Ad

ලංකාවේ කිසිම මාධ්‍යයක් ‌හෙළි ‌නොකරපු පාස්කු ‌බෝම්බයේ ‌ලොකුම ‌හෙළිදරව්ව ‌මෙන්න...


පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධවී අදට හරියටම මාස 10යි දින 8කි. පාස්කු ප්‍රහාරයට අවුරුද්දක් පිරීමට නියමිතව ඇත්තේ තවත් හරියටම මාස එකහමාරකට ආසන්න කාලයකි.

 ඉකුත් ආණ්ඩුව සමයේදී නම් පාස්කු ප්‍රහාරය සිදුවී මාසයක් පාසා ඒ සම්බන්ධයෙන් මෙරට සියලුම මාධ්‍ය ආයතනත්, සමාජ මාධ්‍ය ජාලාත් ආණ්ඩුවට එරෙහිව විශාල ඝෝෂාවක් නැඟුවත් නව රජය බිහිවීමත් සමඟ ඔවුන්ටද එවැනි ප්‍රහාරයක් සිදුවූ බවට මතකයේ නැති ආකාරයක් පෙනෙන්නට තිබේ. ඉකුත් සමයේ විපක්ෂයේ සිටියදී දේශපාලනඥයන් රැසක්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවත් සියලු දෙනාටම තරාතිරම නොබලා තම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබාදෙන බවට පාරම්බෑවද ඔවුන්ද අද ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකියා නිහඬ පිළිවෙතක සිටින බව දැකගන්නට තිබේ.

කෙසේ වෙතත් හෙළිදරව් කරන්නට යන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් රටට හෙළිදරව් නොවුණු අතිශය රහසිගත කාරණයකි. දැනට රටම දන්නා කාරණය වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමඟ ඒ වන විට සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කොමිෂන් සභාවක් පත්කරනු ලැබූ බවකි. නමුත් ඒ වාර්තාව කිසිදු නීතිමය බැඳීමක් නොමැති එකක් වන අතර එම වාර්තාවට සිදුවූ දේ කුමක්ද යන්නවත් අද වන තෙක් කිසිවකු දන්නේ නැත.

ඉන් අනතුරුව මේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් කවුරුන්ද යන්න සොයා බැලීම සඳහාත්, එවැනි ප්‍රහාරයක් යළි නොවන ලෙසට ගතයුතු නිර්දේශ මොනවාද යන්න සොයා බැලීම සඳහාත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම තේරීම් කාරක සභාවට රවුෆ් හකීම්, රවි කරුණානායක, රාජිත සේනාරත්න, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, නලින්ද ජයතිස්ස, ආශු මාරසිංහ සහ ජයම්පති වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළත් වූහ. 

පිටු 282කින් යුත් එම කමිටුවේ අවසන් වාර්තාව 2019 ඔක්තෝබර 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එම කමිටුව සමත් වූහ. එම නිසා මේ කමිටුව ගැනත්, එහි අවසන් වාර්තාව ගැනත් එකල මාධ්‍ය කතාකළ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් එකල තරමක දැනුවත් වීමක සිටියහ. 

නමුත් එම අවස්ථාවේදී මෙරට සියලුම මාධ්‍ය හිතාමතා හෝ එසේ නොමැතිව මෙම පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාවේ තිබූ ඉතා වැදගත් කරුණු පිළිබඳව අධානය යොමුකර තිබුණේ නැත. 

අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් සංවාදයක් හෝ ගොඩනැඟීමට මාධ්‍ය කටයුතු නොකළ නිසා එහි අඩංගුව තිබෙන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන්වත් රටේ ජනතාවට කිසිදු දැනුමක් තිබුණේ නැත.

ඒ අනුව අප මෙවර හෙළිදරව් කරන්නේ කිසිදු මාධ්‍යයක් කතා නොකළ, කිසිදු මාධ්‍යයක් මගින් හෙළි නොකළ, අවම වශයෙන් කමිටු වාර්තාවේ තිබුණා යැයි කියා කිසිදු තැනක සඳහන් නොවුණු කරුණක් පිළිබඳවය. ඒ හිටපු යුද හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෙම අවසන් වාර්තාවට එක්කොට තිබුණු පිටු 50කින් යුත් වෙනම වාර්තාවක් සම්බන්ධයෙනි. 

ෆොන්සේකා මහතා විසින් මෙවැනි පෞද්ගලික වාර්තාවක් අවසන් වාර්තාවට එක්කොට ඇති බවක් මීට පෙර එම කමිටුව නියෝජනය කළ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් හෝ අවම වශයෙන් ෆොන්සේකා මහතා විසින් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකර සිටීම මෙහිදී දක්නට ඇති විශේෂම සිදුවීමය.

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යනු මේ රටේ හිටපු යුද හමුදාපතිවරයෙකි. නිකම්ම නිකම් යුද හමුදාපතිවරයෙක් නොව තිස් වසරක් පුරා මෙරට වෙළාගෙන පැවැති ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය අතුගා දැමීමට යුද හමුදාවට අණදුන් හමුදාපතිවරයාය. ලොව හොඳම යුද විශිෂ්ටයකු ලෙස සම්මානයට පාත්‍ර වූවකු එම නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමේදී අදාළ සිද්ධීන් පිළිබඳව හරියටම දැනගෙන සිටියේ ෆොන්සේකාය.

 හදිසි අවස්ථාවකදී රටේ ප්‍රධානියා ලෙස සන්නද්ධ හමුදාවන්හි සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයාගේ කාර්යභාරය, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, බුද්ධි අංශ ප්‍රධානීන්, පොලිසිය ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවල කාර්යභාරය පිළිබඳව ෆොන්සේකා මහතාට ප්‍රාමාණික දැනුමක් තිබේ. ඊට අභියෝග කිරීමට මෙම කමිටුව නියෝජනය කළ කිසිවකුට නොහැකිය.

ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සෑම දෙනකුගෙන්ම සිදුව ඇති අතපසුවීම්, වගකීම් විරහිත බව සහ නොදැනුවත්භාවය පිළිබඳව ඉතා හොඳින් දැනගෙන සිටියේ ෆොන්සේකාය. මේ නිසා සාමාජිකයන් විසින් සකස් කළ අවසන් කමිටු වාර්තාව කියවා බැලීමේදී එහි ඉතා බරපතළ අඩුපාඩු තිබූ බවක් ෆොන්සේකාට පැහැදිලිවම දැකගන්නට ලැබිණි. 

