපාක අත් වූයේ අවුරුදු ගණනාවකට පසුව ය. එවිට ප්‍රමාද වැඩි ය. මෙවැනි ප්‍රකාශයක බරපතළකම ඔහුට ඡන්දය දුන් අයට අද එතරම් බරපතළ නැත. ඒ බොහෝ අය එකී ප්‍රකාශය මහත් ඉහළින් අගයති. එහෙත්, ඉන් දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සිත් තුළ ඇති කර වූ පීඩනය ඔය කිසිවකුටවත් තේරෙන්නේ නැත. එය හිත් ඇතුළේ කැකෑරෙමින්, පැසවමින් ඔඩුදුවනු ඇත. ඒ වාගේ ම බෙදුම්වාදී දේශපාලන මත දරන්නන්ට ජාත්‍යන්තරයට ගොස් ඉතා පහසුවෙන් තමන්ගේ බෙදුම්වාදී වුවමනාව තර්කානුකූලව තහවුරු කළ හැකි ය. දිගින් දිගට ම එය සිදු වීමේ අනතුරුදායක තත්ත්වය ඇත. “උඹලා අපිව කෙනිත්තුවා විතරයි, තව වැඩිය දඟලන්න ආවොත්, ප්‍රතිප්‍රහාර දෙනවා. තෙරුවන් සරණයි” වැනි ප්‍රසිද්ධ ප්‍රකාශන සමාජ මාධ්‍යවල පළ කර තිබිණි. මින් එක් පැත්තකින් වෛරය පතුරුවන අතර ම බුද්ධාගම ද විනාශ කරන්නේ ය. ප්‍රතිප්‍රහාර දෙනවා සහ තෙරුවන් සරණයි යන්න එකවර කියන්න පුළුවන් දෙයක් නොවේ ය. බුදුන් සරණ, දහම් සරණ සහ සඟ සරණ කියන්නේ, ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ය. බුදුහාමුදුරුවන් ඉගැන් වූ දහමේ ප්‍රතිප්‍රහාර දීමක් කොතැනකවත් සඳහන් වන්නේ නැත. එය හුදෙක් වෛරය පැතිරවීමකි. බුදුදහමට මුළුමනින් ම පටහැනි වූ දෙයකි. මින් සිදු වන්නේ, බුද්ධාගම ආරක්‍ෂා කිරීම නොව හිතාමතා ම, දැනුම්වත්ව ම බුදුදහම විනාශ කර දැමීමකි. ජාතිවාදී සහ ආගමික අන්තවාදී මතවාදයන්ගෙන් රටත්, ලාංකීය මිනිස් සමාජයත්, පිවිතුරු බුදුදහමත් බේරා ගැනීමේ අභියෝගයක් මතුව ඇත. සැබෑ දේශප්‍රේමියකුට, සැබෑ බෞද්ධයකුට අනෙකුත් ජාතිකත්වයන්ට විරුද්ධව මෙලෙස හැසිරීමේ සදාචාරාත්මක ඉඩක් කිසිසේත් ම ඇත්තේ නැත.

අවස්ථාවාදීව රට, ජාතිය, ආගම දේශපාලන බලය වෙනුවෙන් යොදා ගැනීමෙන් ඇති වන පලවිපාක ආපසු අදින්නට නොහැකි ය. විල්පත්තු වන විනාශය කවුරුන් කළත්, එය මහා අපරාධයකි. බැසිල් රාජපක්‍ෂලා එයට ඉඩ හදද්දී, නිහඬව සිටි බොහෝ අය කෑ ගසන්නට ගත්තේ, සියල්ල සිදු වුණාට පසුව ය. ආණ්ඩුව බලයට පත් වෙලා, දින කිහිපයක් යන්නට මත්තෙන් රිෂාඞ් බදියුදීන් විල්පත්තු වන විනාශයේ චෝදනාවෙන් නිදහස් විය. ඉඩම් ලබා දීමත් නීත්‍යනුකූල විය. එසේ ඉඩම් ලබා දුන් ප්‍රදේශ හැර ඉතිරි ප්‍රදේශ විල්පත්තු රක්‍ෂිතය ලෙස ගැසට් කිරීමක් සිදු විය. මේ ඇති වූ ක්‍රියාදාමය පිළිබඳව ජාතිවාදී නොවී පැහැදිලි ස්ථාවරයක් ගත යුතු ය. එහෙත්, අවසනාවකට සිදු වන්නේ, අවස්ථාවාදී හා ජාතිවාදී ලෙස විල්පත්තුව පාවිච්චි කර ගැනීමකි. එසේ නොමැතිව සැබැවින් ම පරිසරය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් වන මැදිහත් වීමක් නැත. නොවැම්බර් අග සතියේ දී සිය මිය ගිය ඥාතීන් සැමරීම දශකයකට අධික කාලයක් තුළ උතුරේ ජනතාව විසින් කරනු ලබයි. පසුගිය කාලය පුරාවට එය ‘මහා විරු සැමරුමක්’ ලෙස ඇතැම්හු අර්ථදැක්වූහ. එය එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත තම බෙදුම්වාදය ගෙන යාමේ උඩගෙඩි දීමක් ලෙස කෑ කෝ ගසන්නට විය. ගෝඨාභය ජනාධිපති වූ පසුව ද, උතුරේ ස්ථාන ගණනාවක ම එවැනි සැමැරුම් පැවැත්විණි. ජාත්‍යාලයෙන් කෑ ගහපු එකදු මාධ්‍යයක්වත් රිෂාඞ් නිදහස් වීම ගැන හෝ මෙම සැමරුම් ගැන එදා කතා කළ ආකාරයෙන් කතා කරන්නේ නැත. මින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ, රාජපක්‍ෂලාගේ බල වුවමනාව වෙනුවෙන් මෙකී සිදුවීම් පාවිච්චි කළ බව පමණකි.

