"මෙතන පැන නැගී ඇති ගැටළුව මැකොස පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) යටතේ තීරණය කළ ජූනි 20 දිනය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) (අ) (ආ) හි දක්වා ඇති මාස 3 ක් ඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය කියන ප්‍රතිපාදනය සමග ගැටෙනවද? නැද්ද? කියන එක. 

ඒක ගැටෙනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඒ සම්බන්ධයෙන් තීරණාත්මකයි." නීතිඥ දිනේෂ් දොඩංගොඩ අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගනුලැබූ තීරණය ගැන අදහස් දක්වමින්ය.
එහිදී ඔහු ව්‍යවස්ථා අර්බුදයක් මතුනොවීම වෙනුවෙන් ව්‍යවස්ථාවේ ජනාධිපතිට ඇති අවස්ථාවක් සම්බන්ධව ද පෙන්වා දෙන අතර  එය පහත දැක්වෙයි.
FB IMG 1587410745899
පරණ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නෑ - ජනාධිපති ගේම ඉල්ලයි !
මේ අතර ඊයේ (20) තමන්ගේ උපදේශක ලලිත් වීරතුංග  මෙහෙය වූ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩිව අවධාරණය කර සිටියේ   කුමන හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමාට අවශ්‍යතාවක් නැති බවත්, ඒ සඳහා තමාට නීතිමය වාතාවරණයක් ද නැති බවත්ය.
 
නැවත වරක් පාර්ලිමේන්තුව කැදවීමට හැකියාව ඇත්තේ අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පත්කරගතහොත් පමණක් බවද හෙතෙම කියා සිටියේය.
එම   සාකච්ඡාව ඊයේ (20) රාත්‍රී සියලුම රූපවාහිනී නාලිකාවල සමගාමී විකාශයක් ලෙස ඉදිරිපත් කළේය.
මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට කරන ඉල්ලීම් හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙනයා හැකි යැයි සිහින දකින අයගේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසිය. 
“ඡන්දය පවත්වන ලෙස හෝ කල් තබන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමට මම කිසි ලෙසකින් වත් සූදානම් නෑ. නව පාර්ලිමේන්තුව කැදවිය යුතු දිනය මම දැනුම්දී තිබෙනවා. ජුනි 2 වැනිදා වන විට ඡන්දය තබා නව පාර්ලිමේන්තුව පත්වී නොතිබුණොත් මට පාර්ලිමේන්තුව කැදවීමට නොහැකියි. 
එහෙම වුනොත් ඉදිරි දිනක තමයි පාර්ලිමේන්තුව කැදවීමට හැකියාව තිබෙන්නේ. කෙසේ නමුත් මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව කැදවීමට මට අවශ්‍යතාවයක් නෑ. මට ඒ නව පාර්ලිමේන්තුව කැදවිය හැක්කේ ඡන්දයකින් නව මන්ත්‍රීවරු තෝරාගත්තොත් පමණයි” යනුවෙන්ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ඔහු එබව කියා සිටියේ, මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණය ඔහුගේ උපන්දිනයට තීන්දු කිරීමට පෙර සිදුකර තිබු එම පටිගත කළ සාකච්ජාවේදීය.
මැතිවරණය පවත්වන දිනය !
2020 පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වන දින පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (20) රාත්‍රී මාධ්‍ය වෙත පැවසීය.
ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය මේවනවිට ප්‍රකාශයට පත්කර ඇත.
කොරෝනාවෛරසය හේතුවෙන් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් රට තුළ නොමැති බවට දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.
එසේම, මේ අතර රටේ පවතින තත්ත්වය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන බවට දේශපාලන පක්ෂ සහ ආගමික නායකයන් විසින් ද අදහස් පළ කරනු ලැබ තිබිණි.