ඒ අනුව ෆොන්සේකා කළේ කමිටු සාමාජිකයකු වශයෙන් තමන්ට ඇති අත්දැකීම් සහ තම දැනුවත්භාවය අනුව විශේෂ පෞද්ගලික වාර්තාවක් එම අවසන් වාර්තාවේ ඇමිණුමක් ලෙස ඇතුළත් කිරීමට ෆොන්සේකා පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුළු සාක්ෂිකරුවන් 55 දෙනකුගෙන් ගත් සාක්ෂිවලින් ඔවුන් තම රාජකාරි වගකීම් විරහිත ලෙස පැහැරහැර ඇති ආකාරය ඊට ඇතුළත් කිරීමට ෆොන්සේකා කටයුතු කළේය.

ඒ අනුව මෙවර අපි ‘මව්රට’ පුවත්පත ඔස්සේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ එම සාක්ෂිකරුවන් පිළිබඳව ෆොන්සේකා මහතා දක්වා ඇති අදහස්ය. අප එය ආරම්භ කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ය. ඉදිරි සතිවලදී ෆොන්සේකා මහතා අගමැති ඇතුළු අනෙකුත් සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් පළකර ඇති අදහස් අවසන් වශයෙන් ඉදිරිපත් කර ඇති නිගමන හා වගකිවයුත්තන් පිළිබඳ කොටසද රටටම දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමට සූදානම්ය. 

ආරක්‍ෂක මණ්ඩලයට පොලිස්පතිව කැඳවා නෑ
ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා විසින් 2018 නොවැම්බර් 13 වැනි දින ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමේදී පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට විරුද්ධව සාකච්ඡා කළ දේ (මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ නිලධාරියකු බව) ලිඛිතව සඳහන් කොට එම නිලධාරියා 2018 නොවැම්බර් 18 වැනි දින රහස් පරීක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් පිටතට මාරු කරන බව සඳහන් කොට ජාතික පොලිස් කොමිසමට ලිපියක් යැවූ නිසාත්, පොලිස්පතිවරයා ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට පැමිණ ජංගම දුරකතන දෙකක් අතැතිව ඒවා ක්‍රියාකරවීම කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් සිටි නිසාත් පොලිස්පතිවරයා ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට පැමිණීම නැවැත්වූ බවය.

කෙසේ වෙතත් පොලිස්පති ප්‍රකාශ කළේ ඔහුව ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවීම 2018 ඔක්තෝබර් මස 23 වැනි දින සිට නවතා දමන ලද බවයි. මෙම දිනය ගැන පරස්පරභාවයක් තිබුණද එම කරුණ පොලිස්පතිවරයා ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවීම නැවැත්වීමට ප්‍රමාණවත්ද යන්න ගැටලුවක් වෙයි. තවද පොලිස් පරීක්‍ෂකවරයකු මාරු කිරීම වැනි පරිපාලන කටයුත්තක් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලදී සාකච්ඡා කිරීම සම්ප්‍රදාය විරෝධී කටයුත්තකි.


ආරක්‍ෂක ඇමැති ගැන ඇහුවාම තවත් ප්‍රශ්නයක් අහලා
සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරකම් ගැන නිතරම 2011 සිටම ආරක්‍ෂක මණ්ඩලයේදී සාකච්ඡා කර තිබිණි. නමුත් ආරක්‍ෂක මණ්ඩලයට ඔහු ත්‍රස්තවාදියකු ලෙසට වාර්තා වී නොමැත. ඔහු පිළිබඳව වාර්තා වූයේ අන්තවාදියකු ලෙස යැයි ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේය. විශාල බුද්ධි අංශ තිබුණද, මෙම ත්‍රස්තවාදය ගැන වාර්තා නොවුණු බවද ප්‍රකාශ කළේය. 

ඒ අනුව, බුද්ධි අංශ විසින් නියමිත රාජකාරිය ඉටුකර නොමැති නම් ආරක්‍ෂක යාන්ත්‍රණය දුර්වල වන අතර, ආරක්‍ෂක යාන්ත්‍රණය දුර්වල වන්නේ නම් ආරක්‍ෂක අමාත්‍යවරයා ඒ පිළිබඳ වගකිව යුතු වන්නේය. එම නිසා, මෙම ත්‍රස්තවාදය මඟින් විශාල විනාශයක් කිරීමට පෙර එය නවතා ගැනීමට නොහැකිවීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍ය ජනාධිපතිතුමන් පැවැසූයේ ‘එහෙම වෙන්නේ කොහොමද? ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාපති සමයේ යුද හමුදා මූලස්ථානය තුළම මරාගෙන මැරෙන ප්‍රහාරයක් හමුදාපතිට එල්ල වුණා.


 එතකොට ඒක නොවැළැක්වීමේ වගකීම හමුදාපති ගන්නවාද?’ යන්නයි. මෙම තත්ත්වය වර්තමාන ප්‍රශ්නයට අදාළ නොවේ. හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූයේ සටන් විරාමයක් හා සාම කතා පවතින අවධියකදීය. එවැනි කාලවලදී හමුදා ප්‍රහාරක බුද්ධි මෙහෙයුම් සම්පූර්ණයෙන් නවතාලනු ලබයි. එවිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල බුද්ධි අංශයට විශාල නිදහසක් ලැබේ. ඔවුන් නිදැල්ලේ හැසිරෙයි.

 හමුදා අත්අඩංගුවට ගැනීම් නවතාලයි. තවද මෙම ප්‍රහාරය එල්ල වන විට යුද හමුදාපති ලෙස පත්වී මාස 4ක් පමණි. මේ කාලයේ හමුදාපතිතුමා, තමාගේ හෝ තම මූලස්ථානයේ ආරක්‍ෂාව සෙවීමට වඩා ප්‍රමුඛත්වය දී කටයුතු කළේ සටන් පෙරමුණේ අවශ්‍යතාවන් හා සූදානම බව ගැන සොයා බැලීමටය. කෙසේ වුවද, යුද හමුදා මූලස්ථානයේ තිබූ භටයන් 200කින් යුක්ත සේවා මුරයට, සෙබළුන් 400ක් යෙදවීමටද සේවා මුරය භාරව සිටි කර්නල්වරයා වෙනුවට මේජර් ජනරාල්වරයකු යෙදීමද හමුදාපති විසින් සිදුකොට තිබිණි. 

කෙසේ වුවද, හමුදා මූලස්ථානයේ සේවා මුරයේ සේවයේ යෙදෙන මුර සෙබළුන් හෝ බංකර් යනාදිය පරීක්‍ෂා කිරීම හමුදාපතිගෙන් බලාපොරොත්තු විය නොහැකිය.

