නිදහස් සන්ධානය සම නායකත්වය ගැන කිසිදු ඉල්ලීමක් කර නෑ



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම නායකත්වය පිළිබඳ කිසිදු ඉල්ලීමක් කර නැතැයි මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (13දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. “අපේ පැත්තෙන් කිසිම කෙනෙක් සම නායකත්වයක් පිළිබඳ ඉල්ලීමක් කරලා නෑ. ඒවා ගිවිසුම්වල තියෙන කාරණා. ඒවා අපට ප්‍රශ්න නෙවෙයි. අපි තනතුරුවලට රණ්ඩු වෙන්නේ නෑ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ආකාරයක බෙදීමකට යන්න හෝ ගැටුමකට යන්න සූදානම් වෙන්නේ නෑ. මොකද ඒකෙන් රටටත්, අපි හදාගන්න ඉන්න ආණ්ඩුවටත්, ජනාධිපතිතුමාටත් හොඳක් වෙන්නෙ නෑ. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම නිසා එතන ගුටි හුවමාරුවක් විතරයි නැත්තේ. අපට එහෙම අවශ්‍ය වෙන්නේ නෑ.

පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් වැඩ කළා. ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරු වැඩ කළා. ජනතාව වැඩ කළා. ඒ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතාත් අගය කිරීම් කරලා තියෙනවා.

ඒ වගේම තමයි මැතිවරණයක් එනකොට ප්‍රශ්න එයි. මනාපවලටනේ මේ ගොඩක් දේවල්. මනාප සටන් එයි. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී මඩ, වෛරී ප්‍රකාශ, වෛරී දේශපාලනය මතුවෙන බවට සලකුණු මතු වෙනවා. ජනතාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි මේ කුලල් කා ගැනීම්.

අපි විනයකින් කටයුතු කරනවා. පොදුජන පෙරමුණේ නායකත්වයත් විනයකින් කතා කරන බව පේනවා. යටින් යටින් කට්ටිය විරුද්ධ දේවල් කියනවා. අපෙත් සමහර අය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් වෙනම තරග කරන්න ඕන කියලා. සමහරු පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්න ඕන කියලා කිව්වේ. අපි සමස්ත විදියට ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම දේවල්වලට සම්බන්ධ වෙන්නේ නෑ.

මං දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ අගමැති හැටියට වැඩ කරන්නත් කැමතියි කියලා. නමුත් අපි කැමති නෑ එතුමා අගමැති හැටියට පිළිගන්න යනුවෙන් පවසා සිටියේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.