Ad

රෝහන විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි.


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහන විජේවීර මහතා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එය අද(16) සිසිර ද ආබෲ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බලනු ලැබුවා.

එහිදී එම මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අතුරුදන්ව සිටින සිය සේවාදායිකාවගේ සැමියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ඇය මුලින්ම අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කළ බවයි.
එහෙත් එය සලකා බැලූ අභියාචනාධිකරණය වසර තිහකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරමින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බවද නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

එම අභියාචනාධිකරණ නියෝගය බල රහිත කර මෙම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චිත්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි ඇයගේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ.

එහිදී ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැති බවයි.

එබැවින් වසර තිහක් ගත වීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයගේ නීතිඥවරයා තර්ක කර සිටියේ.

සිය සේවාදායිකාවට පැවති බිය සහ ජීවිත තර්ජන හේතුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇය ඉදිරිපත් නොවූ බවද නීතිඥවරයා කරුණු දක්වා තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බවයි සඳහන් කළේ.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.