කවුරු හරි කියපු බොරුවක් ඇවිත් කිව්වා
තවද ජනාධිපතිතුමන් ඔහුට යම්කිසිවකු විසින් පැවසූ සම්පූර්ණ අසත්‍ය තොරතුරකට රැවටී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපති හැටියට යුද බිමට සෙබළුන් 1,500ක් යැවූ අවස්ථාවක ඉන් එක් අයකු හෝ ආපසු නොආ බවද හාස්‍යයෙන් පැවැසීය. 

මෙවැනි දේ පැවැසීම පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුත්තට අදාළ නොවේ. කෙසේ වුවද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එය සාවi කරුණක් බවත්, එක් වතාවකදී වැඩිම සංඛ්‍යාවක් හමුදා සෙබළුන් මියගියේ මුහමාලේ සිදුවූ සටනකදී බවත් එම ප්‍රමාණය 1,50ක් පමණක් බවත් එම අවස්ථාවේ ත්‍රස්තවාදීන් 300ක් මියගිය බවත් ප්‍රකාශ කළේය. 

කෙසේ වුවද, යුද පෙරමුණේ ජීවිත පූජාවෙන් සටන් කරන විට සිදුවන හානි පිළිබඳව ජනාධිපතිතුමන් හාස්‍යයෙන් යුතුව කතා කිරීම සදාචාරාත්මක නොවන කරුණකි. තවද එකී මුහමාලේ සටන මෙහෙය වූයේ වර්තමාන යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාය. 

නමුත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම පහළ නිලධාරීන් පිට දමා ඔවුන්ට දඬුවම් කළ ආකාරයට ක්‍රියා නොකොට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මුහමාලේ සටනේ සිදුවුණු පාඩුව කනිෂ්ඨ නිලධාරීන් මත පැවරීමට මාධ්‍ය දැරූ උත්සාහයන්ට විරුද්ධව කතා කරමින් එම සටනේ සම්පූර්ණ වගකීම යුද හමුදාපති විසින් ගන්නා බව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළේය. නායකයන් කටයුතු කළ යුත්තේ එලෙසය. ප්‍රධානීන් ඇඟ බේරා ගැනීමට කණිෂ්ඨයන් පිට වරද පැටවීම බියගුලු ක්‍රියාවක් වන්නේය.


ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරේ වැදගත්කම මෛත්‍රිපාලට වැටහිලා නෑ
2019 අප්‍රේල් 4 වැනි දින ප්‍රහාර පිළිබඳව මිත්‍ර රටකින් ලැබුණු බුද්ධි තොරතුර ගැන අප්‍රේල් 21 වැනි දින ප්‍රහාරය සිදුවනතුරුම ජනාධිපතිතුමන් දැනුවත් නොවුණේ එම කාලය ඇතුළත එනම් සති දෙකකටත් වැඩි කාලයක් ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම් නොපැවැත්වුණු නිසා දැයි ඇසූ විට ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම් නොතිබුණද අප්‍රේල් 14 (සිංහල අලුත් අවුරුද්ද දවසේ විය යුතුය) පොලිස්පති හා ආරක්‍ෂක ලේකම් යන දෙදෙනාම මුණගැසුණු බවත් අප්‍රේල් 16 වැනි දින ජනාධිපතිතුමන් රටෙන් බැහැරව යන අවස්ථාවේදී පොලිස්පතිවරයා ගුවන් තොටුපොළට පැමිණියද එහිදී හෝ මෙම කරුණ දැනුම් නොදුන් බවත්, අප්‍රේල් 12 වැනි දින මඩකළපුවේ හා වෙනත් ස්ථානවලදී පොලිස්පතිවරයා හමුවූ නමුදු මෙම තොරතුර පිළිබඳව දැනුම් නොදුන් බවය.

 තවද මෙවැනි තොරතුරක් ලැබුණහොත් අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමන්ගේ අවසර අනවශ්‍ය බවත් ජනාධිපතිතුමන් පැවැසීය. මෙවැනි තොරතුරක් ලැබුණු විට ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවීමම අවශ්‍ය නොවන බවද ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේය. මෙම පිළිතුරෙන් පෙනී යන්නේ මෙවැනි තොරතුරක් ලැබුණු විට අවශ්‍ය පියවර ගැනීමට තදබල තීරණ ගතයුතු බව ජනාධිපතිතුමන්ට නොවැටහෙන බවයි. 

මෙම තොරතුර අනුව නිසි පියවර ගත්තේ නම්, එනම් කොළඹට ආරක්‍ෂාව සැපයීම, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ආරක්‍ෂාව සැපයීම, මාර්ග බාධක යෙදවීම, පුද්ගලයන් හා වාහන පරීක්‍ෂා කිරීම වැනි සියල්ල ඉටුකළ යුතුය. එවැනි පියවරවලදී ජනතාවට විශාල වශයෙන් කරදරවලට මුහුණ දීමට සිදුවෙයි. 

එම නිසා මෙම තීරණ ගතයුත්තේ ආරක්‍ෂක මණ්ඩලයේ සිටින සියලුම දෙනා දැනුවත්ව හා සාකච්ඡා කොට අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමන්ගේ අවසරය ඇතිවය. මෙම තත්ත්වය තවමත් ජනාධිපතිතුමන්ට නොවැටහෙන බව එතුමන් ලබාදුන් පිළිතුරු අනුව පෙනී යයි. 

ආරක්‍ෂක මණ්ඩල රැස්වීම ගැන දුන් පිළිතුරෙන් සෑහීමට පත්වෙන්න බෑ‍
ආරක්‍ෂක මණ්ඩලය යුද සමයේදීත්, සාමය ඇති විටත් ඕනෑම රටක සාම්ප්‍රදායානුකූලව නියමිත වේලාවට (සතියකට වරක්) නිශ්චිත තැනක පවත්වන්නේ තදබල ලෙස ආරක්‍ෂාවට අදාළ කටයුතු ගැන තීරණ ගැනීමටත්, නියෝග දීමටත් ආරක්‍ෂක මණ්ඩලයේ සියලු ප්‍රධානීන් සිටිය යුතු නිසා නොවේද යනුවෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයට ජනාධිපතිතුමන්ගේ පිළිතුර වූයේ කොහේදී හෝ මෙම තොරතුර ලබා දුන්නා නම් ආරක්‍ෂක මණ්ඩලය කැඳවිය හැකිව තිබුණේය යන්නය. මෙම පිළිතුර ප්‍රශ්නයට අදාළව සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොවේ. 

