Ad

නිවාස අධිකාරිය මූල්‍ය අර්බුදයකසේවකයන්ට පඩි ගෙවීමත් අසීරුයි.

 
එජාප ජනාධිපති අපේක්ෂයාට ඡන්ද නොලැබේ යැයි බියෙන් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල නිවාස ණය වාරික එකතු කිරීම හිටපු පාලකයන් විසින් නතර කිරීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත. 
 
මේ නිසා දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ද නිවාස සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
සාමාන්‍යයෙන් නිවාස සංවර්ධන අධිකාරිය සිය සේවකයන්ට වැටුප් ගෙවීම සිදු කරන්නේ නිවාස ණය වාරික එකතුවීමෙන් ලැබෙන මුදල්වලිනි. වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අධිකාරියට මුදල් ලබාදීමක් සිදුනොකරන බව ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 

හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස විසින් විශේෂ උපදේශකවරයකු ලෙස දේශපාලන පත්වීමක් ලබා දුන් අයෙකු විසින් පසුගිය ඔක්තෝම්බර් මස අධිකාරයේ අදාළ අංශ වෙත ලිපියක් යවමින් නිවාස ණය එකතු කිරීම නතර කරන ලෙසට දැනුම් දී ඇත. එම දිනවල නිවාස ණය එකතු කළොත් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවන බව පවසමින් මෙම උපදේශකවරයා විසින් අදාළ නියෝගය ලබා දී තිබේ. 

මේ නිසා එම මාසයේත්, නොවැම්බර් මාසයේත් ණය වාරික එකතු වීම නතර වී ඇත. එකතු වී තිබෙන්නේ ඇතැම් ණය ලාභීන්ගේ වැටුපෙන් අඩුකර එවන වාරික මුදල් පමණි. මේ නිසා නිවාස අධිකාරියේ ආදායම ඉතා සීග්‍ර ලෙස කඩා වැටී ඇති අතර නොවැම්බර් මාසයේ ගෙවන වැටුප ගෙවා ඇත්තේ භාණ්ඩාගාරයෙනි. බිල්පත්වල ආයෝජනය කර ඇති අධිකාරි​යේ මුදල් නිදහස්කර ගැනීමෙනි. 

එහෙත් දෙසැම්බර් මස ගෙවන වැටුප් මෙන්ම පුනරාවර්තන වියදම් වෙනුවෙන්ද වැඩ කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නිවාස සංවර්ධන අධිකාරියට ලැබී නැත. එනිසා එළඹෙන උත්සව කාලයේ සේවකයන්ට වැටුප ගෙවීමට ද අර්බුදයකට ලක්ව ඇතැයි ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
අප මේ පිළිබඳ නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධගෙන් විමසීමක් කළෙමු. 

සජිත් ප්‍රේමදාසගේ​ කෙටි පණිවුඩය මගින් අදහස් හුවමාරු කරගත්තා කියා එතුමාගේ උප​දේශකයෙක් සෑම දිස්ත්‍රික් කළමනාකරුවකුටම ලිපියක් එවා තිබෙනවා. ණය අය කර ගැනීමෙන් මිනිසුන් ඡන්දෙ දෙන්නේ නෑ. එනිසා මේ ණය අයකර ගැනීම ඉලක්කයට අනුව සිදු නොකරන ලෙසයි මේ ලිපියෙන් ඇඟවෙන්නේ. 

මේ ලියුමේ පිටපත් අප ළඟ තිබෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් පුත්තලමේ එකතු විය යුතු ණය වාරික ප්‍රමාණය මිලියන 19ක්. ඒත් මිලියන තුනයි එකතුවන්නේ. අධිකා​රියේ සිටි එක්දහස් ගණනක සේවක සංඛ්‍යාව සජිත් ප්‍රේමදාස හාරදහස් ගණනාවක් දක්වා වැඩිකරලා තියෙන්නේ. මේ නිසා නිවාස සංවර්ධන අධිකාරිය විශාල මූල්‍ය අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ යැයි රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.