අපේ තිබ්බ සැලැස්මට වැඩ කරා නම් අපි මුණ ගැහෙන්නේ වෙන තැනක-රනිල්


ඉදිරි මහ මැතිවරණයේදී ආසන එකසිය දහතුනක් දිනාගැනීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්ෂයට සහායදුන් පාර්ශ්වවලට ස්තුතිකිරීම සඳහා පැවති වැඩසටහනකදීයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ සිවිල් සංවිධාන නියෝජිතයන්ට සිය ස්තුතිය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඔවුන්ව මුණගැසුණි.
මෙහිදී අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසා සිටියේය.
“ජනාධිපතිවරණයේදී ඔබ සියලුදෙනා කරපු සේවයට පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා. 
අපේ තිබුණු සැලැස්මට අනුව ක්‍රියා කළානම් අපි වෙන තැනක මුණගැහෙන්නේ. 
මේකෙන් අධෛර්යවත් වෙන්න වුවමනා නැහැ. 
පාර්ලිමේන්තුවේ අපිට මේ ප්‍රතිඵලය අනුව ආසන 103ක් 104ක් ලබාගන්න පුළුවන්. 
අපි ඉලක්ක කරගන්න ඕනේ 113 ගන්න. 
අපි ඒ සඳහා කොහොමද උපක්‍රමශීලීව අනෙක් ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එක්ක ක්‍රියාකරන්නේ කියන එක තමයි තියෙන්නේ. 
පළමු එක සියල්ලන් එකතු කරමු. එකතු කරලා අපි ඉදිරියට යමු. 
මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා අද පැවති මධ්‍ය හමුවකදී පැවසුවේ මීළඟ මහමැතිවරණයේදීද රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට නායකත්වය ලබා දෙන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට තව මාස කීපයක් ඇති බවයි.
පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී එක් හඬකින් පක්ෂය ඉදිරියට ගෙන ගියහොත් පාර්ලිමේන්තුව තුළ 113 සැදිය හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත්  2015 අගෝස්තු 17 තිබු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට බහුතරයක් ජය ගත නොහැකි වු බවත් කියා සිටියේය.
ඒ නිසාවෙන් ඒ පාඩම වත්මන් ආණ්ඩුවටත් ඉගැන්වීමට අවශ්‍ය බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂය යනු මහත්වරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් පැවසීය.
මේ පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවත්, එයට හානි කිරීමට කිසිවෙකුට නොහැකි බවත් පැවසු මන්ත්‍රීවරයා ඒ නිසාවෙන් සියලු නායකයින් එකතු වී මෙම ගමන යා යුතු බවත් කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, බෞද්ධ ආගම පිළිබඳ කථා කරපු මැති ඇමතිවරු ගැන ගැටළුවක් පැමිණි බවයි.
ඇතැම් වසා ගෙන සිටි පිරිස් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට කටයුතු කළ බවත් පැවසු ඒ මහතා, බෞද්ධ මෙම රට ගැන වේදනාවක් ඇති බවත් පැවසීය.
එමෙන්ම බෞද්ධ ආගමට නිගාවෙන ආකාරයේ වැඩ කළ කිසිවෙකු සිටි නම් එවැනි කිසිවෙකුට මැතිවරණයේ දී නාමයෝජනා ලබා නොදෙන්නැයි තමා ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
අනතුරුව අකිල විරාජ් මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මහමැතිවරණයට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එකතුව මෙම කර්තවය ඉටු කරන බවයි.
පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා හොබවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
ප්‍රශ්නය- ස්විස්ටර්ලන්ත තානාපති නිලධාරිනියගේ සිද්ධිය අපිට දැනගන්න ලැබෙනවා මේ කාන්තාව සහ කැලණියේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න දේශපාලනඥයෙක් අතර ඥාති සම්බන්ධයක් ගැනත් කියනවා. සුදර්ශන ගුණවර්ධන මහත්තයා මේ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්න ආකාරයක් දැක්කා. මේ සිදුවීම් ගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂය සහ මේ සිදුවීම් අතර යම් පැටලවිල්ලක් තියෙනවද ? 
මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ,  විපක්ෂයේ කාර්යභාරය වන්නේ, කාට හෝ අගතියක් වී ඇත්නම් ඒ වෙනුවෙන් පෙනී සිටිම බවයි.
ඥාතිකම කොයි පැත්තට වුවද පැවතිය හැකි බව පැවසු මන්ත්‍රීවරයා, ඥාතිකම මෙයට අදාළ කර ගත නොහැකි බවත් ඒ පැවසීය.

No comments:

Ad
Powered by Blogger.