රාජ්‍ය බුද්ධි අධක්‍ෂ සම්පූර්ණ වගකීම භාරගන්න ඕනෑ
2019 අප්‍රේල් 4 හා අප්‍රේල් 21 අතර කාලයේදී ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් පවත්වා තිබුණේ නම් මෙම තොරතුරට අදාළව අනිවාර්යයෙන්ම ගතයුතු පියවර ගත හැකිව තිබුණේ දැයි යනුවෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමසා සිටි විට ජනාධිපතිතුමන් නැවැත ප්‍රකාශ කළේ ‘අප්‍රේල් 9 පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදීවත් මේ ගැන සාකච්ඡා කර තිබුණේ නැහැ නේද?’ යන්නයි. මේ ගැන රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ සම්පූර්ණ වගකීම භාරගත යුතුය. එසේ වුවත්, අප්‍රේල් 9 වැනි දින පැවැති එම රැස්වීමේදී මේ පිළිබඳව කතා කළද ජනාධිපතිතුමන්ගේ නියෝග එහිදී ලබා ගැනීමට නොහැකිය. 


ආරක්‍ෂක ලේකම් හිටියාම ඇති කියලා
ආරක්‍ෂක මණ්ඩලයේ පොලිස්පති හෝ ඔහු නියෝජනය කිරීමට වෙනත් අයකු හෝ නොමැති අවස්ථාවක මෙවැනි භාරදූර බුද්ධි තොරතුරක් ගැන ගතයුතු පියවර පොලිස්පතිවරයාට තනියම ගත නොහැකි බව පැවසූ විට ජනාධිපතිතුමන් ප්‍රකාශ කරනුයේ ආරක්‍ෂක මණ්ඩලයේ නීතිය හා සාමය භාර අමාත්‍යාංශයේ ලේකම් සිටි බැවින් අවශ්‍ය තීරණ ගතහැකිව තිබුණේය යන්නය.


නමුත් පොලිස්පතිවරයාට හෝ ඔහුගේ දෙවැනියකුට තිබිය යුතු වෘත්තීය දැනුම හෝ අත්දැකීම් ලේකම්වරයකුට තිබිය නොහැකි නිසා පොලිස්පති නොමැති වුවද ලේකම්වරයා සිටියේය යන්න පැවසීම වෘත්තීය නිපුණත්වයට අනුකූල නොවන පිළිතුරකි. නීතිය හා සාමය භාර අමාත්‍යාංශයේ ලේකම් සිටි විට පොලිස්පතිවරයාගේ වගකීම ඉෂ්ට වන්නේ නම්, හමුදාපතිවරු නොමැතිව ආරක්‍ෂක මණ්ඩලයේ ආරක්‍ෂක ලේකම්වරයා පමණක් සිටියහොත් ප්‍රමාණවත් වන්නේය යැයි පැවසීම වැනිය. 

නමුත් ඇත්ත තත්ත්වය වන්නේ පොලිසප්තිවරයා හා හමුදාපතිවරුන් ආරක්‍ෂක මණ්ඩලයේ සිටීමෙන් කෙළින්ම තොරතුරු හුවමාරු වීමක් හා සාකච්ඡාවට භාජනය වීමක් මෙන්ම කෙළින්ම නියෝග දීමේ හැකියාවක්ද ඇති වන බවය. ආරක්‍ෂක කටයුතුවලදී මෙය අත්‍යාවශ්‍යය. 

විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරුන් ආරක්‍ෂක මණ්ඩලයට රැගෙන ඒම සම්පූර්ණ වරදක්
රටේ ආරක්‍ෂාව ගැන රජයේ නියෝජිතයන් හා ආරක්‍ෂක අංශවල නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරුන් හතර දෙනකුද ජනාධිපතිතුමන් විසින් සහභාගි කරවාගෙන ඇත. මේ ගැන යුද හමුදාපතිවරයාගෙන් විමසූ විට ඔහුද පිළිගන්නේ විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරුන් ඉන්නා තැන ආරක්‍ෂාවට අදාළ සංවේදී කරුණු පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බවය. 

මෙම ක්‍රියාදාමය විධිමත් නොවන බව පැවසූ අවස්ථාවේ ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ සියලුම මන්ත්‍රිවරයන් විසින් ලබාදී ඇත්තේ එකම ප්‍රතිඥාව හෝ දිවුරුම බවත්, රටේ ආරක්‍ෂාව ගැන සියලුදෙනාම (පක්‍ෂ හෝ විපක්‍ෂ) ලබාදී ඇත්තේ එකම ප්‍රතිඥාව හෝ දිවුරුම නිසාත්, විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරයන් මෙම රජයේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අය නිසාත්, අවුරුදු ගණනක් එක්ව රජය පවත්වාගෙන ගිය අය නිසාත්, ආරක්‍ෂාව පිළිබඳව ඔවුන් කරන විවේචන නැවැත්වීම සඳහා ඔවුන් ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් විය යුතු නිසාත්, ඔවුන් ආරක්‍ෂක මණ්ඩලයට කැඳවූ බවය. 

ඔවුන් විරුද්ධ පක්‍ෂයේ පුවත් ඔවුන්ගේ පක්‍ෂයේ නායකයා ජනාධිපතිතුමන් නිසාත්, 1999 ගැසට් පත්‍රය අනුව ජනාධිපතිතුමන් කැමැති අයකු ගෙන්වීමට හැකියාව ඇති නිසාත් විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරුන් ආරක්‍ෂක මණ්ඩලයට කැඳවූ බවය. මෙය කිසිසේත්ම පිළිගත හැකි තර්කයක් නොවන අතර, කිතුල් ගහට ගියේ තණකොළ කපන්න යැයි කීවාක් වැනිය. ජනාධිපතිතුමන්ට කැමැති අයකු ගෙන්වන්න හැකි යැයි ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති නිසාම අදාළ නොවන අය නොගෙන්විය යුතු බව වටහාගත යුතුය. 

ආරක්‍ෂක මණ්ඩලය යනු දේශපාලන සාකච්ඡා පවත්වන තැනක් නොවේ. එය ඉතා බොළඳ තර්කයකි. ආරක්‍ෂක මණ්ඩලයට විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම හරහා ඔවුන්ගේ බලපෑම් ආ හැකි යැයි ජනාධිපතිතුමන් පැවසූයේ ආණ්ඩු පක්‍ෂය හා විරුද්ධ පක්‍ෂය යනුවෙන් තිබෙනුයේ අප විසින් සාදාගත් දෙයක් බවය. විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරයකු යැයි කියනුයේ ත්‍රස්තවාදියකු නොවන බවය. මෙම සඳහන වෘත්තීය නිපුණත්වයකින් තොරව ප්‍රකාශ කරන්නකි.