එම පසුබිම මත මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අප්‍රේල් 20 වන සඳුදා පාර්ශව ගණනාවක් සමග කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අට වැනි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මාර්තු 02 වන දා නිකුත් කරන ලදී. 
එම ගැසට් නිවේදනයට අනුව, අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු අතර මැයි මස 14 වන දා අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වීමට දින නියම කර තිබිණි.
එහෙත් රට තුළ ව්‍යාප්ත වූ COVID - 19 රෝග තත්ත්වය නිසා කලින් සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.
ව්‍යවස්ථා අර්බුදයට විසඳුම් සෙවීම:
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජූනි මස 02 වන දාට ප්‍රථම නව පාර්ලිමේන්තුව රැස් විය යුතුය.
එබැවින් උද්ගත විය හැකි ව්‍යවස්ථාමය ගැටලුව විසඳා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්තු 31 වන දා සහ අප්‍රේල් 01 වන දා ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කරන ලදී.
ඊට පිළිතුරු ලිපියක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් අප්‍රේල් 06 වන දා මැතිවරණ කොමිෂන් සභාවට යොමු කළේය.
එමගින් දැනුම් දී තිබුණේ අප්‍රේල් 25 වන දා ඡන්ද විමසීම කළ නොහැකි නම් වෙනත් දිනයක් සඳහන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ ප්‍රශ්නයක් පැන නොනගින බවය.
එසේම, ජනාධිපතිවරයා ඊයේ ජනතාව අමතා කල කරුණු පැහැදිලි කිරීමෙන් ද පෙනෙන්නේ, පරණ පාර්ලිමේන්තුව කැඳවීමට ඔහු එකහෙලා විරුද්ධ බවයි.
''අර්බුදයක් ඇති කලොත් ඇති කරන්නේ ජනාධිපති'' - අනුර කියයි 
මෙවැනි තත්වයක් තුල ව්‍යවස්ථා අර්බුදයක් මතුවීමේ අනතුර පැහැදිලි කරමින් ජනතා විමුක්ති  පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා අන්තර් ජාලය ඔස්සේ පැවසුයේ, ශ්‍රී ලංකාව මේ මොහොත වනතෙක් ව්‍යවස්ථා අර්බුදයක් මතුව නොමැති බවත්, කිසියම් ලෙසකින් එවැනි ව්‍යවස්ථා අර්බුදයක් මතුවන්නේ ජනාධිපතිවරයා විසින් ඔහුට ලබාදී බලතල හිතාමතාම පැහැර හැරියහොත් පමණක් බවත් ය.
කෙසේවුවද හිතුවක්කාරී ලෙස ජුනි මස 02 වැනිදාට පෙර පාර්ලිමේන්තුව නොකැඳවා සිටීම හරහා මෙරට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කිරීමට ජනාධිපතිවරයා හැකියාවක් ඇතැයි ද ඔහු එහිදී අනතුරු අඟවා සිටියේය.
''මෙවැනි අර්බුදකාරී අවස්ථාවල දී තීන්දු ගන්න ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය දීලා තියනවා. ව්‍යවස්ථාවෙන් එවැනි බලයක් පවරා දී ඇත්තෙම මෙවැනි ව්‍යසනකාරී තත්වයක දී තීන්දු තීරණ ගන්න. ඒ නිසා මෙවැනි මොහොතක ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකර පාර්ලිමේන්තුව කැඳවන්න ජනාධිපතිට බලය තියනවා..''
 අර්බුදයෙන් ගැලවීමට ඇති එකම මග !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන 'අනිද්දා' පුවත්පතේ කර්තෘ නීතිඥ කේ ඩබ්ලිව් ජනරන්ජන පවසන්නේ, ව්‍යවස්ථාවට කිසිම ප්‍රශ්නයක් නොමැති මාර්ගය නම් විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව නැවත කැඳවීම බවයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ජනරන්ජන ඒ සම්බන්ධයෙන් anidda.lk හි පළකර ඇති වාර්තාවේ  මෙසේ සඳහන් වේ.