ගෝඨාභය බලයට පත් වූ විගස සමාජය තුළ මහා කතාබහකට ලක් වූයේ, තමන්ගේ පින්තූරය කාර්යාලවල නොගසන ලෙස උපදෙස් දීම ගැන ය. 2004 ඇමතිකම් දැරූ ජවිපෙ ඇමතිවරුන් හතර දෙනා ම මෙලෙස පින්තූර දැම්මේ නැත. එය හොඳ දෙයකි. මහින්ද මෙයට මුළුමනින් ම පටහැනිව ක්‍රියා කළේ ය. දකින දකින හැම තැනක ම පින්තූර ගැසුවේ, තමන්ගේ නමින් සමහර ආයතන ද නම් කළේ මහින්ද ය. අයියා කරපු දේ මල්ලි වෙනස් කරනවා නම්, එය ගොඩක් හොඳ ය. පාරවල කුණු ඉවත් කිරීම කලින්ට වඩා විධිමත් කරන එකත් ඒ වාගේ ම හොඳ වැඩක් ය. ඒත්, කරන සියලු වැරැදි ඒ කුණුවලින් වසා ගන්නට නොහැකි ය. ඡන්දය ඉවර වෙලා දවස් දෙක තුනක් යන්න ලැබුණේ නැත. සිමෙන්ති කොට්ටයක් රුපියල් සියයකින් ම ඉහළ දැම්මේ ය. ඒ ගැන ප්‍රධාන මාධ්‍ය යැයි කියා ගන්නා කිසිදු මාධ්‍යයක් හරියට පෙන්වන්නේ ද නැත. ජනාධිපතිවරයා ලේකම් ලෙස පත් කර ගත්තේ ද, පී. බී. ජයසුන්දර ය. වාසුදේව නානායක්කාර ම ඔහුට විරුද්ධව ඉඩම් ගනුදෙනුවක වංචාවක් පිළිබඳව නඩුවක් දැම්මේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලි තීන්දුවක් දුන්නේ, කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරක් නැවත ඔහුට ලබා නොදෙන ලෙස ය. වීරවංශ ම කිව්වේ, ජයසුන්දර කියන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන ආර්ථික ඝාතකයකු කියා ය. අද ඔහු රාජ්‍ය පරිපාලනයේ ඉහළ ම තනතුර දරන්නා ය. එතැනින් නොනැවැතී ඊයේ පෙරේදා පත් කරපු අලුත් අමාත්‍යාංශ ලේකම්වරුන් ද එසේ ම ය. ගාමිණී සෙනරත් අගමැති ලේකම් ය. ප්‍රේමසිරි නමැති චූදිත පුද්ගලයා නැවත මහාමාර්ග ලේකම් ය. ප්‍රියත් බන්දු හිටපු වරාය සභාපති දැන් වරාය ලේකම්වරයා ය. අනෙකුත් සංස්ථා මණ්ඩලවල අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කිරීම් කරන කමිටුවේ ඉන්නේ උසාවිවලින් චෝදනා ලබපු වැරැදිකරුවන් ය. ලලිත් වීරතුංග, නාලක ගොඩහේවා යන දෙදෙනා ම දැනට උසාවි ඇප මත එළියේ ඉන්න දෙදෙනෙක් ය. මෙවන් තත්ත්වයක් තුළ හොරු අල්ලන්නේ කොහොම ද? හොරකම, වංචාව නතර කරන්නේ කොහොම ද යන්න විහිළුවකි. ඡන්දය දුන්න ජනතාවට කරන ලද උපහාසයකි, අපහාසයකි.