සිංගප්පූරුවෙන් එන්න ගුවන් යානා නැති බව කීම අමූලික බොරුවක්
2019 අප්‍රේල් 21 වැනි දින උදෑසන 08.15 – 08.45 අතර රටේ ජනතාවට භයානක ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙත්දී රටම ලේ විලක් බවට පත්ව තිබියදී සිංගප්පූරුවේ සිටි ජනාධිපතිතුමන්, සිංගප්පූරුවෙන් සවස 3.07ට පිටත්වී ලංකාවට සවස 4.26ට හා රාත්‍රී 08.30ට පිටත්වී ලංකාවට රාත්‍රි 9.41ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකේම නොපැමිණ රාත්‍රි 12.00ට පමණ ලංකාවට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයේ පැමිණියේ ඇයි දැයි විමසූ විට, ජනාධිපතිතුමන් පැවැසුවේ එදින වෛi පරීක්‍ෂණයක් තිබුණු බවත්, එම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකේ ආසන පිරී තිබුණු බවත්ය.

 කෙසේ වුවත් වෛi පරීක්‍ෂණයක් තිබුණද ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකෙන් විමසූ විට පිරී තිබුණා යැයි කීමෙන් පෙනී යන්නේ වෛi පරීක්‍ෂණය නොකර ඒමටද හැකියාව තිබුණු බවය. තවද එය සාමාන්‍ය වෛi පරීක්‍ෂණයක් විය යුතුය. කෙසේ වුවද, ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ලබාගත් තොරතුරු අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකම පිරී පැවැති බව අසත්‍යයක් බව හෙළිවී තිබේ. සවස 4.26ට ලංකාවට පැමිණි ගුවන් යානයේ (ඹඛ 303) ව්‍යාපාරික (BUSINESS) අංශයේ ආසන 6කුත් පිරිමැසුම්දායක (ECONOMY) අංශයේ ආසන 5කුත් හිස්ව තිබී ඇත. රාත්‍රී 9.41ට පැමිණි ගුවන් යානයේ ව්‍යාපාරික (BUSINESS) අංශයේ ආසන 3කුත් පිරිමැසුම්දායක (ECONOMY) අංශයේ ආසන 37කුත් හිස්ව තිබී ඇත. මෙයින් පෙනී යන්නේ ජනාධිපතිතුමන් එම ගුවන් යානා දෙකෙන්ම ලංකාවට ඒමට උත්සාහ දරා නොමැති බවත්, තේරීම් කාරක සභාවට දැන දැනම සත්‍ය නොවන කරුණක් ප්‍රකාශ කර ඇති බවත්ය. ඔහු රාත්‍රියේ පිටත්වූ සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයෙන් පැමිණි බව ප්‍රකාශ කළේය. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසූයේ ආරක්‍ෂාව ගැන ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලන්කන් යානාවල ආසන නොතිබුණේ නම් කිහිප දෙනකු බස්සවා හෝ ඔවුනට වන්දි ගෙවා ජනාධිපතිතුමන් ලංකාවට වහාම ආ යුතුව තිබුණු බවය. රටේ ආරක්‍ෂාව ප්‍රමුඛත්වය පළමු තැන නිසා එසේ කළ යුතුව තිබුණු බව පැවසූ විට ජනාධිපතිතුමන් පැවසූයේ ඔහු එවැනි දේ කවදාවත් ජීවිතයටම නොකරන බවත් ඊට පෙර සිටි අය නම් එසේ කරනු ඇති බවත්ය. නමුත් රටට ප්‍රහාර එල්ල වන විට ප්‍රමුඛත්වය පළමු තැන විය යුතුව තිබුණේ ජනාධිපතිතුමන් රටට පැමිණීමය. ඊළඟට ජනාධිපතිතුමන් කවුරුන් බැස්සවිය හැකි දැයි ලිහිල් ප්‍රශ්නයක් මතු කළේය. රටේ ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු යැයි කීවිට ඔහු පවසා සිටියේ ’ඔබතුමාලා එහෙම බස්සවාලා එනවා ඇති. මට නම් එහෙම බැහැ’ යනුවෙන් ව්‍යංගාර්ථයකි. 

මෙයින් පෙනෙනුයේ රටේ ආරක්‍ෂාව අදාළව තීරණ ගැනීමට නිර්භීත නොවන බවය. තවද ජනාධිපතිතුමන් ජෙට් යානයක් ඇණවුම් කරන ලෙසට තානාපතිවරයාට කී බවද එය ලබාගෙන එනවාට වඩා කලින් සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානය ලංකාවට ළඟා වන බවත් පැවසීය. කලින් ලැබුණු පිළිතුර අනුව බැලූ විට මෙයම සත්‍ය නොවේ යැයි විශ්වාස කළ හැකිය. 

ආරක්‍ෂාව ගැන බොරු ප්‍රකාශ කීම සම්පූර්ණ වැරැද්දක්
ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් 2019 මැයි මාසයේ අගදී හා ජුනි මාසයේ සිට ත්‍රස්තවාදයෙන් 99%ක් අවසාන කළේ යැයි පුන පුනා ප්‍රකාශ කළද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ ත්‍රස්ත කඳවුරුවල 750-1000කට ආසන්න ප්‍රමාණයක් පුහුණු වී ඇති බවත්, ත්‍රස්ත කඳවුරු 17ක් පමණ තිබී ඇති බවත්ය. 

