හොරු අල්ලපු පොලිසියට හොරුන්ට බයේ රට පනින්න වෙලා..


පොලිසියට බයේ හොරු රට පනිනවා වෙනුවට හොරුන්ට බයේ පොලිසියට රට පනින කාලයක් පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
මේ ජනාධිපතිවරයා බලයට ඒම සඳහා ජනතාව දුන්න ජනවරම අපි පිළිගන්නවා. නමුත් මේ ජනවරම ලැබුණේ පාලකයන්ට තමන් ගැන පරීක්‍ෂණ කරන අයව බිය ගන්වලා, මර්දනය කරලා තමන්ට හිතවත් අය අදාළ තනතුරුවලට පත්කිරීමටවත් තමන්ට එරෙහි පරීක්‍ෂණ යට ගහන්නවත් නොවේ. මෙතරම් ඉක්මනට සුදු වෑන් සංස්කෘතිය නැවත හොල්මන් කරාවි කියලා මේ පාලකයා බලයට ගේන්න මහන්සි වූ ආගමික නායකයෝවත් ඡන්දය දුන් ජනතාවවත් හිතන්න නැතිව ඇති.
තමන්ට තිබෙන චෝදනා ගැන පරීක්‍ෂණ කරන නිලධාරීන් මර්දනය, සාක්‍ෂි විකෘති කිරීම, සාක්‍ෂි ඉල්ලා අස්කර ගැනීමට බලකර එසේ ඉල්ලා අස්කර ගැනීමට සැලැස්වීම දැනටමත් මේ පාලකයෝ පටන් අරන්.
රට හැර යාමට සිද්ධ වූ හා ස්ථාන මාරුවට ලක්වූ නිලධාරීන් පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ මෙන්ම එජාප ආණ්ඩුවේද මහා පරිමාණ වංචා-දූෂණ ගැන පරීක්‍ෂණ කළ අය. දැන් හොරු ගැන පරීක්‍ෂණ කිරීම පැත්තක තියලා ඔවුන් ගැන පරීක්‍ෂණ කරන නිලධාරීන්ගෙන් පළිගන්න පටන් අරන්. දැන් රට පනින්න සිද්ධවෙලා තිබෙන්නේ හොරුන්ට නොවෙයි, හොරු අල්ලන නිලධාරීන්ට. මහ බැංකු වංචාව ගැන පරීක්‍ෂණවලට දැන් මොකද වෙන්නේ? මේ දෙන සංඥාව කුමක්ද? අපිට හානිකර පරීක්‍ෂණ නවතනු කියා නොවේද?
තමන්ට තිබෙන චෝදනාවලට නිවැරදිකාරයෝ නම් පරීක්‍ෂණවලට නොබියව මුහුණ දී නීතිය හරියට ක්‍රියාත්මක වීමට ඉඩදිය යුතුයි. එවිට තමන් නිවැරදි නම් ඒක මුළු රටටම පෙන්වන්න පුළුවන්.
යම්කිසි තානාපති කාර්යාලයක නිලධාරියෙක් ගැන පරීක්‍ෂා කරනවා නම් අදාළ තානාපති දැනුවත් කළ යුතුයි. එය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කළ යුතුයි. දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩත් සුදු වෑන් කල්ලිය අතට අරගෙන. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන්ටත් එසේ නම් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ පාලනය කෙසේ වෙයිද? මාධ්‍ය ආයතනවලටත් ළඟදීම ‘බීප්, බීප්’ ශබ්දය එයි. දැන් මේ පාලකයන්ට ඡන්දය දුන් අයගෙනුයි ඔවුන්ට උදව් කළ මාධ්‍යයෙනුයි අපිට අහන්න තියෙන්නේ ‘ඔබට සතුටුයිද දැන්’ කියලා.
මේ සිද්ධිය නිසා ජර්මනියේ හා ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිට, ස්වීස් රජය හදිසියේ හමුවෙන්න වුණා. නව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ පළමු නිල කටයුත්ත වුණෙත් මේ සිද්ධිය ගැන ස්වීස් තානාපතිව මුණ ගැසීම. මේක බරපතළ තත්ත්වයක්. දීපු බලය අත්තනෝමතිකව හසුවරුවන්න දැන්මම පටන් අරගෙන. පැත්තකින් වෙබ් අඩවිවල මාධ්‍යවේදිනියන් ප්‍රශ්න කරනවා. සී.අයි.ඩී. නිලධාරීන්ටත් මර්දනය. පොලිස් නිලධාරීන්ටත් මර්දනය. අවසානයේ ජනතාවටත් මර්දනය. මේ උදා වෙමින් පවතින්නේ හොඳ තත්ත්වයක්ද?
අද බන්දුල ගුණවර්ධන කියනවා, තානාපති නිලධාරිනියගෙන් අදාළ සිද්ධිය ගැන තවම පැමිණිල්ලක් ඇවිත් නැහැ කියලා. පැමිණිල්ලක් කළොත් මරණවා කියලා තර්ජනය කරලා පස්සේ කියනවා පැමිණිලි නැහැ කියලා. පරීක්‍ෂණයත් මර්දනයත් දෙකම එක අතකට අරන් තමයි දැන් වැඩ කෙරීගෙන යන්නේ. අද සුදු වෑන් සංස්කෘතිය තානාපති කාර්යාලයකින්ම පටන් අරගෙන. මීට කලින් මෙවැනි සිදුවීම්වලදී මහත් කම්පාවෙන් කතා කළ මාධ්‍ය අද නිහඬ ඇයි?
පොලිස් මාධ්‍ය ඒකකය වහන්න හෝ විසුරුවා හරින්න කියලා රටේ කවුරුවත් උද්ඝෝෂණය කළේ නැහැ. මාධ්‍යවේදියෝ ඉල්ලුවෙත් නැහැ. නමුත් දැන් පාලකයෝ කියනවා, ඒක විසුරුවා හරිනවා කියලා. විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් කරනවා කිව්වා. ඇමැතිලා 15යි කිව්වා. දැන් කීයද? ඇමැතිකම් දෙකට කඩලා විදුලිබලය එක ඇමැතියකුට. බලශක්තිය තව ඇමැතියකුට. ඔන්න විද්‍යාත්මක බෙදිල්ල. මේව මොන තරම් විහිළුද? මහ මැතිවරණයකට සූදානම් වෙමින් ඇමැති මණ්ඩලය පත් කරන්නේ මෙහෙම නම් මැතිවරණයෙන් පස්සේ තත්ත්වය කොහොම හිටීවිද?
බදු අඩු කරලා කියලා කියනවා. මුදල් අමාත්‍යංශයෙන් හෝ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඒ ගැන තාම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. මේ කියන දේවල්වල වගකීම ගන්නේ කවුද? මේ පාලකයොත් ගමන් කරමින් සිටින්නේ කොහේටද යන්න මේ දින දෙක තුනට සංඥා කරලා ඉවරයි.

No comments:

Ad
Powered by Blogger.