Ad

චීනය ප්ලාස්ටික් බෑග් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට සැරසෙයි.

ප්ලාස්ටික් භාවිත කරන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක සිටින චීනය, තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් සිය රට පුරා තහනම් කිරීමේ දැවැන්ත සැලැස්මක් හෙළි කර තිබේ.

2020 වර්ෂ අවසානයේ දී ප්‍රධාන නගරවල සහ 2022 වන විට සියලු නගරවල දිරාපත් නොවන පොලිතින් තහනම් කරනු ඇත.

එමෙන්ම, 2020 අවසානයේ දී ආපනශාලා කර්මාන්තය තුළ එක්වරක් පමණක් භාවිත කර ඉවතලන බීම බට ද තහනම් කිරීමට කටයුතු කරනු ඇත.

බිලියන 1.4ක ජන ගහනයක් සිටින චීනය තුළ වසර ගණනාවක සිට කැලි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලු පැන නැගී තිබිණි.

එරට පිහිටි විශාලතම කසළ බැහැර කරන ස්ථානය පාපන්දු පිට්ටනි සියයක් තරම් විශාල වන අතර, එය සැලසුම් කළ කාලයට වඩා වසර 25කට පෙර පිරී ඉතිරී ගොස්ය.

2017 වසරේ පමණක් නාගරික නිවාසවලින් ඉවත දමන කැලි කසළ ටොන් මිලියන 215 ක් චීනය තුළ එකතු කර තිබේ. නමුත්, ජාතික කසළ ප්‍රතිචක්‍රීකරණයට අදාළ දත්ත හෙළි වී නොමැත.

2010 වර්ෂයේ දී පමණක් චීනය තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන හැටක් එකතු වී ඇති අතර, ඇමරිකාව තුළ ටොන් මිලියන 38ක් තිබූ බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ Our World in Data යන වාර්තාවෙන් සඳහන් වන්නේය.

වෙනස් වී ඇත්තේ කුමක් ද?

චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිසම නව ප්‍රතිපත්ති හෙළි කරමින් පැවසුවේ මීළඟ වසර පහ තුළ ඒවා ක්‍රියාවට නංවන බවය.

2022 වන විට සියලු නගරවල ප්ලාස්ටික් භාවිතය තහනම් වන නමුත්, නැවුම් ආහාර අලෙවි කරන වෙළෙඳසැල්වලට 2025 දක්වා මෙම තහනම බලපවත්වනු නොලැබේ.

මිලිමීටර 0.025 ක ඝනත්වයට වඩා අඩු ප්ලාස්ටික් මළු නිෂ්පාදනය සහ විකිණීම ද තහනම් වනු ඇත.

ආපනශාලා කර්මාන්තය ද තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් භාවිතය 30% කින් අවම කළ යුතුය.

තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික්වලින් තැනූ ද්‍රව්‍ය හෝටල්වලින් නොමිලේ ලබා දීම 2025 වන විට නතර කළ යුතු බවට දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, ප්ලාස්ටික් භාවිතයට එරෙහිව චීනය සිදු කරන පළමු ව්‍යාපාරය මෙය නොවේ.

සිල්ලර සාප්පු හිමියන් සිය පාරිභෝගිකයන්ට නොමිලේ ප්ලාස්ටික් බෑග් ලබා දීම මෙන්ම ඝනත්වය අඩු ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනය ද 2008 වර්ෂයේ දී තහනම් කෙරිණි.

වරක් ලෝකයේ විශාලතම ප්ලාස්ටික් අපනයනය කරන්නා බවට පත්ව සිටි චීනය, විදෙස් රටවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කිරීම 2017 වසරේ දී තහනම් කළේය.

ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් දැඩි පියවර ගත් එකම ආසියාතික රට චීනය පමණක් නොවේ.

තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් මළු ප්‍රධාන වෙළෙඳසැල්වල තහනම් කිරීමට තායිලන්තය මෙම වසරේ මුල දී ක්‍රියා කළ අතර, 2021 වන විට මෙම තහනම රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2020 ජුනි මස වන විට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සාම්ප්‍රදායක පොළ, සුපිරි වෙළෙඳ සැල් සහ විශාල වෙළෙඳසැල්වල තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් මළු තහනම් කෙරෙනු ඇත.

ඉන්දුනීසියාවේ බාලි දූපත ද තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් තහනම් කළේය.

එමෙන්ම, නීතිවිරෝධී ලෙස මැලේසියාවට ගෙන් වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් නැවත හරවා යැවීමට ක්‍රියා කර තිබේ.

2018 වර්ෂයේ සිට වැඩි ආදායම්ලාභී රටවලින් මැලේසියාව වෙත ප්ලාස්ටික් අපද්‍රව්‍ය යැවීම ආරම්භ කර ඇති අතර, නීතිවිරෝධී ලෙස ගෙන්වන ප්‍රමාණය නවතාලීමට බලධාරී දැඩි ලෙස උත්සහයක නිරත වෙති.

2017 සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් මළු භාවිතය මෙන්ම නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගන්නා ලදී.

ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට රටවල් පනහක් මේ වනවිට විවිධ පියවර ගෙන ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් 2018 වසරේ දී නිකුත් කළ වාර්තාවක සඳහන් විය.

ශ්‍රී ලංකාවේ ස්ටයිරෝෆෝම් (Styrofoam) භාවිතය තහනම් කිරීමටත්, ගලපාගෝස් දුපත්වල තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීමටත්, චීනය දිරාපත් වන ප්ලාස්ටික් බෑග් භාවිතයට යොමු වීමටත් කටයුතු කරමින් සිටින බව එම වාර්තාවේ ඇතුළත්ව ඇත.

ගංගා සහ සාගරයට මහා පරිමාණයෙන් ප්ලාස්ටික් එකතුවීම අවම කිරීමට තවත් බොහෝ පියවර අනුගමනය කළ යුතු බව එම වාර්තාවේ කතුවරු අනතුරු අඟවති.

බොහෝ රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ඉතා හොඳ ප්‍රතිපත්ති හඳුන්වා දී ඇතත්, ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

පොලිතීන් පාලනයට ශ්‍රී ලංකාව ගත් පියවර සම්බන්ධයෙන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව වෙතින් යම් විරෝධයක් පළවූ අතර 'පොලිතින් භාවිතය තහනම් කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ' එකම රට ශ්‍රී ලංකාව විය හැකි යයි එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද බොහෝ යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

[BBC]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.