තවද ඔහු පැවසූයේ ක්‍රියාකාරී ත්‍රස්තවාදීන් 200ක් පමණ සිටින බවත්ය. තවද රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ (ීෂී) පවසා සිටියේ 2014-2017 පිළියෙල කළ ත්‍රස්තවාදීන්ගේ ලේඛනය අනුව ත්‍රස්තවාදීන් 127ක් පමණ සිටි බවත් ඉන් 54 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන 6 දෙනකු විනාශ කර ඇති බවත්ය. මෙම සාක්‍ෂිය ලබා දුන්නේ 2019 ජූලි මස 24 වැනි දිනදීය. ඊට පෙර මැයි 29 වැනි දින සාක්‍ෂි දීමට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම තර්ජනය අවසාන බවට ඔහු නොසිතන බවයි. ඊට පසුව පුවත්පත් වාර්තා අනුව ජූලි 5 සිට සැප්තැම්බර් 19 වන දින තෙක් ත්‍රස්තවාදීන් (භඔන්‍ හා න්‍උෑ) 44 දෙනකු හා එල්.ටී.ටී.ඊ. සම්බන්ධ එක් ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගෙන ඇත. ජූලි 24 වැනි දිනට පසුව 39 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්‍ෂි අනුව), එසේම මැයි මාසයේ අවසානය වන විට ජනාධිපතිතුමන් ත්‍රස්තවාදීන් 99%ක් අත්අඩංගුවට ගෙන හෝ විනාශ කර ඇතැයි ප්‍රකාශ කළද, සත්‍ය වශයෙන්ම අත්අඩංගුවට ගෙන හෝ විනාශ කර ඇත්තේ ජූලි 24 වැනි දිනට පෙර 54 දෙනකුත් ඉන්පසු 39 දෙනකුත් වශයෙන් එකතුව 93 දෙනෙකි. එවිට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ පැවසූ 127 හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ 200 හෝ තවම අත්අඩංගුවට ගෙන හෝ විනාශ කර නොමැත. විශාල සංඛ්‍යාවක් ක්‍රියාකාරී ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටිති. පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් 900ක් පමණ තවමත් නිදැල්ලේය. මෙම තොරතුරු පැවසූ විට ජනාධිපතිතුමන් ප්‍රකාශ කරනුයේ ත්‍රස්තවාදය නැවැත්වීමට ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට හෝ නොහැකි යැයි ප්‍රකාශයකි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ තවම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන අවසාන නොවන බවත්, පාසල් වෙත ළමයින් යැවීමටත්, සංචාරක කර්මාන්තයටත්, අනෙකුත් ව්‍යාපාරවලට, පන්සල්වලට හා පල්ලිවලට යෑමට බාධා වන බවත්ය. ෆීල්ඞ් මාර්ෂල් රජයේ මන්ත්‍රිවරයකු ලෙසට මෙම කරුණු පිටතට ප්‍රකාශ කිරීම වැරැදි බව ජනාධිපතිතුමන් පැවසීය. ජනාධිපතිතුමන් කියනුයේ සියල්ල සාමාන්‍යයයි, ආරක්‍ෂාව තහවුරුයි වශයෙන් සත්‍ය නොවුවද, ජනතාවට අසත්‍යය ප්‍රකාශ කරන ලෙසටය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ ජනතාවගේ ආරක්‍ෂාවට තිබෙන අවදානම පිළිබඳව ජනතාවද දැනුවත් කොට අවශ්‍ය නිසි පියවර ගැනීමය. ජනාධිපතිතුමන් පවසා සිටියේ කෙසේ වෙතත් මේ වන තෙක් බෝම්බ පුපුරා ගියේ නොමැති බවයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ අවුරුදු තුනහමාරකටම කොළඹ පුපුරා ගියේ බෝම්බ 4ක් පමණි. ත්‍රස්තවාදීන් දිනපතා පහර නොදෙන අතර, සමහරවිට අවුරුද්දක් හෝ දෙකක් වුවද ඔවුනට ඉවසා සිටිය හැකිය. නමුත් ඒ මත සිට ත්‍රස්තවාදය අවසාන යැයි පැවසීම හෝ තීරණවලට එළැඹීම නුවණැති ක්‍රියාවක් නොවේ. 2019 ඔක්තෝබර් මස 2 වැනි දින ද ප්‍රභූ ආරක්‍ෂක අංශය ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් ලබා දී ඇත.

එල්.ටී.ටී.ඊ. යුද්ධය සමයේවත් එකම වේලාවක ස්ථාන 9ක බෝම්බ පුපුරා ගොස් නොමැති යැයිද, එල්.ටී.ටී.ඊ. යුද්ධය කාලයේ රටේ ඉතා අවුල්සහගත බවක් තිබුණේ යැයිද ජනාධිපතිතුමන් පැවසීය. නමුත් එය යථාර්ථය බවත්, එය පිළිගෙන අවශ්‍ය පියවර ගන්නවා හැරෙන්නට රටට සත්‍ය නොවන දේ ප්‍රකාශ කොට ආරක්‍ෂාව තහවුරු කර අවසාන යැයි ප්‍රකාශ කිරීම වැරැදි ක්‍රියාවකි. 

ත්‍රස්තවාදයට මුහුණ දීම සංකීර්ණ ප්‍රශ්නයක් බව ජනාධිපතිතුමන් පවසන අතර, යථාර්ථය ජනතාවගෙන් සඟවා ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ආ යුතු යැයි විශ්වාස කරයි. 

ආරක්‍ෂක ලේකම්වරුන් මාරු කිරීම ගැන උත්තර දුන්නේ නැහැ
ආරක්‍ෂක ලේකම්වරුන් තුන් දෙනකු ඉවත් කර හතර වෙනුවට පත්කර ගත් ආරක්‍ෂක ලේකම්ද රාජකාරිය පැහැර හරින ලද බව පවසමින් ඔහුට එරෙහිව කටයුතු කිරීමටද ජනාධිපතිතුමන්ට සිදුවිය. 

මෙවැනි කෙනෙක් පත්කරනු ලැබුවේ ජනාධිපතිතුමන්ම නිසා ඔහුගේ මත වරද පටවා ජනාධිපතිතුමන්ට ඉහත ත්‍රස්ත ප්‍රහාර ගැන වගකීමෙන් ගැලවීමට නොහැකිය. එවැනි ප්‍රශ්නයක් මතු වූ විට ජනාධිපතිතුමන්ගේ නිසි පිළිතුරක් නොලැබිණි.

ආරක්‍ෂාව ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුකර නැහැ
තවද මෙම සිද්ධිය වන විට පොලිසිය හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය භාරගෙන ගතවූයේ මාස 5ක් පමණකැයිද, ජනාධිපතිතුමන් පවසා සිටියේය. නමුත් ජනාධිපතිතුමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය භාර ගැනීමට කලින් නීතිය හා සාමය භාරව අමාත්‍යවරුන් සිටි අතර, ඔවුන් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලටද සහභාගි වූහ. එම කාලයේදී වුවද මෙම ත්‍රස්තවාදී ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිතුමන් අවශ්‍ය ප්‍රමාණයට අවධානය යොමු කර නොමැත. 

වගවීම අගමැති පිට පැටවීම පිළිගන්න බැහැ
ජනාධිපතිතුමන් මේ රටේ ආරක්‍ෂිත බව, අනාරක්‍ෂිත බව ගැන වගකිව යුතු යැයි පැවසූ විට ජනාධිපතිතුමන් ප්‍රකාශ කරනුයේ එහි වගකීම අග්‍රාමාත්‍යතුමන් විසින් භාරගත යුතු බවත්, අඩු වශයෙන් බුර්කාව ඉවත් කිරීමට හෝ අග්‍රාමාත්‍යතුමන්ට නොහැකි වූ බවය. 

