ඉදිරි මහ මැතිවරණයේදී භික්ෂූන්ට අපේක්ෂකත්වය නෑ ?


ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහනාහිමිවරුන්ට දැනුම්දී ඇති බවට වාර්තා වෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ කාරක සංඝ සභාවේ නායක හිමිවරුන් භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

එමෙන්ම භික්‍ෂූන් වහන්සේලා මන්ත්‍රීවරුන් ලෙස පත්වීමෙන් පසුව උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අස්ගිරි මහානායක පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ඥානරතන හිමියන් ඇතුළු සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.

එම සාකච්ඡාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.බී. දිසානායක, ආනන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න යන මහත්වරුන් සහභාගි වී තිබෙනවා.

ඒ අනුව, කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් එලෙස භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය නොදීමට තීරණය කර ඇති බවත්, අනිකුත් පක්‍ෂ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත්ය.

ඉදිරි මහ මැතිවරණයේදී සුදුසු පුද්ගලයන්ට පමණක් අපේක්‍ෂකත්වයන් ලබාදීමට කටයුතු කරන ලෙසද නායක හිමිවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

No comments:

Ad
Powered by Blogger.