පාස්කු ප්‍රහාරය සැඟ වූ කොටහේන පොලීසිය.



පාස්කු ප්‍රහාරය සැඟවීමට කොටහේන පොලීසිය වැරදි ලොග් සටහන් තබා ඇති බව ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණ විය.

ඒ අද(13) සහ ඊයේ(12) දිනයේදී කොටහේන පොලිසියේ නිලධාරීන් කොමිසම හමුවේ දුන් සාක්ෂිවලට අනුවයි. 
කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දුන් කොටහේන පොලිස් ස්ථානයේ ලේඛන භාරව කටයුතු කළ කොස්තාපල් ඒ.එල්.නලින් බණ්ඩාර මහතා පැවසුවේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනුවත් කිරීමේ ලේඛනය තමන්ට ලැබුණේ ප්‍රහාරයෙන් දින දෙකකට පසුව බවයි. 

කෙසේ වෙතත් එම දැනුවත් කිරීමේ ලිපිය ප්‍රහාරයට පෙර තමන්ට ලැබුණු බවට පොලිස් පොත්වල සටහන් කරන ලෙසට කොටහේන පොලිසියේ එවක ස්ථානාධිපති මහින්ද කරුණාරත්න මහතා තමන්ට දැනුම් දුන් බව කොස්තාපල්වරයා ප්‍රකාශ කළේය.

ඔහු කොමිසම හමුවේ පැවසුවේ, එම ලිපිය තමාට ලබාදෙන අවස්ථාවේදී ඒ අසල කිසිවෙකු නොසිටි බැවින් මේ පිළිබදව කිසිදු පුද්ගලයෙකු නොදන්නා බවට කරුණාරත්න මහතා තමන්ට අවධාරණය කළ බවයි. 

එමෙන්ම ප්‍රහාරයෙන් පසු අවස්ථා කිහිපයකදී එවක කොළඹ උතුර භාර පොලිස් අධිකාරි සංජිව බණ්ඩාර මහතා සහ ඔහුගේ පුද්ගලික සහකාර, උපේන්ද්‍ර නැමැති පුද්ගලයා තමන්ගේ ජංගම දුරකථනයට සහ පොලිසියේ ස්ථාවර ඇමතුම් අංකයට ගෙන එම ලේඛනය අන්තර්ගත කිරිම සිදුකලේදැයි තමන්ගෙන් විමසා සිටි බවයි. 

ඒ අනුව අප්‍රේල් 13 වැනිදා අදාළ ලිපිය ලැබුණු බවට පොලිස් පොත්වල සටහන් කළ බව කොස්තාපල් බණ්ඩාර මහතා සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේය. 
මෙවැනි වැරදි ක්‍රියා සිදුකලේ ඇයිදැයි යන්න විනිසුරු මඩුල්ල නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කොස්තාපල් බණ්ඩාර මහතා සඳහන් කළේ, කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ කීම මත තමන්ට එය කිරීමට සිදුවූ බවයි. 

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ කොටහේන පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂක එම්.සිරිසේන අබේසිංහ මහතා යි. 

ප්‍රහාරය වු දිනයේ තමන් ශාන්ත ලුසියා දේවස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිසියේ බීට්ටු රාජකාරි සඳහා පිටව ගිය වේලාව උදැසන 6.15 ලෙස සටහන් කළත් තමන් එම ස්ථානයට ගියේ බෝම්බ පිපිරිමෙන් පසුව පෙරවරු 8.45 ට බව පොලිස් පරීක්ෂක එම්. සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ඔහු මෙහිදී ප්‍රකාශ කළේ, ව්‍යාජ වේලාවක් සටහන් කර නිවසට වී සිටි තමන්ට කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා කතාකොට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරයක් එල්ලවු බවට දැන්වු පසු තමන් එම ස්ථානයට ගිය බවයි. 

ඉන් අනතුරුව තමන් යළි පොලිසිය වෙත පැමිණ රාජකාරි සඳහා පිටව ගිය වේලාව උදෑසන 9.45 බව සටහන් කළ බව ද ඔහු පවසා සිටියේය.

පොලිස් පරීක්ෂක එම්. සිරිසේන මහතා පැවසුවේ, මෙම සියලුම වේලාවන් කොටහේන පොලීසියේ ස්ථානාධිපති මහින්ද කරුණාරත්න මහතාගේ ඉල්ලිම මත යළි වෙනස් කළ බවයි.

එමෙන්ම, පොලිස් පොතේ පිටු අංක ගැළපෙන ආකාරයට 371 සිට 374 දක්වා නව පිටු අංක ඇතුළත් කළ බවද ඔහු කොමිසම හමුවේ පිළිගනු ලැබීය.

තමන් වැරදි තොරතුරු ඇතුළත් කළ බවට පොලිස් පරික්ෂකවරයා මෙහිදි පිළිගත් අතර නව තොරතුරු ඇතුළත් කිරිමේදි රාජකාරි සඳහා වැඩි පොලිස් නිලධාරින් පිරිසක් පිටව ගිය බවට තොරතුරු ඇතුළත් කල බවද ඔහු කොමිසම ඉදිරියේ පිළිගනු ලැබීය.

අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කොටහේන පොලිසියේ හිටපු ස්ථානාධිපති මහින්ද කරුණාරත්න මහතා සඳහන් කළේ,  21 වැනිදා ප්‍රහාරයට පෙර කිසිදු ලිපියක් තමන්ට නොලැබුණු බවත් ඒවා ප්‍රහාරය සිදුවූ දිනයේ පස්වරුවේදී පොලිස් අධිකාරි සංජිව බණ්ඩාරගේ පුද්ගලික සහකාර පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර විසින් තවත් නිලධාරියෙක් මගින් සිය පොලිස් ස්ථානයට එවා තිබූ බවයි. 

එමෙන්ම ප්‍රහාරය සිදුවූ දින රාත්‍රී 9ට පමණ පොලිස් අධිකාරි සංජිව බණ්ඩාර කොටහේන පොලිස් ස්ථානය වෙත පැමිණ අදාළ ලේඛන එවීමට නොහැකි වූ‍යේ ඒවා පුද්ගලික සහකාරවරයා අතින් අස්ථානගතවීමෙන් බවට තමන්ට පැවසූ බව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා කොමිසමේ හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, අදාළ ලේඛන  ප්‍රහාරයට පෙර පොලිස් ස්ථානයට ලැබුණු ආකාරයට සටහන් විය යුතු බවට පොලිස් අධිකාරී සංජිව බණ්ඩාර මහතා දුන් උපදෙස් අනුව  ක්‍රියාත්මකවීමට තමන් ලේඛනභාර නිලධාරියාට උපදෙස් දුන් බවයි.


No comments:

Ad
Powered by Blogger.