2016දී ආරක්‍ෂක මණ්ඩල රැස්වීමකදී බුර්කාව ඉවත් කිරීම ගැන සාකච්ඡා කළ අවස්ථාවේදීත් අග්‍රාමාත්‍යතුමන් ඊට විරුද්ධ වූ බව පවසන ජනාධිපතිතුමන් අදාළ ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරු දීමෙන් වැළකිණි.

අගමැතිතුමා ආරක්ෂක මණ්ඩලයට කැඳවා නැහැ
අග්‍රාමාත්‍යතුමන් ඔක්තෝබර් 26 දිනෙන් පසුව ආරක්‍ෂක මණ්ඩලයට නොගෙන්වූයේ ඇයි දැයි විමසූ අවස්ථාවේදී ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යතුමන්ට නොපැමිණෙන ලෙස නොදැන්වූ බවයි. එසේ නම් ඊට පෙර සිදුවූවාක් මෙන් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් පිළිබඳව කලට වේලාවට ආග්‍රාමාත්‍යතුමන් දැනුවත් කර ඔහු කැඳවීමට කටයුතු කළ යුතුව තිබිණි. නමුත් එසේ කටයුතු නොකළේ ජනාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්වරයාට ඔහු කැඳවන ලෙස නොපැවසූ නිසාය.

ආරක්ෂක ලේකම් ගැන හරියට දැනගෙන ඉඳලත් නැහැ
යුද හමුදාපති හා වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා පවා පිළිගන්නා ආකාරයට ආරක්‍ෂක ලේකම්ගේ රාජකාරිය යුද සමයේ හෝ සාමය ඇති විටදී හෝ මෙහෙයුම්වලට නියෝග හෝ උපදෙස් දීම නොවන නිසා, අප්‍රේල් 4 වැනි දින බුද්ධි තොරතුරු ලැබුණු විට ආරක්‍ෂක ලේකම් විසින් ගතයුතු පියවර ගැන උපදෙස් හෝ නියෝග ලබා නොදුන් බව පවසා ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිවැරැදි නොවන බව විමසූ විට ජනාධිපතිතුමන් ප්‍රකාශ කරනුයේ ඔහු ගුවන් හමුදාවේ සේවය කළ අයකු ලෙසත්, පරිපාලන නිලධාරියකු ලෙසත් රාජකාරි කර ඇති නිසා ඔහු මෙම වගකීම් දැරීමට හැකියාව තිබුණු බවය.

නමුත් තවම එම දැනුම හා අවබෝධය ආරක්‍ෂක ලේකම්වරයා විසින් ලබාගෙන නොමැති බවද ජනාධිපතිතුමන් පැවැසීය. කෙසේ වුවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සේවය කර ඇත්තේ ස්වේච්ඡා නාවික හමුදා නිලධාරියකු ලෙසටය. මෙය පවා ජනාධිපතිතුමන් නිවැරැදිව දැන නොසිටියේය. කෙසේ වුවද, මොහුට ඉතා බැරෑරුම් අවස්ථාවල උපදෙස් දීමට හැකියාවක් නොමැති බව පෙනී යයි. 

ආරක්ෂක ලේකම් කිවුවේ ඇත්තද බොරුද
අප්‍රේල් 21 වැනි දින බෝම්බ පුපුරා ගිය විට අග්‍රාමාත්‍යතුමන් ආරක්‍ෂක ලේකම්, හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා කැඳවුවද ඔවුන් නොපැමිණියේය. ජනාධිපතිතුමන් මේ අවස්ථාවේ රටෙහි නොසිටි අතර, ආරක්‍ෂක අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට කිසිවකුට භාර දී ගොස් තිබුණේද නැත. 

මෙවැනි වාතාවරණයකදී අග්‍රාමාත්‍යතුමන්ගේ කැඳවීමට ඔවුන් වාර්තා කළ යුතුව තිබිණි. එවකට සිටි ආරක්‍ෂක ලේකම්වරයා පැවසුයේ අග්‍රාමාත්‍යතුමන් කැඳවූ අවස්ථාවේ නොයන ලෙස ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ බවයි. මෙය ජනාධිපතිතුමන්ගෙන් විමසූ විට එතුමන් පැවැසුවේ ආරක්‍ෂක ලේකම් අසත්‍යය පවසන බවය. (ජනාධිපතිතුමන් භාවිත කළේ මෙය ආරක්‍ෂක ලේකම්ගේ අසිරියක්ය යන වචනයයි. 

අසිරියක් යනුවෙන් ජනාධිපතිතුමන් අදහස් කළේ කුමක් දැයි ෆීල්ඞ් මාර්ෂල්ට නොවැටහුණු බැවින් නැවැත විමසූ විට එහි අදහස අසත්‍යය යන්න ජනාධිපතිතුමන් පැවැසීය.) එසේ නම් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිදුකර ඇත්තේ බරපතළ විනය කඩකිරීමකි. එසේ වී නම් ජනාධිපතිතුමන් ඔවුනට විරුද්ධව ක්‍රියා කළ යුතුව තිබුණු නමුත් එසේ නොවීය. ආරක්‍ෂක යාන්ත්‍රණයේ තත්ත්වය එතරම්ම කනගාටුදායකය.

මලල්ගොඩ කමිටුවට නීතිමය බලයකුත් නැහැ
ජනාධිපතිතුමන් පත්කළ මලල්ගොඩ කමිටුව (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මලල්ගොඩ මහතා ඇතුළු) නෛතික බලයකින් යුතු නොවන නිසාත් කමිටුවට ලැබුණු කාලය ප්‍රමාණවත් නොවන නිසාත් දීර්ඝ වශයෙන් හා ගැඹුරින් පරීක්‍ෂණයක් කිරීමට නොහැකි වූ බව විශ්‍රාමික පොලිස්පති ඉලංගකෝන් මහතා පවසන නිසාත් මෙම කමිටුවේ වාර්තාව අනුව ආරක්‍ෂක ලේකම්ට හෝ පොලිස්පතිට (රජයේ නිලධාරීන්) විරුද්ධව විනය පියවර ගැනීමට හැකි දැයි විමසූ විට ජනාධිපතිතුමන් ලබාදුන් පිළිතුර නීත්‍යනුකූල නොවේ. 

