Ad

සන්නද්ධ හමුදාවලට අගමැතිගෙන් ප්‍රතිඥාවක්.



සන්නද්ධ හමුදාවලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබා දීමට ජාත්‍යන්තර මට්ටමෙන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (13) ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

"කොටි සංවිධානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ 10 වන සංවත්සරය සමරන්න දින ගණනක් තිබියදී ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළා. 
ආසියාවේ වෙනත් රටවල් එක්ක සසඳනකොට අපේ රට කුඩා දූපතක්. 

නමුත් මෙහේ මොනම දෙයක්වත් කුඩා පරිමාණයෙන් සිද්ධ වෙන්නෙ නැහැ.  
1980 ගණන්වල උතුරේමෙන්ම දකුණේත් සන්නද්ධ කැරළි නිසා අපි ලෝකයේ දරුණුම ගැටුම් සහිත භූමිය බවට පත්වුණා.

ඊට පස්සෙ, ගොඩබිමෙන්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් දියත් කරන්න හැකියාව තිබුණු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය මෙහේ තිබුණා. 
ආසියාව තුළ සිවිල් ජනතාව ඉලක්ක කරල සිදු කරපු විශාලම හා දරුනුම ත්‍රස්ත ප්‍රහාරය මේ අවුරුද්දෙ පාස්කු ඉරිදා සිද්ද වුණා.
රට පුංචි වුණාට අපිට මුහුණ දෙන්න වෙන අභියෝගය පුංචි නැහැ.  

2008 දී මුම්බායි නගරයට එල්ල වුණ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයන් සහභාගී වෙලා හිටියෙ නැහැ.
නමුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට විතරක් සීමා වෙච්ච තර්ජනයක් නෙවෙයි. මේ කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහාත් මේ ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු වෙනවා. 

මේ අවුරුද්දෙ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බෝට්ටුවලින් ඉන්දියාවට ඇතුලුවෙන්න උත්සාහ කරමින් ඉන්නවය කියන තොරතුරක් නිසා ඉන්දියව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් තැබුවා.  
අපට මේ උවදුර පාලනය කරගන්න බැරිවුණොත් ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය විතරක් නොවෙයි මියෙන්මාරය, තායිලන්තය හා මැලේසියාව වගේ එපිටින් තියෙන රටවල් වලටත් විශාල තර්ජනයක් එල්ල වෙනවා.

ඒ නිසා මේ අලුත් ත්‍රස්තවාදී උවදුර ඒකාන්තයෙන්ම පරාජය කළ යුතුයි. 
අප අවට රටවල් සේරම මේ අවදානම හොදින් තේරුම් අරගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සහයෝගය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.  
කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් අපට මෙහෙයුම් කරන්න සිද්ධවුණත්, මේ අලුත් ත්‍රස්තවාදී උවදුර සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නෙ බුද්ධි මෙහෙයුම්. 

නමුත් අවාසනාවකට, පහුගිය අවුරුදු පහ මුලුල්ලෙම රටේ බුද්ධි අංශ අකර්මන්‍ය කරලයි තිබුණෙ. 
පැවතුන ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරල, හිරිහැරකරල බොරු චෝදනා උඩ හිරේටත් දැම්මා. මේ තත්වයට මූහුණදෙන්න වුණේ බුද්ධි අංශවලටවිතරක් නෙවෙයි. 

කොටි සංවිධානයට විරුද්ධව යුද්ධ කරපු සන්නද්ධ හමුදා ඉහළ තලයටම මේ දඩයමට මුහුණ දෙන්න වුණා. 
මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දීල මේ ආරක්‍ෂක ප්‍රධානීන් පොලීසියට ගෙන්නල නොයෙක් චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුවා.  

මේ විදියට යුද්ධ කාලෙ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් දෙදෙනෙකුත්, යුද හමුදාපතිවරුන් දෙදෙනෙකුත්, නාවුක හමුදාපතිවරුන් සිව්දෙනෙකුත්, ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියාවත් යුද හමුදාවේ පොලීසියේ, පොලිස් විශේෂකාර්යබලකායේ, නාවුක හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් විශාල ගණනකුත් මේ විදියට හිරිහැරයටත් අවමානයටත් පත් කෙරුවා. 

මෙයින් සමහර අය උසාවියට ඉදිරිපත් රකලා සති කීපයක ඉඳලඅවුරුද්දකටත් වැඩි කාලයක් දක්වා කාල පරිච්ඡේදවලට රිමාන්ඩ් කරල හිටිය. 
මේ ක්‍රියාදාමයේ පරමාර්තය වුණේ අපේ සන්නද්ධ හමුදා රණවිරුවන් නොව හොරුන් සහ මීනීමරුවන් යන අදහස ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවගේත් හිත් තුළට ඇතුල් කරන එකයි.  

ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේම සන්නද්ධ හමුදා අවමානයට ලක් කරල නැහැ. 
සන්නද්ධ හමුදා කියන්නෙ ජාතියක ආරක්‍ෂකයෝයි. 
2015 ජනවාරියේ ආණ්ඩු පෙරලියෙන් පස්සෙ මේ රටේ ඇතිවුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත වගේ තත්වයක්.
සන්නද්ධ හමුදා දඩයම් කරලා ඔවුන්ගේ ජීවගුණය බිඳ දමල, මහා සංඝරත්නය යටපත් කරල, මේ රටේ බහුතර ප්‍රජාව පාගල, දශක හතරක් පැවති සිවිල් යුද්ධයෙන් ලබාගන්න බැරිවුණු දේ ලබාගැනීමේ  උත්සාහයක් අපි පහුගිය අවුරුදු පහේදී අත්දැක්ක.  

පසුගිය ආණ්ඩුව ජිනීවානුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගිහිල්ලා විදේශීය විනිශ්චයකාරවරුන්ගේ හා පරිචෝදකයන්ගේ සහභාගීත්වය ඇතුව අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට පොරොන්දු වෙමින් ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත්ත හැටි අපි දැක්ක. 

ඒක කළේ ලංකාවේම ජනතාව බලයට පත්කරපු ආණ්ඩුවක්. අද ඒ පහුගිය අවුරුදු පහ තුළ සිද්ධවෙච්ච අකටයුතුකම් නැවැරදි කරන්න විශාල ජනවරමක් සහිතව ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව පත්කරල තියෙනවා. 
පහුගිය අවුරුදු පහ තුළදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විඳින්න සිද්ධ වෙච්ච අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කොට අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමටත් කටයුතු කරන බවට මම මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා. 
අපේ සන්නද්ධ හමුදාවලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබා දීමට ජාත්‍යන්තර මට්ටමෙන් අපි පියවර ගන්නවා." 


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.