''මෙහි අවසානය කුමක්ද? රට ව්‍යවස්ථාමය අර්බුදයකට දින කිහිපයක් ඇතුළත තල්ලූවී යාමයි. මැතිවරණ කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්නටයැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ මේ අවුල දුර දැකීමෙන් විය යුතුය. 
එහෙත්, ජනාධිපතිවරයාගේ අහංකාරකමත්, ඔහුගේ නීති උපදේශකයන්ට එළැඹ සිටි සිහිය නොමැතිකමත් නිසා, දැන් ආණ්ඩුවේ සියල්ලන්ම එකතුව රට ඇදගෙන යන්නේ  ව්‍යවස්ථාමය අර්බුදයකටය. පාර්ලිමේන්තුවක් නැති අධිකාරවාදී පාලනයකටය. එය ඉතා පැහැදිලිය.
මේ දැවැන්ත අර්බුදයෙන් ගොඩඑන්නේ කෙසේද යන්න ගැන උපායමාර්ග මේ වන විටත් විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ සඳහා ඇති පහසුම, අවදානම අඩුම, වියදම් අඩුම, ව්‍යවස්ථාවට කිසිම ප්‍රශ්නයක් නොමැති මාර්ගය නම් විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. 
සැප්තැම්බර් 01 වැනිදා දක්වා, ඒ පාර්ලිමේන්තුව සමග වසංගතය මර්දනය කිරීම සඳහා සහයෝගී පාලනයක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි එකඟතාවකට එළැඹීමයි. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ සියලූම පක්‍ෂ, මේ වන විටත් වසංගතය මර්දනයට කිරීම සඳහා ආණ්ඩුව කරන හොඳ දේට සහාය දෙන බව නැවත නැවතත් අවධාරණය කර තිබේ.
රාජ්‍යතාන්ත්‍රීක මනසක් අවශ්‍ය මයි !
රට ඇත්තේ විශාල අර්බුදයක එළිපත්තේය. එයින් ගැලවීමට රාජ්‍යතාන්ත්‍රීක මනසක් අවශ්‍ය වේ. මිලිටරි හෝ අධිකාරවාදී මනසකින් කටයුතු කොට ඊට පිළිතුරු ලබාගත නොහැකිය. 
තිබිය යුත්තේ අහංකාර එළැඹුමක් නොව, සංවාදශීලී එළැඹුමකි. හරි නම්, ජනාධිපතිවරයා, මහමැතිවරණයට තරග කරන රටේ සියලූම පක්‍ෂ මෙන්ම මැතිවරණ කොමිසම සමගද වහාම විවෘත සංවාදයකට යා යුතුය. ගැලවීමේ මගක් පෙනෙනු ඇත්තේ එවිටය. 
රට ව්‍යවස්ථා අර්බුදයකට ඇදදැමීමෙන් කිසිවකුට කිසිම සෙතක් නැත. 2018 ඔක්තෝබරයේ මෙන් අරාජක කාලයක් උදාවුවහොත්, දැනටමත් දියවී තිබෙන ආණ්ඩුවේ තුනෙන් දෙකේ සිහිනය, වියැකී යන්නටම ඉඩ තිබේ.
ඊටත් වඩා, අහංකාර පාලකයන්ගේ පෞද්ගලික බලාශාවන් මුදුන්පත් කරවා ගැනීමට රටක් උගසට තියන්නට ඉඩ දිය යුතු නැත. කොරොනා වසංගතය, අප බිංදුවටම ඇද දමා තිබේ. එයින් උපන් සෞඛ්‍යමය, ආර්ථික, සමාජමය, වාර්ගික ආදි ගැටලූ කප්පරක් විසඳා ගත යුතුව තිබියදී, ව්‍යවස්ථා ගැටලූවකුත් ඇදගැනීමට කිසිවකුට අයිතියක් නැත. ''