Ad

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය වු කරුණ..


පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාරය එල්ල වීමෙන් පසු දිනක් ගතවන තුරුම ඒ අසල බෝම්බ සමඟ තවත් රථයක් තිබුණු බව සොයාගැනීමට ආරක්ෂක අංශ අසමත් වූ බව ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (03) අනාවරණ විය.

ඒ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ , සිද්ධස්ථාන පරිපාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන් අවස්ථාවේදී.කොමිසම ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන්ගෙන් මුලින්ම විමසුවේ ප්‍රහාරය එල්ල වූ දිනයේ දේව මෙහෙයන් සංවිධාන කර තිබුණේ කෙසේද යන්නයි.

උදෑසන 6ට සහ උදෑසන 8ට දෙමළ පූජාද , මධ්‍යහහ්න 12.15ට සහ පස්වරු 5.15ට සිංහල පූජාද සංවිධාන කර තිබූ බව පියතුමන් එහිදී පැවසුවේය. පොලිසිය ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කළේදැයි යන පැනයට පියතුමන් ලබාදුන්නේ නැත යන පිළිතුරයි.

කෙසේවෙතත් බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින පස්වරුවේ තමන් අගරදගුරු හිමිපාණන් බැහැදැකීමට ගොස් නැවත රාත්‍රී 9ට පමණ දේවස්ථානයට පැමිණි බව පියතුමන් ජනාධිපති කොමිසමට පැවසුවේය. එහිදී කොමිසම විමසුවේ එම අවස්ථාවේදී දේවස්ථානය ඉදිරිපිට මෝටර් රථ නවතා තිබුණේද යන්නයි.

ඊට ඔව් යන්නෙන් පිළිතුරු දුන් පියතුමන් පැවසුවේ තමා එහි රැදී සිටි පොලිස් නිලධාරියෙක් අමතා එම මෝටර් රථ ඉවත් කරන්නැයි උපදෙස් දුන් බවයි. එහිදී එම නිලධාරියා "Father Dont Worry Everything is Clear" යන්නෙන් පිළිතුරු දුන් බව පියතුමන් පැවසීය.

රජයේ අධිනීතිඥවරයා පසුව විමසුවේ ප්‍රහාරයට පසු දිනයේ දේවස්ථානය අසල නවතා ඇති රථයක බෝම්බයක් ඇති බවට වාර්තා වූයේද යන්නයි. එහිදී පියතුමන් පැවසුවේ යම් අයෙක් බෑගයක් එල්ලා ගෙන රථයකින් බැස යන ආකාරය තම දේවස්ථානයේ ගායනා කණ්ඩායමේ දරුවෙකුගේ නිවසේ සවිකර තිබුණු ආරක්ෂිත කැමරාවක  සටහන් වී තිබුණු බවට සහායක පියතුමන් තමාට දැන්වූ බවයි.

තමා ඒ බව කාදිනල් හිමිපාණන්ට පැවසූ අවස්ථාවේදී "බලාගෙන ඒකේ මොනවා තියෙනවද දන්නේ නැහැ" ලෙස පිළිතුරු දුන් බව ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

පසුව සහායක පියතුමා නැවත තමා අමතා, කැමරාවේ සටහන් වූ රථයේ බෝම්බ ඇතැයි පැවසූ බවත් පසුව එය කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් දැනුම් දුන් පසු උන්වහන්සේ ඉහළ බලධාරීන්ට දන්වා බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා කණ්ඩායමක් එවූ බවයි පියතුමා පැවසුවේ.

පසුව කොමිසම යළි විමසුවේ බෝම්බය නිශ්ක්‍රීය කිරීමෙන් පසු ඒ අවට ප්‍රදේශයේ සිදුකළ විමර්ශන වලදී යම් කිසි සාක්ෂි ලැබුණේද යන්නයි. එහිදී පියතුමන් ප්‍රකාශ කළේ එහි සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙක් එහි වැටී තිබු බැංකු පොතක් තමන් වෙත ගෙනැවිත් දුන් බවයි.

එම බැංකු පොතේ පළමු සහ දෙවන පිටුවල කොච්චිකඩේ දේවස්ථානය කටු සටහනකින් සිතුවම් කර තිබුණු බවත් එහි තුන්වන පිටුව පාට පැන්සල් වලින් කුරුටු ගා තිබුණු බවත් ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

ඉන් සංකේතවත් කර ඇත්තේ දේවස්ථානය විනාශ කළ බවක් තමාට හැඟුණු බව පියතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. බැංකු පොත පරික්ෂා කිරිමේදී එහි අයිතිකරුගේ නම සඳහන්ව තිබුණේද රජයේ අධිනීතිඥවරයා විමසු පැනයට පියතුමන් ලබාදුන්නේ එහි මොහොමඩ් සහරාන් රමීස් යන නම සදහන්ව තිබූ බවයි.

එසේම එම බැංකු පොත පෞද්ගලික ඉස්ලාමීය බැංකුවක දෙහිවල ශාඛාවට අයත් බවත් එහි කොටහේන, ජම්පටාවීදීයේ ලිපිනයක් සදහන්ව තිබූ බවද පියතුමන් පැවසීීීය. පියතුමන් සතුව තිබූ එම බැංකු පොතේ ඡායාරූපද එහිදී කොමිසමට ඉදිරිපත් කෙරුණි.

පසුව රජයේ අධිනීතිඥවරයා යළි පියතුමන්ගෙන් විමසුවේ බැංකු පොත හමුවීමෙන් පසු කාලයේදී තවත් විශේෂ සිද්ධියක් සිදුවූයේද යන්නයි. බෝම්බය සවිකර තිබූ රථයට පිටුපසින් බස් රථයක් ආසන්නයේ රැඳී සිටි යාචකයෙක් සතුව තිබී කඩදාසි කැබැල්ලක් සොයාගැනීමට නාවික හමුදා නිලධාරීන්ට හැකිවූ බවත් එම කඩදාසියේ "In Solidarity with Love Terrisom Has No Religion From Pakistan" ලෙස සටහන්ව තිබූ බව පියතුමා එහිදී පැවසීය.

එමෙන්ම එහි හදවතක රූපයක්ද එහි ඇද තිබුණු බව පියතුමන් ප්‍රකාශ කළේය. එම යාචකයා පසුව නාවික හමුදා භාරයට ගැනීමෙන් පසු ඔහුට සිදුවූයේ කුමක්දැයි තමා නොදන්නා බවද ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.