දේශපාලන වශයෙන් යළි උපදිනවා..



යළි දේශපාලන වශයෙන් උපදින බවත් තමාගේ අවසන් හුස්ම යන තෙක් ම ජනතාවටත් රටටත් සේවය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 30 දා පොළොන්නරුවේ දී ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා එසේ පැවසුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ සංවිධානය කොට තිබූ "මෛත්‍රි ප්‍රසාද ප්‍රණාම" උපහාර උළෙලට සහභාගී වෙමිනි. හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව ජනතාවටත් රට ජාතියටත් ඉ‍ටු කළ මහා මෙහෙවර ඇගයීම සඳහා මෙම උළෙල සංවිධානය කර තිබිණි. නොකිලිටි විමුක්තිදායකයෙකු විසින් තුන් කල් දක්නා නුවණින් වගා කළ බිමෙහි අස්වැන්න නෙළාගත් සුවහසක් පුලතිසිපුර ගොවි ජනයාගේ හෘද සාක්ෂිය යන තේමාව යටතේ මෙම උළෙල සංවිධානය කර තිබිණි. එහි දී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.
‘‘ජනාධිපති ධුරයේ අවුරුදු පහකට ආසන්න කාලයක් සිටිමින් රටටත් ජනතාවටත් අන්තර්ජාතික වශයෙන් සේවය කළා. ජනාධිපති ධුරයේ නිල කාලය අවසන් වීමෙන් පසු පොළොන්නරුවට පැමිණි අද දවසේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මැති ඇමැතිවරු පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාම වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය හා මගපෙන්වීම තුළ මා කළ සේවයට ස්තුති පුදන්න එක් වීම ගැන මා ඉතාමත් සතු‍ටු වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසන සංවිධායකවරයා ලෙස සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය 1979 දී මාව පත් කළා. එදා මම පොළොන්නරුව නගරයේ ගෙදරකට ගියාම මට කිව්වා තමුසෙලාගේ ගෙදර මිනිහෙකුට වාඩි වෙන්න පු‍ටුවක් නෑ. එහෙම කෙනෙකුට පුළුවන් ද අර ලොකු සල්ලිකාර ධනපති නෙල්සන් ඇමැතිතුමා පරාජය කරන්න තමුසේ තමුසෙගෙ වැඩක් බලාගන්නවා කියලා මට කීවා. මම අරලගංවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකුගේ ගෙදරට ගියා. එහෙ දී මට කිව්වා ඔය කතා අපට වැඩක් නෑ. ඔය වැඩේ තමුසෙට කරන්න බෑ. ඕක කරන්න පුළුවන් කාට හරි භාර දෙනවා කියලා. ඒ කාලේ හුඟක් සල්ලි තියෙන නීතීඥ මහත්වරු 4 ක් 5ක් හිටියා ආසන සංවිධායක වෙන්න උත්සාහ කෙරුවෙ වියදම් කෙරුවේ ඒ අය. ඒ අරලගංවිල ගෙදරින් මම යන්නම් කියලා එළියට ඇවිත් අර මගේ කබල් ලෑන්ඩ් රෝවර් එක ස්ටාට් කරා ඒක ස්ටාට් වෙන්නේ නෑ. මායි තව මාත් එක්ක වැඩ කළ තරුණයෝ දෙන්නෙකුයි හිටියේ.ගෙදර අයට මම කීවා පොඩ්ඩක් මේක තල්ලුවක් දාන්න කියලා. ගෙදර තරුණ අය හත් අට දෙනෙක් ම හිටියා. බලාගෙන ඉන්නවා තල්ලු දාන්න එන්නේ නෑ. පස්සේ මම ආයෙ කිව්වා මට යන්න මේකට තල්ලු කරලා දාන්න කියලා. ඊට පස්සේ කට්ටිය ආවා. මාත් ජිප් එක තල්ලු කරනවා. ගෙදර ගෘහමූලිකයා තල්ලු කරන ගමන් කිව්වා අසාර්ථක සංවිධායක භංග වේවා කියලා. ඒත් එක්කම ස්ටාර්ට් වුණා. මම දැන ගත්තා අසාර්ථක සංවිධායකට භංගවේවා කියලා කියද්දිම ස්ටාර්ට් වුණා. මම දැනගත්තා ඒ වගේම මාත් දවසක ස්ටාර්ට් වෙලා ඉදිරියටම යනවා කියලා.