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5කට තීන්දු ඉදිරියේදී ලබා දීමට නියමිත නිසාත්, මලල්ගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු නිසාත් කමිටු වාර්තාවන් ප්‍රයෝජනයට ගෙන නඩුවලින් නිවැරැදි තීරණ ලබාදෙනු ඇතැයි යන්නයි. නමුත් නෛතික බලයක් නොමැති වාර්තාවක සඳහන් දේ පදනම් කරගෙන නඩු තීන්දු ලබාදීම නිවැරැදි නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21 වැනි දින) සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කෙරුණු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා කළ නිරීක්‍ෂණ සහ ඒ මත ගොඩනැඟූ නිගමන ප්‍රධාන වාර්තාවට එක් නොකර පරිශිෂ්ටයක් – ඇමුණුමක් වශයෙන් අමුණා ඇත්තේ මන්ද? ඊට විශේෂ කාරක සභාවේ සියලුම සාමාජිකයන් අත්සන් තබා නැත්තේ මන්ද? යන ප්‍රශ්න දෙක මහජනතාවගේ දැනගැනීම උදෙසා විශේෂ කාරක සභා වාර්තාවට අත්සන් තැබූ සාමාජිකත්වයෙන් විමසුවෙමු.

ඒ අනුව එක් එක් සාමාජිකත්වය විසින් දෙන ලද පිළිතුරු ප්‍රකාශ මෙසේ දක්වමු.

ඇතැම් කරුණුවලට අපට එකඟ ‌වෙන්න බෑ- ආනන්ද කුමාරසිරි
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිගමන සහ නිර්දේශ අප කියෙව්වා. ඒක ඒ මහතාගේ පෞද්ගලික මත පාදක කරගෙන කෙරුණු නිර්දේශ සහ නිගමන ඇතුළත් වාර්තාවක්. පොදු වාර්තාවක් නම් සියල්ලන්ගේම කැමැත්තෙන් අනුමත කළ යුතුයි. 

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ වාර්තාව පෞද්ගලික එකක්. ඒකෙ ඇති ඇතැම් කරුණුවලට අපට එකඟ විය නොහැකියි. ඒ නිසා අත්සන් කළේ නැහැ. ඇමුණුමක් ලෙස ඇතුළත් කළෙත් ඒ නිසයි.

ඒක එතුමගේ ‌‌පෞද්ගලික එකක්- රවි කරුණානායක
වාර්තාවක් කියන්නේ කමිටුවක සිටින සියලුම දෙනාගේ එකඟතාවකින් ලියන (සකස් කරන) පොදු එකක්. ඒකට අපි සියලු දෙනාම එකඟතාවකින් යුතුව අත්සන් කළ යුතුයි. එක එක් කෙනාට වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරන්න බැහැ. 

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වාර්තාව සකස්කර ඉදිරිපත් කරන්නේ පෞද්ගලික එකක් වශයෙන්. ඒ වාර්තාවේ භාෂාව වෙනස්. අරමුණ වෙනස්. ඒ නිසා ඒ වාර්තාවේ ඇමුණුමක් වශයෙන් ඉදිරිපත් කර තියෙනවා. පෞද්ගලික වාර්තාවකට අපි අත්සන් කරන එකේ තේරුමක් නැහැ.

කට්ටිය සිද්ධිය දියාරු කළා: මට ඒකට එකග ‌වෙන්න බෑ -‌ෆොන්සේකා
ලැබුණු සාක්‍ෂි පදනම් කරගෙන ප්‍රධාන වාර්තාව කියැවූ විට එමඟින් සිද්ධියේ ඇත්ත තත්ත්වය මතු නොවන අන්දමට සිද්ධිය දියාරු කර තිබුණා. මට ඒකට එකඟ වෙන්න බැරි වුණා. 

ඒ නිසා සාක්‍ෂි පදනම් කරගෙන සත්‍යතාවය ඉස්මතු වන අන්දමේ වාර්තාවක් මා සකස් කළා. ඒක මගේ අයිතියක්.

ෆොන්සේකා යුද දක්ෂයෙක්: එතුමාගේ වාර්තාවේ කරුණුවලට එකගයි – නලින්ද ජයතිස්ස
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තිස් අවුරුදු යුද්ධය අවසන් කළ යුද දක්‍ෂයෙක්. ඒ මහතා මේ ක්‍ෂේත්‍රය පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ඇති කෙනෙක්. ඒ නිසා ඒ මහතාගේ වාර්තාව පිළිබඳව අපේ ගැටීමක් නැහැ. අපි කියවා බැලුවා. සියලුම කරුණුවලට එකඟයි. එහෙත් කමිටුවට ලැබී තිබුණු කාලය සීමාවී තිබුණු නිසා ඒ ගැන සාකච්ඡා කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති නිසා පරිශිෂ්ටයක් ලෙස ඇමුණුවා.

අපි සියලු දෙනාටම සිද්ධිය පිළිබඳව නිර්දේශ වෙන වෙනම ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබුණා. එහෙත් අපි එසේ කළේ නැහැ. අමුණා ඇති වාර්තාව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිසා ඔහු පමණක් අත්සන් කර තිබෙනවා.

ආශු මාරසිංහ අහද්දිම ‌ෆෝන් එක විසන්ධි කළා
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ වාර්තාව ඇමුණුමක් වශයෙන් වාර්තා අමුණා ඇති බවත්, වෙබ්සයිට් එකේ ඇති බැවින් ඕනෑම කෙනකුට දැකබලා ගතහැකි යැයි කීවද එම වාර්තාව ප්‍රධාන වාර්තාවට ඇතුළත් නොකළේ සහ සියලු දෙනාම අත්සන් නොකළේ මන්දැයි විමසීමට පෙරම දුරකතනය විසන්ධි විණි.

ඉන්පසු කිහිප අවස්ථාවක්ම සම්බන්ධවීමට ගත් උත්සාහයන් අසාර්ථක විය.

ඕනෑම සාමාජිකයකුට පෞද්ගලිකව වාර්තා ඉදිරිපත් කරන්න පුලුවන් -රාජිත
තේරීම් කාරක සභාවේ ඕනෑම සාමාජිකයකුට පෞද්ගලිකව වාර්තා ඉදිරිපත් කරන්න පුලුවන්. සාක්‍ෂි අනුව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ගේ නිර්දේශ, නිගමන වෙනම වාර්තාවක් වශයෙන් ඉදිරිපත් කළා. අපි ඒකට ඉඩ දුන්නා. ඒ නිසා වෙනමම ඇමුණුමක් වශයෙන් ඉදිරිපත් කළා.

සුමන්තිරන් හකීම් කතා කළේ නෑ 
කමිටු සාමාජිකයන් වන එස්. ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් යන මහත්වරුන් සම්බන්ධකර ගැනීමට ගත් සියලුම උත්සාහයන් ව්‍යර්ථ වූ බවද සඳහන් කළ යුතුය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.