Ad

ආණ්ඩුව බයවෙයි: ණය සීමාව ඉහළ නංවා ගැනීමේ යෝජනාව අකුළා ගනී.

පසුගිය වසරේ ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් එක් කරමින් රජයේ ණය සීමාව ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු යෝජනාව ඉල්ලා අස්කර ගෙන තිබේ. 

මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටීමට සූදානම් වන බව දැනගන්නට ලැබීම නිසා මෙසේ එය ඉල්ලා අස්කර ගන්නා බවයි සභානාය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. 

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ ආසන 89ක් පමණක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම් අවස්ථාවක මුදල් පනතක් පරාජයට පත්වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරියාක් මෙන් සැලකේ. 

මහින්දට ණය ගෙවන්න බැරිනම් දිනේෂ් කොහොමද ණය සීමාව උස්සන්නේ - සජිත් 

ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස්කර ගැනීමේදී ජනතාව වෙත වැරදි පණිවිඩයක් යන හෙයින් එය නිවැරදි කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු දක්වන අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය. 

පහැදිලි ලෙසම විපක්ෂය විරුද්ධ වන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට නොව ණය සීමාව වැඩි කිරීමට බව විපක්ෂ නායකයා පැවසූ අතර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගොස් ණය ගෙවීමට බැහැ කියද්දී අනෙක් පැත්තෙන් ණය සීමාව වැඩි කරන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කරන ලදි.

ආණ්ඩුව ණය සීමාව වැඩිකරගන්න හැදුවේ ඡන්දෙට වියදම් කරන්න සල්ලි හොයාගන්නයි - මංගල

මේ අතර අතුරු සම්මත ගිණුමට සංශෝධන එක් කරමින් ණය සීමාව ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව උත්සාහ කළේ පසුගිය රජයේ හිඟමුදල් පියවීමේ අරමුණින් නොව මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කිරීම සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

පසුගිය රජයේ හිඟ මුදල් ගෙවීමට නම් එය මීට පෙර කළ හැකිව තිබියදී පෙබරවාරි මාසය තෙක් කල්දැමුවේ මන්දැයි ඒ මහතා ප්‍රශ්න කළේය.

"අපි වෙන් කරපු මුදලෙන් කොටසකුත් පාවිච්චි නොකර, දැන් ඇවිල්ලා කියනවා අපට හදිසියේම සල්ලිත් ඕනෙලු, ණය ගැනීමේ සීමාව වැඩි කරගන්න ඕනෙලු. හැබැයි මොකකටද කියලා කියන්නෙ නෑ. මේක බැලුවාමත් පේනවා මේක ජනතාවට දෙන සහනයක් නෙවෙයි, මේකත් මැතිවරණයක් සඳහා සල්ලි වියදම් කරන්න බලාගෙන ගෙනාපු එකක්. 

හැම අවුරුද්දෙම අන්තිමේ යම්කිසි මුදලක් ඉතුරු වෙනවා ගෙවන්න. අනිත් එක ඒ මුදල පෙබරවාරි වෙනකල් ඉතුරු කරන් ඉන්න ඕනෙ නෑ. දැන් උදාහරණයක් හැටියට 2018 අන්තිමට දින 52 ආණ්ඩුවක් තිබ්බනෙ. ඒ දින 52 ආණ්ඩුව තිබිලා බිලියන 99ක නොගෙවපු බිල් තියලා ගියේ. ඒ දින 52ට. අපි ඒ බිලියන 99 පෙබරවාරි වෙනකොට ඔක්කොම ගෙවලා ඉවරයි. 

මේ අයට අපි ලබාදීපු මුදල් තුළින් පරිපාලනයක් තියෙනවා නම් ඕනෙ තරම් කටයුතු කරන්න තිබුණා. ජනතාවාදී අයවැයක් ගේන්න, ඒ අය ලබාදීපු පොරොන්දු ඉටු කරන්න, එහෙම ගේන අයවැයකදී අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියද්දි තමයි ඒක ගේන්නෙ නැතුව මේ විදියට හොර පාරෙන් මේ අය එන්න හදන්නෙ. අනාගත්ත ආර්ථිකය තවදුරටත් ගොඩගැනීමට කරන උත්සාහයකට වඩා එය වසන් කරගැනීමේ උත්සාහයක් හැටියටයි අපි දැක්කෙ" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය. 

මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට, විශ්‍රාමිකයින්ගේ දීමනාව වැඩි කිරීමට මෙන්ම ගම්පෙරළිය ව්‍යාපෘතිය සඳහා ද මාස 4ක් වෙනුවෙන් තමන් අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර තිබුණු බවත් හිටපු මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.