පත් කරපු ඇමති මණ්ඩලය දහසයක් යැයි කියා මුල දී බොහෝ අය උදම් ඇනූහ. ඒත්, එහෙ ම කළේ අනෙක් අයට දෙන්න ගියා ම ඇතුළේ ඇති වන අර්බුද නිසා ය. ඊට පස්සේ කළේ ආයෙත් ඇමතිවරුන් පැටව් ගැස්සවීම ය. රාජ්‍ය ඇමතිවරුන් 35යි, නියෝජ්‍ය ඇමතිවරුන් 3යි පත් කළේ කිසිදු හිරිකිතයක් නොමැතිව ය. ලන්සා, එස්. බී., තිලංග, රෝහිත, පියල් නිශාන්ත වාගේ අය දැන් ඇමතිවරුන් ය. ඇමති ලැයිස්තුව දැක්කා ම ඡන්දය දුන් අයට ලැජ්ජාවේ බැරි ය. මේ වෙන කොට ඇමතිවරුන් 54 දෙනෙකි. මේ මහා මැතිවරණයට පෙරාතුව ය. ඉන් පසු තත්ත්වය මීටත් වඩා අප්‍රසන්න විය හැකි ය. කොච්චර ඇමතිකම් දුන්නත්, රටේ ආර්ථික, මුදල්, ආරක්‍ෂක යන ඇමතිකම් සියල්ල ඇත්තේ, රාජපක්‍ෂ පවුලේ අයියලා, මල්ලිලා අතේ ය. ඒවා එකක්වත් පවුලෙන් පිට කාටවත් දුන්නේ නැත. පරණ සුපුරුදු විදියට ම රටෙන් භාගයක් ඒ ගොල්ලන්ගේ අතේ ය.

කැත හිතෙන ඇමති මණ්ඩලයක් පත් කරලා, ඒක වහ ගන්න සහන මල්ලක් දෙන ප්‍රවෘත්තියක් දැම්මේ ය. වැට් බද්ද සියයට 15 ඉඳලා සියයට අටක් දක්වා අඩු කරපු එක මහ ලොකු වැඩක් ලෙස කිව්වේ ය. මෙතැන බදු ප්‍රතිශතය අඩු කළාට ඇත්තට ම කරලා තියෙන්නේ, වැට් බදු අය කරන පරාසය පළල් කර ගැනීමක් ය. ඒ කියන්නේ, මේ තාක් කල් බදු ගෙවපු නැති විශාල පිරිසකට අලුතින් බදු ගෙවන්නට සිදු වීම ය. ඒ මඟින් කලින්ටත් වඩා ආණ්ඩුව ආදායම් උපයා ගැනීම ය.

මීටත් වඩා බරපතළ කාරණය බලයට පත් වෙලා දින කීපයක් ඇතුළත දී ම ආයෙත් සුදු වෑන් පැහැර ගැනීම් ඇති වීම ය. මාධ්‍ය ආයතනවලට කඩාපැන බියවැද්දීම ය. ‘යූ ටියුබ්’ නාළිකා ආයතන ප්‍රධානියකුට දැනටමත් තර්ජනය කොට බියවද්දා ඇත. ආයතන පරීක්‍ෂා කොට ඇත. මාධ්‍යවේදීන් කිහිප දෙනකුට ම එලෙස තර්ජනය කිරීම් සිදු කොට ඇත. බරපතළ ම කාරණය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක පැහැරගෙන ගොස් මරණීය තර්ජනය කිරීම ය. පසුගිය කාලයේ සිදු වූ අපරාධ පිළිබඳ පරීක්‍ෂණ සිදු කළ රහස් පරීක්‍ෂකවරයෙක් තමන්ට අත් වූ ජීවිත තර්ජන හේතුවෙන් රටින් බැහැර වුණේ ය. එය මේ වෙන කොට කවුරුත් දන්නා කාරණයකි. එහෙත්, ඔහු ස්විට්සර්ලන්තයට ගිය විස්තර දැනගැනීමට කර ඇත්තේ, තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරිණියක පරණ පුරුදු විදියට ම වෑන් රථයකින් පැහැරගෙන යාම ය. පැහැර ගත් බව කිව්වොත්, මරා දමන බවට ද තර්ජනය කිරීම ය. මේ වන විට එය ජාතික පමණක් නොව ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට ද පත්ව ඇත. මෙවැන්නක් යුද්ධය පවතින කාලයේ දීවත් සිදු නොවිණි. මේ ගැන සාකච්ඡා කරන්න ස්විට්සර්ලන්ත තානාපතිවරයා නව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හමු වීමට එව්වේ ය. ජිනීවාවල සිටින ලංකාවේ තානාපතිවරයා ද එරට ආණ්ඩුව විසින් කැඳ වූ බවට ආරංචියක් ඇත. තත්ත්වය ඉතා බරපතළ ය. බලයට පත් වෙලා දවස් දහයක් යන්නත් කලින් තත්ත්වය මෙසේ නම්, ඉදිරිය සිතා ගන්නට පුළුවන.

පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ දූෂණ, අක්‍රමිකතා, අපරාධ ගැන රහස් පොලිසිය මඟින් පරීක්‍ෂණ මෙහෙයැවූයේ ය. එය එම නිලධාරීන්ගේ වගකීමකි. එහෙත්, බලයට ආපු ගමන් ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි ශානි අබේසේකර මාරු කර දැම්මේ ය. පොලිස්පතිවරයා ද රූකඩයක් බවට පත් කරමින් සිටී. ඔහු සමඟ පරීක්‍ෂණ කළ නිලධාරීන් බොහෝ දෙනකුට එරෙහිව මෙහෙයුම් ආරම්භ කර ඇත. ගෝඨාභය බෙල්ලන්විල පන්සලේ හාමුදුරුවොත් එක්ක කරපු කතාවෙන් ඇත්ත ගෝඨාභය නැවත එළියට පැන්නේ ය. පෞද්ගලිකව පළිගන්නා පරණ සුපුරුදු වචන හා භාවිතාව එහි දී එළියට පැන්නේ ය. ශානි ගැන නිශාන්ත ද සිල්වා ගැන ඔහු එහි දී කතා කළේ ය. ඇතැම් හාමුදුරුවරුන් මාධ්‍ය මඟින් විවිධ මත හදන්නේ ඔහුගේ මේ වුවමනාවට අනුව ය.

මේ පටන් ගත්තේ, රාජපක්‍ෂලාගේ සුපුරුදු පවුල් දේශපාලනයයි. හැම දා ම වාගේ එයට පාවිච්චි කර ගන්නේ බොරු දේශප්‍රේමීත්වයයි. රට, ජාතිය, ආගමයි. පන්සලේ පිරිත් නූල් බැඳ බැඳ ආයෙත් පටන් ගත්තේ, දූෂිතයන් ඔසොවා තැබීමේ දේශපාලනයයි. හොරුන්ව ආරක්‍ෂා කිරීමේ දේශපාලනයයි. හොරකම, බොරුව, නාස්තිය, වංචාව දේශප්‍රේමී සළුපිළිවලින් වසා ගැනීමේ නිර්ලජ්ජිත භාවිතයයි. බලයට පත් වෙලා කෙටි කාලයකින් ම මේ තරම් නරක අතට හැරුණා නම්, ලබන ඡන්දය දිනුවොත්, ඊට පස්සේ ඇති වන තත්ත්වය හිතා ගත හැකි ය. බලය තහවුරු කර ගන්නා ව්‍යවස්ථාමය ක්‍රියාදාමයක් අනිවාර්යයෙන් ම පටන් ගනු ඇත.

දැන් තියා ම දහනව වැනි සංශෝධනයට එරෙහිව මත හදමින් යන්නේ ඒ වෙනුවෙන් ය. සිංහල බෞද්ධකම බොරුවට ඉස්සරහට දාගෙන සැබැවින් ම කරන්නේ, දූෂිත පවුල් දේශපාලනය තහවුරු කර ගැනීම ය. ඒ වෙනුවෙන් නැවත නැවතත් ජාතිවාදී, ආගමික අන්තවාදී මත පතුරුවමින්, සමාජය බියගැන්වීම් දිගට ම කරනු ඇත. මේ බොරුවෙන් මිදී සැබෑ බෞද්ධ දර්ශනය වන සාමය, සමානාත්මතාවය, සහජීවනය මත පදනම් වූ රටක් ගොඩනැඟීම, බෞද්ධ ධර්මය ආරක්‍ෂා කර ගැනීම යුගයේ කාර්යභාරයයි. බොරු අවස්ථාවාදී මිථ්‍යා මත වපුරන අවස්ථාවාදීන්ගෙන් බුද්ධාගම බේරා ගත යුතු ය. සැබෑ බුදුදහම ආරක්‍ෂා කර ගත යුතු ය. අනෙකුත් ආගම්වල පදනම වන සමානාත්මතාව, යුක්තිය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ද පෙළගැසිය යුතු ය. ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා !’ යන සැබෑ බුදුදහමේ හරය තුළින් ජාතිවාදය පැරැදවිය යුතු  ය. ඒ වෙනුවෙන් හැඟීම්වලට වහල් නොවී ගැඹුරු දේශපාලන භාවිතාවකට පෙළගැසිය යුතුව ඇත.

ජගදාක්ෂි

1 comment :

Ad
Powered by Blogger.