මෙතන ප්‍රේමසිරි මුණසිංහ මහත්තයා කතා කරනකොට කීවා මහ රෑ පොලිස් ජීප් එකට බෙල්ල තිබ්බා කියලා. රෑ දෙකයි බෙල්ල තියනකොට. පාරේ කවුරුවත් නෑ. මට ආරංචි වුණා ඊට පහුවදා බණ්ඩාරණායක මැතිනිය එන ‍රැලියට දාපු කොඩි නෙල්සන් මහත්තයාගේ කට්ටිය ගිනි තියලා කියලා. මට ඒ රෑම ආරංචි වුණා පොලිසියේ මහත්තුරු ඇවිල්ල කොඩි ඔක්කොම ගලවලා ගිනි තියනවා කියලා. මම යනකොට ඉස්පිරිතාල හන්දියට නිල් පාට කොඩි ගිනිගන්නවා. මට කරන්න දෙයක් නෑ. රෑ දෙකයි වෙලාව. මගේ කැබ් එක මමමයි එලවාගෙන ගියේ. මම හයියෙන් කෑගහලා පොලිසියට කීවා. උඹලා මාව මරපල්ලා කියලා පාර අයිනේ නවත්තලා තිබුණු ට්‍රක් එකට මම බෙල්ල තිබ්බා. ටයර් එකට හොඳටම බෙල්ල ළං කරලා. පොලිසියෙන් මට කියනවා අයින් වෙන්න අයින් වෙන්න කියලා මම අයින් වුණේ නෑ. ස්ටාර්ට් එකේ තියෙන්නේ. නිව්ටල් ගහපු ගමන් බෙල්ල උඩින් තමා යන්න වෙන්නේ. අර කොඩි කපපු රාලහාමිලා දහයක් පහළවක් ඇවිල්ලා බොනට් එකට අත තියලා පිටිපස්සට තල්ලුව දාන ගමන් නිව්ටල් ගැහුවා. ඒත් එක්කම ට්‍රක් එක පිටිපස්සට ගියා. ඊට පස්සේ මම නැගිට්ටා. ඒ වගේ කාලයක් අපට තිබුණා.
මම රස්සාවලින් අස් වෙනකොට කවුරුවත් මගේ තනියට හිටියේ නෑ. අස්වෙලා තනියට පොළොන්නරුව ජනතාව එකතු කර ගත්තා. එහෙම ඉතිහාසයක් තමයි තියෙන්නේ. මම ඉතාමත් සතු‍ටු වෙනවා මම රටට කරපු සේවය ගැන. මං වගේ දුප්පත් පවුලකින් ඇවිත් රාජ්‍ය නායකයා වීමේ වාසනාව ජනතාව විසින් ලබා දුන්න කෙනෙකුට නින්දා අපහාස කියන එක එච්චර පුදුමයට කාරණයක් නෙමෙයි.
2014 නොවැම්බර් මාසයේ රාජපක්ෂ මහත්තයලාගේ ආණ්ඩුවෙන් අයින් වෙනකොටත් පොළොන්නරුවේ අය ටෙලිපෝන් කරලා මට කීවා ඔළුව කළු ගලේ ගහගත්තා නේද මොන දෙයක් ද මේ කරගත්තේ කියලා. සමහර අය මේ දැනුත් හිතාගෙන ඉන්නවා මගේ නිල කාලය ඉවරයි මාත් ඉවරයි කියලා. මම ඉවර නෑ. මම නැවත දේශපාලන වශයෙන් උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකල් අවසන් හුස්ම යනකල් මිනිස්සුන්ටත් රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ.
අපරාධ කරන නරක වැඩ කරන අයට ලෝකයේ එහෙම ප්‍රශ්න නෑ. මිනිසකු වශයෙන් කළ හැකි විශිෂ්ටම දේ තමයි අහිංසක පොදු ජනතාවට සේවය කිරීම."
මෙහි දී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද කතා කළේ ය.
අවසන් හුස්ම යන තෙක් ජනතා සේවයේ
මෛත්‍රි ප්‍රසාද ප්‍රණාම උළෙලේ දී හිටපු ජනපති කියයි

No comments:

Ad
Powered by Blogger.